ප්රජාතන්ත්රවාදී විරෝධතාවලට සවන් දීමට ආණ්ඩුවක් ලෙස සෑම විටම සූදානම් වුවත් විරෝධතා මුවාවෙන් කෙරෙන ත්‍රස්තවාදී හිංසන ක්‍රියා ප්‍රතික්ෂේප කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීට.
ඒ මහතා එසේ පැවසුවේ නව අගමැතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ඊයේ (27) සිය මංගල කථාව සිදු කරමිනි.
තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවසීය.
ප්රජාතන්ත්රවාදයට ඇති ලොකුම තර්ජනය ත්රස්තවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස් ත්රස්තවාදයට සහාය නොවනු ඇතැයි මා විශ්වාස කරනවා. රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලට සහ ඒවායේ මන්ත්‍රීවරුන්ට විවෘත ආරාධනයක් කරනවා. පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කර රට ඉදිරියට ගෙන යෑම රජයේ එකම බලාපොරොත්තුවයි.
විවිධ දේශපාලන මත තිබෙන්න පුළුවන්. ඒ විවිධ දේශපාලන මත දැරුවත් ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමෙන් රට ඉදිරියට ගෙන යෑම සඳහා බැඳී සිටිනවා.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාමය කේන්ද්‍රස්ථානය ව්‍යවස්ථාදායක පමණක් නොව අපේ රටේ සංවර්ධන ක්‍රියාදාමයන්ට උචිත වන මුල්‍ය පාලනය හා එදිනෙදා තීරණයන් ගැනීමේ ක්‍රියාදාමයන් ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කර තිබෙන කාර්යභාරය මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. පසුගිය සති කීපය ශ්‍රී ලංකාවේ දේශපාලනය, ආර්ථිකය අන් කිසි දවසක නොවී විරූ වෙනස්කම් රැසකට පරිවර්තනය වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට ජනාධිපති ධුරයේ කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන් ඉවත්ව ගියා. ඒ පුරප්පාඩුවට රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධූරයේ ඉතිරි කාල පරිච්ඡේදයට සඳහා පත් කර ගත්තා. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් අපේ පාර්ලිමේන්තු ක්‍රමය අර්බුදයෙන් අර්බුදයට හැසිරෙන්නට හැකි ප්රජාතන්ත්රවාදී ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. විවිධ දේශපාලන මත තිබෙන්නට පුළුවන. ඒ විවිධ දේශපාලන මත දැරුවත් ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමෙන් ඒ මඟින් රට ඉදිරියට ගෙන යෑම සඳහා අපි බැඳී සිටිනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුළ අප සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු අවස්ථාවක් උදා වී තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්, පාර්ශ්වයන් එලෙසම අර්බුද දිහා බලා කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ බව ජනාධිපතිවරයා ද ප්‍රකාශයට පත් කළා. අපි මුහුණදෙන අර්බුදය මහජනතවගේ පැත්තෙන් අපි බලන කොට පාර්ලිමේන්තුවාදීන් හැටියට අහිංසාවාදී ප්රජාතන්ත්රවාදී දේශපාලනයට අවුරුදු 50 ක් සම්පූර්ණ වී තිබෙනවා. මා පාර්ලිමේන්තුවට පළමු කොට 1983 පත් වන අවස්ථාවේ සිට අද දක්වා එහි කර්තව්‍යය ඉෂ්ට කිරීමට පුළුවන්කම ලැබී තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට, ඇමැතිවරයෙක් හැටියට මම කටයුතු කළා. මම අතුරු මැතිවරණයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ලැබුණා. අපි පාර්ලිමේන්තුව විවිධ අවස්ථා හරහා ගමන් කරලා තියෙනවා. යළිත් වරක් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳවත් ඒ වගේම අපේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන් පත් කිරීමට අවශ්‍ය සුවිශේෂ අවස්ථාවකට පැමිණ තිබෙනව. අපේ මූල්‍ය අර්බුදයත්, ආර්ථික අර්බුදයත් ඉතාම උත්සන්න තත්ත්වයකට පරිවර්තනය වුණා.
සෑම මන්ත්‍රීවරයකුටම තමන් නියෝජනය කරන කාරක සභාවේ කටයුතු කරන්න පුළුවන්කම ඇති වීමෙන් ජාතික වශයෙන් තිබෙන අභියෝග ජාතික වශයෙන් තිබෙන අවශ්‍ය සංවර්ධන කටයුතු ඒ වාගේම රටට ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත හැකි අණපනත් සම්මත කිරීමෙන් එකඟතාවකින් යුතුව කටයුතු කිරීම පුළුවන්කම ලැබෙන අවස්ථාවන් මම සිහිපත් කරනවා. 1931 ඇති කළ විධායක කාරක සභා ඉතාම සාර්ථක ප්‍රතිඵල අපේ රටට ගෙන අවා. ඒ අවස්ථාවේදී මගේ ආදරණීය පියා පිලිප් ගුණවර්ධන මහතා එම විධායක කාරක සභාව නියෝජනය කළා. ඒ ඇති කළ විවිධ වෙනස්කම් තවමත් නීති පොතේ එලෙසම ක්‍රියාත්මක වෙනවා.
Lanka Newsweek © 2024