Friday 4th of October 2024

English Tamil
Advertiesment


මනුෂ්‍යත්වය හා සමානාත්මතාව තේමා වූ පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළ අද ඇරඹේ.


2022-07-28 14327

 

යත්වය හා සමානාත්මතාව යන අගයන්වලට මුල් තැනක් දෙමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ විචිත්‍රවත් සමාරම්භක උලෙළ එංගලන්තයේ බර්මින්හැම්හී ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. බර්මින්හැම් වේලාවෙන් පස්වරු 8.00ට ආරම්භ වන මේ වර්ණවත් සමාරම්භක උලෙළ ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 1ට පමණ වේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතව සිටි එලිසබෙත් මහ රැජන නොපැමිණෙන බවත්, චාල්ස් කුමරු සිය මව වෙනුවෙන් එම උත්සවයට සහභාගි වන බවත් බකිංහැම් මාලිගය ඊයේ නිවේදනයක් නිකුත් කළ පසුබිමක මේ උත්සවය සංවිධාන වේ.

චාල්ස් කුමරුගේ සම්ප්‍රාප්තිය සටහන්වන බැවින් දැනටමත් බර්මින්හැම්හී ආරක්ෂාව තර කොට ඇති අතර, ඒ වෙනුවෙන් ලන්ඩන් නගර පොලීසිය, මෙට්‍රොපොලිටන් පොලීසිය, ස්කොට්ලන්ත පොලීසිය සහ ඇවොන් සහ සමර්සෙට් පොලීසිවලින් 5,000ක පමණ පොලිස් භටයන් හා බුද්ධී අංශ කැඳවා ඇත.

බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස තිබී නිදහස ලැබූ රටවල් අතර මේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ පැවැත්වෙන අතර, එය දෙවැනි වන්නේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පමණි. මේ දැවැන්ත ක්‍රීඩා උලෙළේදී රටවල් 72කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,000කට ආසන්න පිරිසක් ලබන 8 දක්වා තරග වදිනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ රැජනගේ පණිවිඩය රැගත් ගිනි සිළුව බර්මින්හැම් ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයට සම්ප්‍රාප්තවීමත් සමඟ සමාරම්භක උලෙළේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. මේ ගිනි සිළුව යුරෝපය, අප්‍රිකාව, ආසියාව, ඕෂනියා, කැරිබියන් සහ අමෙරිකාව ආදී රටවල දින 269ක් පුරා කිලෝමීටර් 140,000ක දුරක් ගමන් කොට මේ ක්‍රීඩාංගණයට රැගෙන ඒම විශේෂත්වයකි. පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 දා එංගලන්තයේ බකිංහැම් මාලිගය අසලින් ගමන් ඇරඹූ රැජනගේ ගිනි සිළුව මේ වසරේ ජනවාරි 2 වැනිදා සිය 25 වැනි ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.

සමාරම්භක උලෙළ පැවැත්වෙන රාත්‍රියේ 30,000 ධාරිතාවකින් යුත් ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේ දර්ශනීය සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, බර්මින්හැම්හි සංස්කෘතික ජයග්‍රහණ සහ කාර්මික උරුමය ප්‍රදර්ශනය කරමින් ප්‍රාසාංගික නර්තන ඉදිරිපත් වේ. මේ වෙනුවෙන් එංගලන්තයේ 2,500ක නළු නිළි පිරිසක් ඇතුළත් වන බව සඳහන් විය.

බර්මින්හැම් සමාරම්භක උලෙළ පොදු රාජ්‍ය මඬුලු රටවල් අතර යටත් විජිතවාදයේ ගැටලු සහගත ඉතිහාසය හා සමලිංගිකත්වය තහනම් කළ යුතු බවට සියලු ජාතීන්ට සෘජුවම අභියෝග කිරීමේ පණිවිඩ නිකුත් කිරීමට සැලසුම වේ. සමලිංගිකත්වය නීති විරෝධී වන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 35ක් ඇති අතර ඉන් 13ක්ම සමලිංගික ක්‍රියාවන්ට සිරගත කිරීම හෝ මරණීය දණ්ඩනය නියම කරන රටවල් බව පැවසේ. එබැවින් මෙහි ඇති බැරෑරුම්කම හා භයානකත්වය පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ඔස්සේ කතිකාවක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව සහභාගී වූ වසර 80ක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනක් අවසන් වරට 2018දී පැවති ගොල්ඩ් කෝස්ට් ක්‍රීඩා උලෙළේදී සටහන් වූ අතර, එහිදී රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 5ක් දිනා ගත්තේය.

එයට වඩා වැඩි පදක්කම් ගණනක් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හෙට (29) සිට තරග බිමට පිවිසෙති. මේ ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන්, බාස්කට්බෝල්, බොක්සිං, ජිම්නාස්ටික්, රග්බි හා ස්කොෂ් වැනි ක්‍රීඩාවල මූලික වටයේ තරග හෙට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Advertiesment