Friday 4th of October 2024

English Tamil
Advertiesment


යුද හමුදාව-ඒස් කැපිටල්-ටැමිල් යූනියන්-සීසීසී අවසන් පූර්ව සටනේ.


2022-07-26 14323

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ ස්ථාන වෙන් කර ගැනීමට ටැමිල් යූනියන්, ඒස් කැපිටල්, යුද හමුදාව සහ සීසීසී ක්‍රීඩා සමාජ සමත් වෙයි.

තරගාවලියේ මූලික වටයේ අවසන් දිනයේ පැවති තරගයකින් නවෝද් පරණවිතානගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව කඩුලු 9ක විශිෂ්ට ජයක් සමඟ ටැමිල් යූනියන් පිල (30) ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් වටයට පිවිසි අතර, ඒස් කැපිටල් පිල (27) දෙවැනි ස්ථානයෙන් එම වටයට එක් විය. මේ කණ්ඩායම් දෙකම තරග 12කින් 10ක් බැගින් ජය ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් මේ කාණ්ඩයෙන් අවසන් වටයට එක් වීමට කණ්ඩායම් 4ක් අතර ප්‍රබල සටනක් නිර්මාණය වී තිබිණි. එහෙත් තරග 9 බැගින් ජය ගත් එස්එස්සී සහ මුවර්ස් කණ්ඩායම් ප්‍රසාද ලකුණු 26 බැගින් හිමි කර ගනිමින් තෙවැනි සහ සිව්වැනි ස්ථානවලට පත් විය.

බ්ලූම්ෆීල්ඩ්ට පිලට එරෙහි තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට නවෝද් පරණවිතාන සමත් වීම කැපී පෙනිණි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් ලකුණු 74කට දැවී ගිය අතර, ඕවර 2.5කදී ලකුණු 8කට කඩුලු 6ක් දවා ගැනීමට නවෝද් සමත් විය. ඉනිමේ අවසන් කඩුලු 5ම බිඳ දැමූ ඔහු 22 වැනි ඕවරයේ තෙවැනි, සිව්වැනි සහ පස්වැනි පන්දුවලින් සිය කඩුලු ත්‍රිත්වය වාර්තා කර ගත්තේය.

මේ අතර, ‘බී’ කාණ්ඩයෙන් යුද හමුදාව (33) සහ සීසීසී (31) ක්‍රීඩා සමාජ වේලාසනින්ම අවසන් වටයට එක් වීමට සමත් සිටියේය. යුද හමුදාව මූලික වටයේ අවසන් තරගයේදී මීගමුව කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් අත් කර ගත් අතර, සීසීසී පිල කඩුලු 9කින් ගාල්ල ක්‍රීඩා සමාජය පරාජය කළේය. අවසන් පූර්ව වටයේදී යුද හමුදාව සහ ඒස් කැපිටල් පළමු තරගයටත්, ටැමිල් යුනියන් සහ සීසීසී දෙවැනි තරගයටත් එක් වෙයි.

පසුගිය 14 වැනිදා රට තුළ පැවති ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් තරග කාලසටහන සංශෝධනය කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව කටයුතු කර තිබිණි. ඒ අනුව හෙට (26) පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ අවසන් පූර්ව තරග 30 වැනිදාත් අවසන් මහා තරගයට අගෝස්තු මස 1 වැනිදාත් පැවැත්වෙනු ඇත. මින් පෙර අවසන් මහා තරගය 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි.

මූලික වටයේ අවසන් දිනයේ තරග 11ක් පැවති අතර, සෙසු තරගවලදී කෝල්ට්ස්, සෙබස්තියනයිට්ස්, පොලීසිය, එන්සීසී, නාවික හමුදාව, බීආර්සී, ගුවන් හමුදාව සහ රාගම ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කළේය. මේ තරගවලදී පිළිවෙළින් බදුරලිය (කඩුලු 8කින්), සැරසන්ස් (ලකුණු 18කින්), කළුතර නාගරික (ලකුණු 14කින්), ලන්කන් (ලකුණු 16කින්), කුරුණෑගල යූත් (කඩුලු 5කින්), නුගේගොඩ (කඩුලු 9කින්), පාණදුර (කඩුලු 4කින්) සහ කැන්ඩි කස්ටම්ස් (ලකුණු 119කින්) පරාජයට පත් විය.

Advertiesment