Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


පාර්ලිමේන්තුව ජය ගන්න බැරි සජිත් 2024 රට ජය ගන්නේ කෙසේද..?  


2022-07-23 14325

 

ඩලස්-සජිත් හවුල පැරදුණේ ඇයි..?

 

ලක්ෂ්මන් ෆොන්සේකාට දේශපාලනය පුළුවන්ද..?

 

 
(රජිත් කීර්ති තෙන්නකෝන්) 

 

විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙකක් ගත් අමනෝඥම තීරණය සමගි ජන බලවේගය සහ "කහ පක්ෂය" ජනපති තරඟයට එක්ව තරඟ කිරීම ලෙස ඉතිහාස ගත වනු ඇත. ප්‍රතිපත්තියක්-වැඩ පිළිවෙළක්-අරමුණක්-සැලසුමක් නැති බෝඩ් ලෑල්ලට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රැසක් ඡන්දය දී නැත.   

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වූ පමණින් ඩලස් අලහප්පෙරුම දිනන්නේ නැති බව මම මීට පෙර සරළවම විග්‍රහ කළෙමි.  අවසනාවකට පුද්ගලික න්‍යාය පත්‍රයක සහ අවස්ථාවාදී බල දේශපාලනයක සිටි සමගි ජන බලවේගයට සහ  "කහ පක්ෂයට" එම දේශපාලන යථාර්ථය තේරුණේ නැත. 

 
ඩලස් අලහප්පෙරුමට දැවැන්ත පරාජයක් ලැබුණේ ඇයි..? උත්තරය සරළය..! 

 

ජනපති තරඟය ඇරඹෙන විට විපක්ෂයට 62 ක්, රනිල් වික්‍රමසිංහට 90 ක් සහ ඩලස් අලහප්පෙරුමට 69 ක් තිබූණි. අවසන් ප්‍රතිඑලය ඡන්ද 82 කි. රෝහිණී කවිරත්න ගත් ඡන්ද 78 ට වඩා වැඩි වූයේ 4 කි. ඩලස් අලහප්පෙරුමගේ පක්ෂය අලුතින් ගෙන ආවේ ඡන්ද 4 ද..? නැත..! 

විපක්ෂයේ පාර්ලිමේන්තු සංයුතියෙන් 1/3ක් මුස්ලිම්, මලය තමිල් සහ උතුරු නැගෙනහිර ද්‍රවිඩ නියෝජිතයින්ය. විමල් වීරවංශ-උදය ගම්මන්පිල-අතුරලියේ රතන සහ චන්න ජයසුමන ප්‍රමුඛ ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායම මේ කණ්ඩායමට බිය ඇති කළේය. පැලෝපීය නාල මිරිකීම, රිෂාඩ් බදුර්දීන්-අසාත් සාලි හිරේ දැමීම, මුස්ලිම් ඇමතිවරුන් සියල්ලට තනතුරු අහිමි කිරීම සහ බලය බෙදීමට එරෙහිවීම ඊට හේතුවයි. 

පූර්වකථනය කළ පරිදිම ඩලස් අලහප්පෙරුමට මේ ඡන්ද 19 න්, ලැබුණේ ඡන්ද 4 කි. අනෙක් අතට, පොහොර-කෘෂි රසායන තහනමේ නිර්මාතෘවරුන් ගෝඨාභය රාජපක්ෂ රජයේ ආරම්භයයි.  පාර්ලිමේන්තුවම ඊට බියවීම පුදුමයක් නොවේ. තරඟය චීන පිළ සහ ඉන්දීය පිළ අතර විය. ඉන්දියන් බලපෑම සහිත ඡන්ද ඩලස් අලහප්පෙරුමට ලැබුණේම නැත. එම තත්ත්වය කළමනාකරණයට සජිත් ප්‍රේමදාසට හැකියාවක් තිබුණේම නැත. සමගි ජන බලවේගයේ නියෝජිතයා සිදු වන්නේ කුමක්දැයි දැන සිටියේ ද නැත..! 

සජිත් ප්‍රේමදාසට වඩා රනිල් වික්‍රමසිංහට සමීප මන්ත්‍රීවරුන් 6-7ක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සිටිති. එම සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වූයේ 2022 ජූලි 19 වැනිදා පැවැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සජිත් ප්‍රේමදාස විධායක බලැති අගමැති තනතුරට ආරූඩ වූ නිසා ය. පූර්ණ විධායක ජනපති රණසිංහ ප්‍රේමදාස දෝෂාභියෝගයට පෙර සිංහාසනයේ වාඩි වුණා වගේ යැයි සහභාගිවූවෝ කියති..! ඇත්තක් දැයි නොදනිමි.  

 
සිදු වූයේ කුමක්ද..?

 

"කහ පක්ෂය" නිත්‍ය සමාජිකයින් 44 ක පක්ෂයකි. ඒ අතරින් රාජපක්ෂවරුන්ගේ උදහසට ලක් වූ 40 ක්ම ඩලස් අලහප්පෙරුම සමඟ සිටියහා. පක්ෂ 7 නායකයින් ද, එලෙසමය. සාමාජිකයින් ගැන දන්නේ ඔවුන්ම පමණී. සමගි ජන බලවේගයේ ඡන්ද ඩලස් අලහප්පෙරුමට නොලැබුණු බව නම් පැහැදිලිය. 

 
ඡන්දයේ සැඟ වුණු අමුත්තා

 

ඡන්දයට පෙර ඩලස් අලහප්පෙරුම සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මුහුණට මුහුණ හමුවූයේ නැත. ජනපති අපේක්ෂක සැඟ වුණු අමුත්තෙක් විය. ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් සියල්ල කළේ ඩිලාන් පෙරේරා සහ නාලක ගොඩහේවා ය. ඩිලාන් පෙරේරාගේ දේශපාලන වෘත්තීය භාවය සහ පළපුරුද්ද සමඟ හැරෙන්නටවත් නාලක ගොඩහේවාගේ 130 යේ දත්ත පූර්වකථනයට හැකි වූවේ නැත. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පක්ෂ නායකයින් හත් දෙනා සමඟ එකම අවස්ථාවක හෝ හමු වූයේ නැත. සමගි ජන බලවේගයේ මැදිහත්කරු ලක්ෂමන් ෆොන්සේකා විය. 

තරඟය ඇරඹෙන විට, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයට "කහ කණ්ඩායම" නයාට අඳුකොළ විය.  රූපවාහිනී-පාර්ලිමේන්තු විවාදවල ඉදිරිපෙළ හැප්පුනේ මේ කණ්ඩායම් දෙක ය.  නායකයින් තබා දෙවියන්-බුදුන් කිව්වත් නොමැකෙන විරසකයක් ක්‍රියාකාරීන් අතර විය.  මුජිබර් රහුමාන්ට, එස් එම් මරික්කාර්ට, ඒ එච් එම් හලීම්ට සහ කබීර් හෂීම්ට "ඩලස්-විමල්-උදය-රතන-ජයසුමන සහ ගොඩහේවා" සමඟ එක කඳවුරක සිට පාක්ෂිකයාගේ මුහුණ බලන්නේ කෙසේ දැයි නොසිතුනා නම් පුදුමය. 

 
රනිල්-බැසිල් මෙහෙයුම
 

වත්මන් පාර්ලිමේන්තුව පක්ෂ-කණ්ඩායම් 18 ක සංකලනයකි. ඒ අතරින් පක්ෂ 15 ක ඡන්ද එක් කර ගැනීමට රනිල් වික්‍රමසිංහට සහ බැසිල් රාජපක්ෂට හැකි විය. දින 5 ක තනි තනි මන්ත්‍රීවරයා ඉලක්ක කළ මෙහෙයුමක් එහි ක්‍රියාත්මක විය.  බැසිල් රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, අකිල විරාජ්, සාගල රත්නායක සහ මනූෂ නානායක්කාර එහි මෙහෙයුම්කරුවෝ වූහ.  

ඡන්දය දුන් සියලු දෙනා ආණ්ඩුවට එක්වන්නේ නම්, පක්ෂ 15 ක ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම සභාග ආණ්ඩුව නැති නම්, ජාතික ආණ්ඩුව බිහි වන්නේය. (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, EPDP, එක්සත් ජාතික පක්ෂය, ජීවන් තොන්ඩමන්, මහා ජන එක්සත් පෙරමුණ, වාසුදේව නානායක්කාර, පිල්ලෙයාන්, සී වී විග්නේෂ්වරන්, TNA, ඒ එල් එම් අතාවුල්ලා, බහු ජන නිදහස් පෙරමුණ, මුස්ලිම් කොන්ග්‍රසය සහ රිෂාඩ් බදුර්දීන්)

 
විපක්ෂය කාටද..?
 

ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධාන ඉලක්කය වූයේ ජනාධිපති පුටුව හෝ ප්‍රධාන විපක්ෂය ය. මේ වන විට සමගි ජන බලවේගයේ සංඛ්‍යාව 29 ක් හෝ 30 කි. ඩලස් අලහප්පෙරුමට 44 හෝ 40 කි.  කථිකයින් සහ පක්ෂ නායකයින් වැඩි "කහ පක්ෂය" වාසුදේව නානායක්කාර හරහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පුටුවට තම අයිතිය ඉල්ලා ඇත.

පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය කවුදැයි තීරණය කරනුයේ කතා නායකවරයා ය. අතීත භාවිතය අනුව නම්, සජිත් ප්‍රේමදාස දිගටම තනතුර දරනු ඇත. සජිත් ප්‍රේමදාසට සහ ඩලස් අලහප්පෙරුමට මේ තරඟයේ අත හැරුණු අවස්ථා හතරකි. එනම්,  1. උතුරේ නැගෙනහිර මන්ත්‍රීවරයෙකු තනතුරු දෙකෙන් එකකට පත් කිරීම 2. බාහිර පුද්ගලයෙකු පත් කිරීම (සාලිය පීරිස් යෝජනාව වැනි) 3. කාන්තාවක් පත් කිරීම (නි.කතානායක ආදර්ශය) 4.මෛත්‍රීපාල සිරිසේන යෝජනාව. අනුර කුමාර සිය කතාවේ දී එම තත්ත්වය විශිෂ්ඨ ලෙස පැහැදිලි කළේය.   

ශ්‍රී ලංකා ඉතිහාසයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගත් පළමු අවස්ථාව මේ අවස්ථාවයි. මන්ත්‍රීවරුන් 225 ක ඡන්දයක් දවස් තුනකින් කළමනාකරණය කළ හැකි බව මෛත්‍රීපාල සිරිසේන පක්ෂ රැස්වීමේ දී කිවේය. ඒ ඔහුගේ අත්දැකීමයි. මෛත්‍පාල සිරිසේනගේ යෝජනාව ඉදිරියට ගෙනි යන්නට සමගි ජන බලවේගයට අවශ්‍ය නොවීය. රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් හරීන් ප්‍රනාන්දු, බැසිල් රාජපක්ෂ සහ වජිර අබේවර්ධන ක්‍රියාවට නැං වූයේ තනි තනි පුද්ගලයාය. 

සමගි ජන බලවේගයේ ප්‍රධාන සාකච්ඡාකරුවා වූයේ දේශපාලනඥයෙකු නොවන ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා ය. අනෙක් පැත්තෙන් බහු පක්ෂ සමඟ ගැඹුරු සහෘද බැඳීම් නොමැති නාලක ගොඩහේවා ය. ඡන්ද 225 ක මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවිය නොහැකි නම්, රටක ඡන්ද ව්‍යාපාරයක් මෙහෙයවන්නේ කෙසේ දැයි සමගි ජන බලවේගය ප්‍රමුඛ පක්ෂ දැන්වත් සිතා බැලිය යුතුය. 2024 ට පරිනත දේශපාලන දෘෂ්ඨියක් සහ කළමනාකරණ ශක්තියක් අවශ්‍යමය.

 
ඊළඟට..?
 

රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා විපක්ෂයට තිබූ සුවිශේෂතම අවස්ථා හතරක් ගෙවුණු දින 100 දී අහිමි කර ගෙන ඇත.අභියෝග භාර ගැනීමට ඇති කුසීත බව, වැරදි උපක්‍රම සහ දේශපාලන අවස්ථාවන් ග්‍රහණය නොකිරීම ඊට හේතු වී ඇත. රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නත් නැතත්සමගි ජන බලවේගයේ මුල් පෙළ දහයකටවත් රනිල් වික්‍රමසිංහගේ ඇරයුම් ලැබෙනු ඇත. ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ මහාචාර්ය සිල්වා 1977 ජූලි 21 දින ගැන කදිම සටහනක් තබයි. 1952 සභා නායක පුටුවේ සිට අගමැති පුටුවට යන්නට ජේ.ආර්. ට වසර 25ක් ගත වී ඇත. හරියටම වසර 45 කට පසුව, අද ඒ දිනය නැවත එලෙසම උදා වී ඇත. මග හැරුණු අවස්ථා ඉතිහාසයේ පිරී ඇත.  අල්ලා ගත් අවස්ථා ලෝකය වෙනස් කරනු ඇත්තේය. 

නායකයින් කියන පළියට ජනතාව තබා මන්ත්‍රීවරුන්වත් ඡන්දය දෙන්නේ නැත. දේශපාලන සන්නිවේදනය-රජුන් තැනීම විද්‍යාවකි. කලාවකි. පරාජය 2024 ට හොඳ පාඩමකි.  

Advertiesment