Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


ආදරයේ අරගලය හෙවත් චේගුවේරා කුමන්ත්‍රණය


2022-07-18 14331

 

අරගලය ආදරයක් නොව කැරැල්ලකි 

 

කැරලි සහ ත්‍රස්ත ක්‍රියා වර්ධනය නොව වහාම මර්දනය කළ යුතුය 

 

 
(මහාචාර්ය මිල්ටන්රාජරත්න)

 

මාස දෙකකට පෙර "ආදරයේ අරගලය" නමින් අරගලයක් පටන් ගෙන ඉනික්බිතිව "ගෝඨාගම" සහ "මයිනාගම" යනාදී ගම් කීපයක් ශ්‍රී ලංකාවේ සිතියමේ සලකුණු කොට කකා බිබී එම ගම් පාලනය කර ගෙන සිටි සැමදා උපාධි අපේක්ෂකයන් නැත හොත් උසස් පෙළ පමණක් සමත් අන්තරේ සිසුන් උපක්‍රම ශීලී ලෙස මධ්‍යම පාන්තිකයන්ට ද පාදඩ පන්තියට ද සිය ගම්වල පිළි ගැනීමක් ලබා දුන්නේය. 

ඒ අනුව නීතිඥයන්ද, සරසවි ඇදුරන්ද, පුජ්‍ය පූජකයන්ද, සෙම බරිත පත ගෑණුද, පච්ච කෙටූ පිරිමිද ඊට එකතු විය. සියලු දෙන සහෝදරත්වයෙන් කලක් එම ගම්වල සතුටින් කල් ගෙවූහ. ඒ ගම්බිම්වල "CHEnge" යනුවෙන් අපභ්‍රන්සයක්  ද ලියා තිබුණු නමුදු එහි අරුත කිසිවෙකුගේ උකුසු ඇසට යොමු වුණේ නැත. අන්තරේ කොල්ලන්ට ඉංග්‍රීසිවත් බැරි යැයි සිතා ඇතැමෙක් සමච්චල් කළහ.

ඔවුන්ගේ මූලික ප්‍රචාරණ වාක්‍ය වුයේ "හොරු පන්නමු" යන්නය. එසේම ගෝඨා ගෝ, කපුටා ගෝ, මයිනා ගෝ, රනිලා ගෝ, ආණ්ඩුව ගෝ 225ම ගෝ, ලේකම්ලා ගෝ, සභාපතිලා ගෝ දක්වා ඔවුන්ගේ ඉල්ලීම් දිනෙන් දින පුළුල් විය. තමා 225ට අයත් නැති බව සිතන ජවිපෙ මෙම ගම්වලට වැද හරි හරියට දිවි ගෙවූ නමුත් දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳ මහත් ඥාන සම්භාරයක් සහ කියවීම් ඇති පෙරටුගාමීන් අවස්ථාවාදී ජවිපෙට කළ යුත්තේ කුමක් දැයි කල්තියා සැලසුම් කොට තිබිණ. හොරුන්ගේ දේපොළත් ධනපතීන්ගේ දේපොළත් රාජසන්තක කොට ඒවා මහජනයාට ලබා දෙන බව කියමින් ඡන්ද කොට්ඨාසවල ජනප්‍රියත්වයක් ගොඩනගා ගෙන ඇති ජවිපෙ ගෝටා සහ ආණ්ඩුව ගෙදර යැවීමට සමගාමීව මහ මැතිවරණයක් මගින් බලය ගැනීමට වෑයම් කරමින් සිටියේය.

මහත් ප්‍රසිද්ධියට පත් ගෝටා ගමේ මුලාදෑනි උදාගම් මෙන් ලොව වටේ ගම් තැනීමට ඉටාගෙන ඊටත් මහත් ප්‍රසිද්ධියක් දුන්නේය. ගෝඨාභයගේ දුබල, දරිද්‍ර කම හා අසමත් වීම සමග දූෂිත රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය හා බලය ද දිනෙන් දින පිරිහෙන්නට විය. ‘ආදරයේ අරගලකරුවන්’ රටෙත් ලෝකයේත් ප්‍රසිද්ධියට පත්විය. 

මේ කාර්යය කරනු ලැබුවේ සෝෂල් මිඩියාවල පිහිටෙනි. ජනතාව වෙනුවෙන් නොව සෝෂල් මිඩියා වෙනුවෙන් කාලය ධනය හා ශ්‍රමය කැපකිරීමෙන් ඕනෑම රටක් කණපිට පෙරළිය හැකි බව න්‍යායක් බවට පත්ව ඇති බව මේ මුලාදෑනින් හොඳින් දනී. මෙම මුලාදෑනින්ට ඡන්ද කොට්ඨාස මට්ටමේ පිළිගැනීමක් හෝ සංවිධාන ශක්තියක් හෝ නැත. 

මෙම ප්‍රසිද්ධියට ජැක් ගසා එය තම සාක්කුවේ දමාගත හැකි වෙතැයි සිතා ජේවීපිය මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටු වීමට සිහින මවමින් සිටියේය. එසේ වුවහොත් තමන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් නොලැබෙන බැව් අරගලය මෙහයවූ පෙරටුගාමීන්ට තේරුම් ගියේය. එමෙන්ම පුතාණෝ ද රාජපක්‍ෂ රේජිමය බිඳ වැටීමෙන් පසු රජ වීමට අපේක්ෂාවෙන් සිටියහ. 

එහෙත් පෙරටුගාමීන් න්‍යාය මෙන්ම භාවිතය ද අනෙකකුට වඩා හොඳින් දැන සිටියේය. මේ පසුබිම තුළ ඔවුන් 1971 ද 1988-89 කාලයේ ද කැරළි ඔස්සේ සැබෑ කරගත හැකි නොවුණු විජේවීරගේ සිහිනය සැබෑකර ගැනීමට තුන්වෙනි කැරැල්ල සංවිධානයේ කළේය. මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කැරැල්ලක් ලෙස නොව කැරැල්ලක මුවාවෙන් සංවිධානය කෙරුණු කුමන්ත්‍රණයක් ලෙස අර්ථ දැක්වීම සුදුසුය. 

ගෝඨා ගමේ හා මයිනා ගමේ ගම්වාසීන් නිතර නිතර සිවිල් නීතියට අභියෝග කොට රජය කුපිත කිරීමට මාන බැලුවේය. ඔවුහු ව්‍යවස්ථාවෙන් පිට හා දියවන්නාවෙන් පිට බලය අල්ලා ගැනීමටත් 225 පලවා හැරීමටත් සපථ කළහ. මැයි 9 දා මයිනාගමේ ඇතිවූ මූලික ගැටුම්වල ඉදිරි පියවරක් ලෙස කොළඹ පමණක් නොව රටම ගිනි ජාලාවක් බවට පත් විය. ඔවුන් ප්‍රතිවාදීන් ගෙන් පහර කෑ නමුදු ප්‍රතිවාදීන්ට හොඳම එකෙන් ද සංග්‍රහ කළේය. කාලය සෙමෙන් ගත විය. මහින්ද ඉවත් විය. රනිල් අගමැති විය. දැන් ගෝටාවත් රනිල්වත් ඉවත්ව යන පාටක් නැත. මේ වූකලී පුතාණෝට ද අනුරට ද මහත් හිසරදයක් විය. ඒ මක් නිසාද යත් ගෝටා හෝ බැසිල් මෙන් නොව රනිල්ට මොළ හතක් පමණක් නොව පණ හතක් ද ඇති බැවිනි. 

ගෝටා එලවීමේ අවසන් සටන ගෝටා ගම්වාසින් ප්‍රකාශ කළේය. ඒ ජූලි 9 වෙනි දාය. එදාට යෙදුනු නැකත කුමක් දැයි කිසිවෙකු දන්නේ නැත. ජෙවීපිය ද එම අවසන් සටනේ සෙන්පතින් වන බව ප්‍රකාශ කළේය. ගෝටා ද අවසන් සටනට බයේ මුරකාවල් ද හැර පියා පෑල දොරෙන් පලා ගියේය. මාලිගාවේ ගෝටා නැත. සටන්කරුවෝ අන්දුන්කුන්දුන් වූහ. ඔවුන් ජනපති මැඳුර ද ලේකම් කාර්යාලය ද අත්පත් කරගත්තේය. මාලිගාවල සැප වින්දේය. එය විනාශ කළේය. එම විනාශය කොතෙක් ද යත් ගෝටා ජීවග්‍රාහයෙන් අල්ලා ගත්තේ නම් ඔහුගේ මයිල් ගහක්වත් ඉතිරි වන්නේ නැත. 

පසුව මාලිගාවල අයිතිය වෙනුවෙන් ද ජයග්‍රහණයේ අයිතිය ජේවීපිය හා පෙරටුගාමීන් ගහගත්තේය. ගෝටා ඉල්ලා අස්වන බව කීය. සටන තීව්‍ර වන්නට පටන්ගතේ ගෝටාගේ අස්වීම 13 දාට කල් ගිය බැවිනි. පෙරටුගාමීන් මේ අතර ජේවීපී සාමාජිකයන්ට දුටු තැන පහර දෙන්නට පටන්ගත්තේ ජේවීපිය ද ජයග්‍රහණයේ කොටස් කරුවන් වීමට උත්සාහ කළ නිසාය. ගෝටා රටින් පැන ගියේය. එහෙත් ඔහු ජනාධිපතිකමින් ගියේ නැත. කිසිවෙකුට එය අදහා ගත නොහැකි විය. පෙරටුගාමින් උපායක් යෙදුවේය. ගෝටා සහ රනිල් එකවර ඉවත්විය යුතු යැයි නියෝග කළේය. සෑම පාර්ලිමේන්තු සත්වයෙක්ම රට ගැන නොසිතා එය අනුමත කළේය. 

පෙරටුගාමීන්ගේ උපාය වූයේ ජනපති හා අගමැති ධුර හිස් වූ විට විධායකය, ආණ්ඩුව, හා කැබිනට් මණ්ඩලය අහෝසි වන බැවින් ඇඳිරි නීති, හදිසි නීති හෝ වෙනත් පැනවීම් හෝ මුදල් වෙන්කිරීම් ආදිය කිසිවක් කිරීමට පාලකයන්ට ඉඩ නොතැබීමය. රනිල් වැඩ බලන ජනාධිපති කම ගැසට් මගින්ම ඉල්ලා ගෙන පෙරටුගාමින්ගේ උපාය නිෂ්ක්‍රීය කළේය. අරගලකරුවන්ගේ ආදරය වෛරයට පෙරලුනේය. ආදරය බල්ලට දමා වෛරය පිරිමසා ගැනීමට ම්ලේච්ඡත්වය මුදා හැරියේය. අගමැති කාර්යාලය හා රජයේ රූපවාහිනිය අල්ලාගත්තේය. පාර්ලිමේන්තුව හා හමුදා ප්‍රධානීන් අල්ලා ගැනීමට කුමන්ත්‍රණ කළේය. රාජ්‍ය බලය අල්ලා ගැනීම ඔන්න මෙන්න විය. මෙය ෆැසිස්ට්වාදී කුමන්ත්‍රණයක් ලෙස අර්ථ දක්වා රනිල් සිය ජනපති බලතල යොදා හමුදාවට කැරලි මර්ධන බලය පැවරුවේය.

ආදරවන්තයෝ කුපිත විය. පාර්ලිමේන්තුව ඇල්ලීමට සැරසුණහ. හමුදාව සමග සටන් කොට ගිනි අවි පැහැර ගත්හ. සෙබළුන්ට මාරාන්තික තුවාල සිදු කළහ. ආදරවන්තයන් කරදරකාරයන් බව පසක් වූ කළු කෝට්, සිවුරු හා ලෝගු කරුවන් ඉල්ලං කෑමට සිදුවෙතැයි බියෙන් එතෙක් පෙන්වූ කරුණාව මෛත්‍රිය පසෙක ලා සිටීමට තීරණය කළේය. 

ඒ අනුව ආදරවන්තයන්ට නීතියේ හෝ ආගමේ පිළිසරණ ලබාගැනීමට නම් නීතිගරුක විය යුතු බවට කොන්දේසියක් පැනවිණි. ආදරවන්තයන් අතරමං විය. ජනයාට ද ඔවුන් එපා වන්නට වූයේ මහජන දේපළ ‘හොස්ටල් එකේ කැන්ටිමට පැනගත් රිලව්’ මෙන් විනාසයට පත්කිරීම ද 'හොරු පැන්නීමට' ඇවිත් හොරකම් කිරීමට ද පටන් ගැනීමත් නිසාය. 

යුද හමුදාව ද ලේ නොසොල්වා රාජ්‍ය දේපලවලින් පිට වීමට කාලය ලබා දුන්නේය. ආදර වන්තයන් කුක්කන් මෙන් එකිනෙකා මන්දිරවලින් පිටවෙන්නට විය. ඔවුන් යළි ගෝටා ගමට පසු බැස්සේය. අවසානයේ 15 දා ගෝටාගේ අස්වීමේ ලිපියේ නීත්‍යානුකුල භාවය තහවුරු කරගන්නා තෙක් ගෝටා ජනාධිපති වරප්‍රසාද බුක්ති විඳිමින් සංචාරය කරමින් සිටියේය. 

රනිල් වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. ෆැසිස්ට්වාදී කුමන්ත්‍රණය කුජීතව ගියේය. ව්‍යවස්ථාව හා නීතිය හා සාමය ආරක්ෂා විය. දැන් ‘ගෝටා ගෝ’ හඬ ඇසෙන්නේ නැත. ගෝටා ඉල්ලා අස්වීම නිමිත්තෙන් කිසිවෙකු ප්‍රීති ඝෝෂා පැවැත්වූවේ හෝ කිරිබත් කෑවේ හෝ රතිඤ්ඤා දල්වුවේ හෝ නැත. ගෝටා හා රනිල් පෙරටුගාමින්ගේ කණෙන් රිංගා ඇත. දැන් ‘ආදරවන්තයන්ගේ’ ත්‍රස්තවාදී සටන් ජවනිකා අවසානය. 

ඔවුන් 71 හා 88 සංවිධානය කරන ලද ගම් කේන්ද්‍ර කොටගත් ගරිල්ලා පන්නයේ කැරැල්ල වෙනුවට කොළඹ අලුත් ගමක් තනා නවීන කැරැල්ලක් ඇරඹුවේ අත්හදා බැලීමට විය හැකිය. එහෙත් එය ද පරාජය වී ඇත. ආදරවන්තයන් කැබිනට් මණ්ඩලයටත් ඉහළින් සිටින සේ උපදේශක මණ්ඩලයක් ප්‍රකාශයට පත්කර ඇත. එහි සිටින්නේ නන්නත්තාර වූ කබ්බෝ බව දැන් ප්‍රකට වී ඇත. පෙරටුගාමීන්ගේ කුමන්ත්‍රණය පරාජය වීම ජේවීපිය වාසියට හරවා ගත්තේය. දැන් ඔවුන් වෘත්තීය සමිති අරගල මගින් ආණ්ඩුව පෙරළීමට කැසකවමින් සිටී. 

‘ආදරය හා වෛරය අතර ඇති වෙනස කෙස් ගසකට සමාන බව’ පැරැන්නෝ කියා තිබේ. පසුගිය දිනවල සිදු වූ දේ මේ කියමන තහවුරු කළේය. ආදරයේ අරගලය පටන් ගත්තේ “CHEnge” කිරීමටය. ඒ වචනයේ spelling mistakes නැත. එය code නොහොත් කේතයකි. මෙහි ‘CHE’ යනු ‘චේ’ ය.. ‘චේ’ යනු චේගුවේරා ය. “CHEnge” යනු චේගුවේරා ක්‍රමයට වෙනසක් කිරීමය. 

එය ත්‍රස්තවාදී ක්‍රමයකි. එහි අයිසිං තවරුම වන්නේ ‘ආදරය’ යන වචනය යි. මේ ආදරවන්තයන්ගේ කල්ලියේ සාමාජිකයන්ගේ කොණ්ඩා මෝස්‌තර, ඇඳුම් ආයිත්තම්, හා රැවුල් ආදිය චේගුවේරා අනුකරණය කරමින් සකස් කරගෙන තිබෙන බව පෙනේ. චේගුවේරා කාරයන් යනු ව්‍යවස්ථාවෙන් පිට කුමන්ත්‍රණ ඔස්සේ රාජ්‍ය බලය අල්ලන පිරිසකි. ඒ බව ඔවුන් ප්‍රකාශ කර තිබිණ. 

චේගුවේරා කල්ලිය 1971 පටන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කුමන්ත්‍රණකාරී කල්ලියකි. මොවුන් 1971 ද 1988-89 ද කැරළි ගසා පරාජය විය. මෙවර ද හතර හන්දි කැඩුනේය. ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්ථාමය රාජ්‍ය පාලනය යළි ස්ථාපිත විය. එහෙත් චේගුවේරා ව්‍යාපාරය අවසන් වන්නේ නැති බව රජය සිහි තබා ගත යුතුය. ඔවුන් ‘ආදරය’ වෙනුවට ‘කරුණාව’ ‘දයාව’ ‘මෛත්‍රිය’ මුවාවෙන් යළි කුමන්ත්‍රණ කරනු ඇත. ඒවා ව්‍යර්ථ කිරීමට මහජනයාට මෙන්ම පාර්ලිමේන්තු සත්වයාට ද ඥානය තිබිය යුතුය.

මේ රටේ දේශපාලකයන් තරමටම රාජ්‍ය සේවකයා ද දූෂිත වී ඇත. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරන්නෝ උපාධි ධාරීහු වෙති. ඔවුහු ද අන්තරේ සිසුන් මෙන්ම කලක් සරසවි සිසුන්ව සිටියහ. ඔවුන් එකල ප්‍රාර්ථනා කළේ ද සමාජ සාධාරණත්වය, අවංක භාවය, අල්ලස-දූෂණය-වංචාව නැති රටක්ය. එහෙත් ඔවුන් උසස් තනතුරුවලට ගිය පසු අන්ත දූෂිතයන් වී පොහොසතුන් ද බවට පත්ව සිටී. මෙම හොරු දේශපාලන හොරුන් ඇල්ලීමට පෙළපාලි හියහ. දේශපාලනය මෙන්ම රාජ්‍ය පරිපාලනය ද ලෝන්ඩරියේ බ්ලීචින් දමා පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව සැබෑය. චේගුවේරා ව්‍යාපාරයෙන් එය කළ නොහැකිය. චේගුවේරා කාරයන් බිහි කළ කොමියුනිස්ට් රටවල් ලෝකයේ නන්නත්තාර රටවල් බවට පත්ව තිබේ.

Advertiesment