Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


සජිත්ට තනිවම බැහැ 


2022-07-15 14320

 

පොදු අපේක්ෂකයෙකු හැර විකල්පයක් නැහැ 

 

සිය විනාශයේ පාර විපක්ෂය විසින්ම කපා නොගත යුතුය 

 

 
(රජිත් කීර්ති තෙන්නකෝන්)

 

පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයට හිමි උපරිම ඡන්ද ගණන  62 කි. යථාර්ථවාදී සංඛ්‍යාව 58 කි. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර නොමැතිව සමගි ජන බලවේගයට කෙළින්ම 45 කි. ඊට චම්පික රණවක ද ඇතුළත් ය. ඔවුන්ගේ ඉෂාක් රහමන්, එම්.එස්.තවුෆික්, ෆයිසාල් කාසිම් සහ එච්.එම්.එම්.හාරීස් ද සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්නේ නම් පමණක්  49 කි.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දස දෙනාම සජිත් ප්‍රේමදාස සමඟය. ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ AITC මන්ත්‍රීවරුන් දෙදෙනා සහ  සී.වී විග්නේෂ්වරන්ගේ TMTK මන්ත්‍රී ධූරය ද වශයෙන් ද්‍රවිඩ මන්ත්‍රීවරු 13ක් සජිත් ප්‍රේමදාසට සහාය දේ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්නේ නැත. ඒ අනුව සජිත් ප්‍රේමදාසගේ අවමය 58කි. උපරිමය ඡන්ද 62 කි. 

 
ශ්‍රීලනිප සහ ඩලස් අලහප්පෙරුම කණ්ඩායම 

 

ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාගවන් නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමට දැනට මන්ත්‍රීවරුන් 69 කි. එම සංඛ්‍යාව 70ක් ද විය හැකිය. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගන්නා ඕනෑම තීරණයකට එකඟ මන්ත්‍රී සංඛ්‍යාව 90 කි. 2022 මැයි මස 9 වැනිදා කෝලාහලයෙන් නිවාස සහ දේපල හානි වූ මන්ත්‍රීවරුන් 77න් සිව් දෙනෙකු හැර අන් සියල්ලම ඉන්නේ මේ කණ්ඩායමේ ය. ඔවුන්ගේ ජනපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ සහ දිනේෂ් ගුණවර්ධන විය හැකිය. 

ඒ අනුව, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සිදු වන්නේ තුන් වන ස්ථානයට පත්වීමටය. සමගි ජන බලවේගයේ සහ ස්වාධීන මණ්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් (සජිත් ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන සහ ඩලස් අලහප්පෙරුම හෝ වෙනත්) ඒ අපේක්ෂකයා පැහැදිලිවම  ජය ගන්නේය. 

අනෙක් අතට, තිදෙනෙකු ඉදිරිපත් වන ඡන්දයක දී ජනාධිපති වන්නට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දය විනා 113ක් නොවේ. රනිල් වික්‍රමසිංහ නොවන දිනේෂ් ගුණවර්ධන වැනි අපේක්ෂකයෙකුට (උදා- රමේෂ් පතිරණ) ස්වාධීන කණ්ඩායමේ කිහිප දෙනෙකු සහාය දෙන්නේ නම් ජයග්‍රහණය ඒ අපේක්ෂකයාට ය.   

අපේක්ෂකයින් තිදෙනෙකු නම්, ප්‍රධාන විපක්ෂය එනම් සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තුන් වන ස්ථානයට පත්වීම නොවැලැක්විය හැකිය. 

 
විපක්ෂයේ සත්‍ය බලය කොපමණද..? 

 

පාර්ලිමේන්තු ඡන්ද විමසීම්වල දී විපක්ෂයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව නියෝජ්‍ය කතා නායක තරඟයේ දී (රෝහිණී කවිරත්න) ලැබූ ඡන්ද 76 යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ස්වාධීන ඡන්ද ඊට හේතු විය. 

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් සිව් දෙනෙකු සජිත් ප්‍රේමදාසට වඩා රනිල් වික්‍රමසිංහට සමීප ය. TELO ඡන්ද කොහොමත් සජිත් ප්‍රේමදාසට වඩා සමීප රනිල් වික්‍රමසිංහටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනා අතුරින් නිමල් සිරිපාල, චාමර සම්පත් සහ මහින්ද අමරවීර ඇතුළු හත් දෙනෙකුම සජිත් ප්‍රේමදාසට වඩා රනිල් වික්‍රමසිංහට සමීපය. රහස් ඡන්දයක විපක්ෂයේ අපේක්ෂිකාවට තිබූ වාසිය, සජිත් ප්‍රේමදාසට අවාසියක් විය හැක්කේ කවුරු කාට ඡන්දය දෙන්නේ දැයි අනාවරණය නොවන නිසාය.  

 

පොදු අපේක්ෂකයෙක් සොයා ගත හැකි ද..? 

 

සජිත් ප්‍රේමදාස හෝ ඩලස් අලහප්පෙරුම නොවන පොදු අපේක්ෂකයෙකු සොයා ගැනීමට සමගි ජන බලවේගයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ස්වාධීන කණ්ඩායමට මේ අනුව සිදු වන්නේය. 

එසේ නොවේ නම්, කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ජනාධිපති ධූරය පැවරීමට ඔවුන් අතර පොදු එකඟතාවයක් ඇති කර ගත හැකිය. එම තීරණය ආරක්ෂිතම ප්‍රවේශය ලෙස ද විපක්ෂය මේ වන විට සලකා බලමින් ඇත. ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ පක්ෂග්‍රාහී පුද්ගලයෙකු ලෙස සැලකෙන බැවින් එම තත්ත්වය බල දේශපාලනයේ දී විපක්ෂයට අවාසියකි. 

මාගේ අදහස නම්, තුන් වන තැනට පත් වන්නට සජිත් ප්‍රේමදාස ඡන්දයට ඉදිරිපත් වන්නේ නැති බව සහ ඉදිරිපත් නොවිය යුතු බවය. අංක ගණිතය වැදගත්වන්නේ සිය දේශපාලන න්‍යාය පත්‍රය වනෙුවට පොදු වැඩ පිළිවෙළකට එකඟත්වය ලබා ගැනීමට ය.  2021 දෙසැම්බර් සිට අපි මේ "විපක්ෂයේ පොදු එකඟතාව" ගොඩනගන්නට උත්සහ කළෙමු. ප්‍රධාන විපක්ෂය එම උත්සාහය නොතකා හැරියේය. අවශ්‍ය නම් තවමත් කල් තිබේ. නැති නම් විපක්ෂය ඔවුන්ගේම විනාශයේ පාර කපා ගනු ඇත. 

 

 

Advertiesment