රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් වුවහොත් අගමැතිකම භාර ගැනීමට තමන් සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ (6) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
රනිල් වික්‍රමසිංහ යනු රටේ පවතින ආර්ථික අර්බුදයේ නිර්මාණකරුවකු මිස විසඳුම්කරුවකු නොවන බව ද කී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කුමන හෝ පාර්ශ්වයක් නිවැරැදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළහොත් ඒ සඳහා විපක්ෂයේ සිට මාස 6ක් වැනි කෙටි කාලයක් සඳහා සහයෝගය දීමට ද සූදානම් බව ප්‍රකාශ කළේය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටත් ඔහුගේ වැඩසටහන කුමක් ද, එය අවසන් කරන කාලය පිළිබඳ කිසිවක් නොකියා ආණ්ඩුවේ රැඳී සිටීමට අයිතියක් නැති බවත් කීය.
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ සාමාජිකයන්ට පෙට්‍රල් බෝම්බ නිපදවන ආකාරය පිළිබඳ උපදෙස් දීමත් මේ 9 දා එය බඩේ බැදගෙන ජනාධිපති කාර්යාලය වටලා ජනාධිපතිවරයා පළවා හරින ලෙසත් එයට අනුර කුමාර දිසානායකගේ උපදෙස් ලැබී තිබෙන බවත්, එම පලවා හැරීමෙන් පසු තමා ජනාධිපති තනතුරට පත් කරන බවත් දැක්වෙන, මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් රජය වහාම පරීක්ෂණයක් පවත්වා එය නිර්මාණය කළේ කවුද යන්න රටට අනාවරණය කළ යුතු යැයි ද අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මේ වීඩියෝව ආණ්ඩුවේ නිර්මාණයක් බවට මේ වන විට සාධාරණ සැකයක් තම පක්ෂය තුළ පවතින බව ද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වැඩි දුරටත් සඳහන් කළේය.
මේ 9 දා පවත්වන උද්ඝෝෂණයට ජාතික ජන බලවේගයේ සහයෝගය දෙන බව ද කී අනුර කුමාර දිසානායක මහතා ඇතැමුන්ගේ බල ව්‍යාපෘතිවල කොටසක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩු හදන බවත් තමන්ට අගමැති ධුරය ලැබුණොත් ජනාධිපතිවරයාව ද ඉවත් කිරීමට පියවර ගන්නා බව ද කීය.
Lanka Newsweek © 2024