Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


 හූ කියා පාර්ලිමේන්තුවෙන් එළවා දැමුණු පළමු විධායක ජනාධිපති


2022-07-06 14333

 

(රජිත් කීර්ති තෙන්නකෝන්)

 

ශ්‍රී ලංකාවේ කිසිදු විධායක ජනාධිපතිවරයෙකු මුහුණ නොදුන් අවමන් සහගත අවස්ථාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (05) මුහුණ දුන්නේය. විධායක ජනාධිපතිවරුන් හය දෙනෙකු වසර 44ක් තිස්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ ඇත. එමෙන්ම පාර්ලිමේන්තුව අමතා ඇත. නමුත්, ඒ කිසිම අවස්ථාවක කිසිදු මන්ත්‍රීවරයෙකු ඒ ඒ ජනාධිපතිවරුන්ගේ නම් කියමින් පාර්ලිමේන්තුවෙන් පිට වන යන තැනට "හූ" කියා විරෝධය පළ කර නොමැත. 

ඒ කෙසේ නමුත් 2022 ජූලි මස 5 වැනිදා විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ටික වේලාවක් ගත වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔහුගේ නම කියමින් "හූ" කියා විරෝධය පළ කළ නිසා පාර්ලිමේන්තුවෙන් නැගිට යාමට ඔහුට සිදු විය. එමෙන්ම ජනාධිපතිවරයෙකු සභාවේ සිටිය දී පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු වූයේ ද ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට ය. 

දියවන්නා පාර්ලිමේන්තු කාමරයක දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාට එදා බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරමින් ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එදා (2000 අගෝස්තු) කතා කරන විට විපක්ෂයේ සිටී එක්සත් ජාතික පක්ෂය ඊට විරෝධය දැක්වීය. ව්‍යවස්ථා කෙටුම්පත ගිණි තැබුවේය. නමුත්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමාගේ පාඩුවේ සිය කතාව කර ගෙන ගියාය.  

පාර්ලිමේන්තුවේ කතා කරන විට ඊට වාචික විරෝධය දැක්වීම පාර්ලිමේන්තු සම්ප්‍රාදයට අනුකූලය. පාර්ලිමේන්තුව ඇත්තේ කතා කිරීමටය. විරෝධය සහ අදහස් දැක්වීමටය.  එදා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සිය ශක්තිය සහ ආත්ම විශ්වාසය දක්වමින් විපක්ෂයේ අභියෝගයට සභාවේ දී මුහුණ දුන්නාය. 

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා, දෝෂාභියෝගය අවස්ථාවේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කර නව පාර්ලිමේන්තු සැසිය ඇරඹි දවසේ ද, විපක්ෂයේ කෑ කෝ ගැසීම්වලට මුහුණ දීමට සිදු විය.  මුලාසනයේ සිට සභාව ඇමතු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා තමා සුදානම් කර ගත් කතාව අවසන් කර විපක්ෂයට පිළිතුරු දෙන්නට සුදානම් වූ නමුත් ඔහු ගැටුමකට ගියේ නැත.  කතා නායක එම්.එච්.මොහොමඩ් මහතා, රණසිංහ ප්‍රේමදාසගේ කතාව නවත්වන්නට අතින් සංඥා කළේය. සිය කතාව අවසන් කර සම්ප්‍රදාය අනුව ජනපතිවරයා එදා අසුනින් බැස ගියේය. පිටව යන විට විපක්ෂය ඔහුට අගෞරව කළේ ද නැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉතිහාස ගත වන්නේ සභාවට පැමිණි මොහොතේ සිට පිටව යන තුරු විරෝධයට ලක්වූ සහ ඒ ගැන පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කිසිදු විරෝධයක්, ප්‍රතිචාරයක් සේම අභියෝගයක් නොකළ අයෙකු ලෙසය. සාමාන්‍යයෙන් ජනපති, අගමැති, විපක්ෂ නායක, සභානායක සහ විපක්ෂයේ සංවිධායකට අනුපිළිවෙළ අනුව කතා නායකගෙන් සිය මතය කියන්නට අවස්ථාව ලබා ගත හැකිය. 

කෙසේ නමුත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාට එල්ල වන විරෝධයට වචනයක් කියා ගත නොහැකි වූයේ ය. කිසිවෙකුත් ඔහු (මතවාදීව) බේරා ගන්නට සභාවට කරුණු දැක්වූයේ ද නැත. "Gota Go Home" යැයි කියමින් මන්ත්‍රීවරුන් "හූ" කියන විට ඔහු කළේ නැගිට යාම පමණී. 

Advertiesment