Monday 3rd of October 2022

English Tamil
Advertiesment


අධි උද්ධමනය ඉල්ලන් කෑමක්


2022-07-04 7060

 

අධි උද්ධමනයට ආණ්ඩුව පමණක් නොව ජනතාව ද වග කිව යුතුය

 

මහා ජනයාගේ සහ ආණ්ඩුවේ වගකීම කුමක්ද..?    

 

 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී තිබෙන අර්බුදය බාහිර ආර්ථිකය හෙවත් විදේශ විනිමය පදනමෙන් ගනුදෙනු සිදු වන අංශයේ පැන නැගුනු වෙළඳ ශේෂ සහ ගෙවුම් ශේෂ හිඟය විසින් ද, දේශීය ආර්ථිකයට අදාළ රාජ්‍ය ආදායම සහ වියදම අතර ඇති පරතරයව විසින් ද, සමස්ත ඵලදායිත්වය වර්ධනය නොවීම විසින් ද නිර්මාණය වූවක් වුවද එහි සැබෑ මූලාශ්‍රය වන්නේ මහ ජනයාය. 

එනම් මහ ජනයා විසින් විසින් රජයෙන් උද්ධමනය ඉල්ලා ගැනීමය. මෙම ලිපිය මහ ජනයා විසින් උද්ධමනය ඉල්ලා ගත් ආකාරයත් ආණ්ඩු ඊට සහයෝගය දුන් ආකාරයත් එමගින් මිදීම උදෙසා රජය සහ මහ ජනයා විසින් දැන් ගත යුතු ක්‍රියා මාර්ග ගැනත් සාකච්ඡා කරයි.   

 
විනිමය පරතරය

 

විදේශ විනිමය හිඟය අර්බුදයේ එක් මූලාශ්‍රයක් පමණි. විදේශ විනිමය හිඟය නිර්මාණය වන්නේ අපනයනවලට වඩා ආනයනය කිරීමේ දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් ලෙසය. එම තත්ත්වය වෙළඳ හිඟය ලෙස හඳුන් වන අතර ආර්ථිකයේ වෙනත් විනිමය ගනුදෙනු ද සැලකිල්ලට ගෙන ගෙවුම් ශේෂය ලෙස ගණන් තබන ගිණුමේ හිඟය ද දීර්ඝ කාලීනව අත්දකින ලදී. මෙසේ නිර්මාණය වන විනිමය හිඟය පියවා ගැනීමට නිරන්තරයෙන් විදේශ ණය ගැනීමට සිදුවූ බැවින් රටේ මුළු ණය ප්‍රමාණය වාර්ෂික විනිමය ඉපයුම වගේ තුන් ගුණයක් පමණ වර්ධනය විය. 

ණය බර වැඩි වීමත් ණය සේවා අනුපාතිකය පිරිහී ණය ගෙවීමේ හැකියාව හීන වීමත් විනිමය සංචිත පිරිහීමත් යන හේතු නිසා ණය ගෙවීමට නොහැකිව බංකොලොත් රටක් බවට පත්වූ බැවින් ශ්‍රී ලංකාවට නැවත ණය ගැනීමේ හැකියාව අල්ප විය. සමස්තයක් ලෙස විනිමය හිඟය නිසා රුපියලේ විනිමය අගය දරුණු ලෙස පිරිහීමට පත් විය. මේ හේතුවෙන් ආනයනය සීමා වූ අතර ආයනනික භාණ්ඩවල මිල ද දැඩි ලෙස ඉහළ ගියේය. සමස්ත දේශීය පරිභෝජනයේ විශාල කොටසකට ආනයනික භාණ්ඩ දායක වන බැවින් එම තත්ත්වය රටේ සමස්ත මිල මට්ටම ඉහළ දැමීමට ද දැඩිව බලපෑවේය. 

 
අයවැය පරතරය

 

අර්බුදයේ දෙවන මුලාශ්‍රය වන්නේ දේශීය ආර්ථිකයට සම්බන්ධ රාජ්‍ය අංශයේ අදායම් වියදම් පරතරයයි. එම පරතරය අයවැය පරතරය ලෙස හඳුන්වනු ලැබේ. රාජ්‍ය ආදායම ඉක්මවා වියදම් කිරීම සාමාන්‍ය සිරිතක් බවට පත්ව තිබුණ ද පසු ගිය වසර දෙක ඇතුළත දී එම තත්ත්වය දරුණු අතට හැරුණි. ඊට හේතුව වූයේ බදු කපා හැරීම නිසා රාජ්‍ය ආදායම දැඩි ලෙස පිරිහීම සහ COVID-19 වසංගතය හේතුවෙන් රජයට දැරීමට සිදු වූ අමතර වියදම් නිසා රාජ්‍ය වියදම අසාමාන්‍ය ලෙස ඉහළ යාමයි. 

ඊට අමතරව වැටුප් වැඩි කිරීම් ඉල්ලා නිරන්තරයෙන් කරනු ලබන වෘත්තීය අරගල හේතුවෙන් ද, රාජ්‍ය අංශයට එහි අවශ්‍යතාවය වගේ  තුන් ගුණයක් පමණ සේවක පිරිසක් බඳවා ගෙන සිටීමෙන් ද, නාස්තිය සහ දූෂණය යනාදිය නිසා ද, රජයට සිය ආදායම වගේ තුන් ගුණයක පමණ වියදමක් දැරීමට සිදු විය. 

මෙම වියදම් පියවීම පිණිස රජය යොමු වූ ප්‍රධානතම විකල්පය වුයේ මුදල් අච්චු ගැසීමය. ඒ හේතුවෙන් රටේ මුදල් සැපයුම වර්ධනය වී මුදල් සංසරණය පුළුල් විය. වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සහ වෙනත් හේතු මත ද දේශීය නිෂ්පාදිතය පිරිහුණු බැවින් භාණ්ඩ සැපයුම ද අඩු විය. මෙම හේතු සමග ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමද බැඳී රටේ අධි උද්ධමන තත්වයක් නිර්මාණය විය. 

 
ඌන ඵලදායිතාව

 

අපේ රටේ පොදුවේ දැකිය හැකි ඵලදායිත්වයේ සැලකිය යුතු වර්ධනයක් නොවීම ද මෙම අර්බුදයේ එක හේතුවකි. රාජ්‍ය අංශයේ ඵදායිත්වය බෙහෙවින් අඩු අතර පෞද්ගලික අංශයේ ඵලදායිත්වය ද ජාත්‍යන්තර මට්ටමේ ඵලදායිත්වයට බෙහෙවින් අඩුය. එබැවින් අපනයනවලට ජාත්‍යන්තර වෙළඳ පොළේ තරගකාරිත්ව බලයක් නැත. ඇඟලුම් අපනයන අංශයේ කාර්යක්‍ෂමතාව වඩා හොඳ වුවද ශ්‍රී ලංකාවේ අපනයනවලට පැවැත්මක් ඇත්තේ GSP+ වැනි විශේෂ ආනයන අනුග්‍රහ නිසාය. 

තවද දේශීය ව්‍යවසායකත්වයේ දුර්වලතාව නිසා නව නිපැයුම් සහ අපනයන සීමා වීම හේතුවෙන් දේශීය නිෂ්පාදනයේ ද, අපනය ආදායමේ ද වර්ධනය මන්දගාමී වී තිබේ. එසේ වුවද, රටේ නිෂ්පාදන සාධකවල මිල ඉහළය. ඵලදායිතාව අඩු මට්ටමක තිබිය දී වැටුප් ඇතුළු සාධක මිල ඉහළ මට්ටමක තිබීම උධමනයේ එක් මුලාශ්‍රයකි. උද්ධමනය පහත හෙලීමේ සඵලදායී ක්‍රමය වන්නේ සමස්ත නිෂ්පාදන ඵලදායිතාව වර්ධනය කර ගැනීමයි. මුදල් අච්චු ගැසීම සීමා කර ගත හැකි වන්නේ ද එවිටය. රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ සහ සංවර්ධන ප්‍රතිපත්තියේ වැරදි මුදල් සංසරණය ඉහළ යාමටත් සමස්ත ඵලදායිතාව වර්ධනය නොවීම බලපා තිබේ. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ උද්ධමනයට මග පෑදීමයි.

 
අසීමිත ජනතා ඉල්ලීම්

 

උද්ධමනය කෙරෙහි මෙම හේතු බලපා ඇති බව සත්‍යයක් වුවත් මෙම උද්ධමනය රජය විසින් හිතාමතා අපට ලබා දුන් උද්ධමනයකට වඩා අප විසින් ඉල්ලා ගත් උද්ධමනයක් ලෙස සැලකීම යුක්ති සහගතය. රට වැසියන් රජයේ රැකියා කිරීමට වැඩි කැමැත්තක් දක් වන බැවින් රැකියා ලබා දෙන ලෙස මහ ජනයාගෙන් රජයට දැඩි බලපෑමක් එල්ල වේ. එහි දේශපාලනමය වාසියක් ද ඇතුළත් වන බැවින් බලයට පත් වන ආණ්ඩු ජයටම රජයේ රැකියා ලබා දීම සිදු කරයි. ඒ අනුව රාජ්‍ය සේවක සංඛ්‍යාව අසීමිත ලෙස වර්ධනය වූ අතර රාජ්‍ය සේවය සාමාන්‍යයෙන් විශ්‍රාම වැටුප් සහිත බැවින් බැඳුණු දා පටන් මරණය දක්වාම සේවකයන් වෙනුවෙන් රජයට වියදම් දැරීමට සිදු වේ. 

එමෙන්ම සිය සේවා කාලයේ දී ඔවුන් ගොඩනගා ගන්නා වෘත්තීය සමිතිවල බලවත්කම ඔස්සේ වැටුප්, දීමනා සහ පහසුකම් ඉහළ දමා ගැනීම අධික ලෙස රාජ්‍ය වියදම වර්ධනය වීමට දායක වෙයි. ප්‍රවාහන පහසුකම්, නිළ රථ, නිළ නිවාස, තීරු බදු රහිත වාහන, වාහන බලපත්, නිළ ඇඳුම්, අතිකාල ගෙවීම්, දුරකථන දීමනා, පඩි සහිත නිවාඩු යානාදී දහසක් දීමනා දිනා ගෙන රාජ්‍ය වියදම වැඩි කිරීමට රාජ්‍ය සේවකයන් දායක වී තිබේ. 

රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂමතාව සහ පුළුල්ව පැතිරුණු වංචාව, දූෂණය සහ නාස්තිය නිසා රාජ්‍ය වියදම තවත් වැඩි වන අතර රජය ආදායම් උපයන ශ්‍රී ලංකා රේගුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතන ආදායම රැස්කර දෙනවා වෙනුවට එම ආදායම් සාකුවේ දමා ගැනීම ද රාජ්‍ය ආදායම පිරිහීමට හේතු වී තිබේ.   

එමෙන්ම නොමිලයේ දෙන සුබ සාධන සේවා පුළුල් කර දෙන ලෙස මහ ජනයා කරනු ලබන බලපෑම් නිසා අධ්‍යාපන, සෞඛ්‍ය සහ සුබ සාධන දීමනා නිසා ද රාජ්‍ය වියදම ඉහළ දැමීමට මහ ජනයා දායක වෙයි. මෙම සේවාවන් දුප්පත් පෝසත් සැමට එක සේ ලබා දීමට අධික වියදමක් දැරීමට සිදු වේ. එපමණක් නොව, රාජ්‍ය ව්‍යාපාර සහ ව්‍යාපාර ජන සතුව ඔස්සේ දායාද කර තිබෙන පාඩු ලබන රාජ්‍ය ආයතන රැක ගැනීමට කරනු ලබන බලපෑම් නිසා රාජ්‍ය වියදම මහත් සේ ඉහළ ගොස් තිබේ. එවැනි ආයතනවල අධික අකාර්යක්‍ෂමතාව නිසා එම ආයතන විසින් සපයන භාණ්ඩ සහ සේවාවන්ගේ මිල ද අධිකය. එබැවින් එම මිල පහත හෙලීමට රජය සහන සපයයි. එමගින් ද රාජ්‍ය වියදම පුළුල් වේ. 

මේ සෑම කටයුත්තක් සඳහාම රජය මැදිහත් වන ලෙසත්, ඒ වෙනුවෙන් වියදම් කරන ලෙසත් මහ ජනයාගෙන් රජයට බලපෑම් එල්ල වේ. අනෙක් අතට බදු අය කර ගනු ලබනවාට මහ ජනයා විරුද්ධය. අනෙක් අතට බදු පහත හෙලන ලෙස කරනු ලබන බලපෑම් හමුවේ ආණ්ඩු ද සහන ශීලී බදු ප්‍රතිපත්ති හඳුන්වා දෙයි. මේ අනුව රජයේ ආදායම් අඩු කිරීමටත් වියදම් වැඩි කිරීමටත් ආදායම් වියදම් පරතරය පියවා ගැනීම පිණිස මුදල් අච්චු ගැසීමටත්, ණය ගැනීමටත් බලපෑම් කළෝ මහ ජනතාව නොවේද..? 

මුදල් අච්චු ගහන්නේ රජයෙන් වන බැවින් උද්ධමනය නිර්මාණය කරනුයේ රජයෙන් බව මිල්ටන් ෆ්‍රීඩ්මන් දක්වන අදහස සාවද්‍ය වේ. මුදල් අච්චු ගසන යාන්ත්‍රනය රජය සතු බව සැබෑවක් වුවත් එසේ අච්චු ගැසීමට සිදු වන්නේ මහ ජන බලපෑම නිසාය. මාරුවෙන් මාරුවට ආණ්ඩු විසින් කරන ලද්දේ සල්ලි අච්චු ගසා වියදම් කිරීමය. එම ක්‍රියාවලිය මහ ජනයාගේ සතුටට හේතු විය.

 
අදූරදර්ශී ආණ්ඩු

 

එහෙත් සියලු දොස් මහ ජනතාව මත පටවා සුදනෙකු වීමට ආණ්ඩුවට හැකියාවක් ද නැත. ඒ මක් නිසාද යත් ආණ්ඩුකරණය මහ ජනයාගේ සියලු ඉල්ලීම්වලට සංවේදී වනවාට වඩා දීර්ඝ කාලීන සැලසුම් මෙහෙයවා කළ යුතු බැරෑරුම් කාර්යයක් වන නිසාය. 

සියලු දෙනා සතුටට පත් කිරීමට නම් අයිස්ක්‍රීම් වෙළෙන්දෙකු විය යුතු යැයි කියමනක් තිබේ. මෑත කාලීන ශ්‍රී ලංකා ආණ්ඩු කෙරෙන් බැරෑරුම් සහ දිගු කාලීන ඉලක්ක වෙත යොමු වූ ආණ්ඩුකරණයක් දැකිය නොහැකිය. කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීම පිණිස සමාජවාදී, ආගම්වාදී සහ දේශීය චින්තන පමණක් නොව පිං කිරීම පවා රාජ්‍ය වියදමෙන් සිදු කොට මහ ජනයාට ඒ පිං අනුමෝදන් කර ගැනීම දක්වා වූ සිල්ලර මට්ටමේ ක්‍රියාකාරකම්වලට ආණ්ඩු යොමු කරවනු ලැබීය. රටේ වාමාංශික පක්‍ෂ රාජ්‍ය වියදම වැඩි කිරීමට සහ බදු ආදායම් අඩු කිරීමට කරනු ලබන බලපෑම අති මහත් වන අතර පන්සල්, පල්ලි, කෝවිල් ඉදිකරවා ගැනීම ඔස්සේ පූජ්‍ය පක්ෂය ද රාජ්‍ය වියදම් වැඩි කරලීමට ක්‍රියා කළේය.   

ආර්ථික විද්‍යාව, සංඛ්‍යානය හෝ වෙනත් කිසිදු ශාස්ත්‍රීය විෂයක දැනුම් පදනමක් ආණ්ඩුකරණයේ දී සැලකිල්ලට නොගන්නා බැවින් ආර්ථික සහ සමාජ ක්‍රමයක් සුමටව සහ තිරසාර ලෙස සංවර්ධන මාවතේ ඉදිරියට ගෙන යාමට රජයකට එතරම් ඉඩක් නොලැබේ. වාමාංශිකයන්ගෙන් ද වෙළඳ පොළ ක්‍රමයකට මහත් බාධා පැමිණේ. විද්‍යාත්මක ආණ්ඩු බිහි නොවන්නේ ඒවාහි ආයු කාලය කෙටි වන බැවිනි. වර්තමානයේ අප රට මුහුණ දී තිබෙන්නේ එම ගැටලුවටයි. 

එබැවින් මෙම ගැටලුවේ තනි වගකීම රජයට පැවරිය නොහැකිය. ඊට හේතුව වන්නේ රජයේ එම ක්‍රියාකාරිත්වය ඉල්ලා සිටියේ මහ ජනතාව වන බැවිනි. සෑම මැතිවරණ ප්‍රකාශනයකම ඵලදායි නොවන රාජ්‍ය වියදම් රැසක් පොරොන්දු වන අතර සෑම අයවැය ලේඛනයකම ඵලදායී නොවන වියදම් රැසක් ඇතුළත් වන්නේ ඒ නිසාය. එබැවින් අධි උද්ධමනයේ අවසාන වග කිව යුත්තා මහ ජනතාව බව කිව යුතුය.

 
මහ ජන වගකීම

 

මහ ජනයා විසින් ඉල්ලා ගත් උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් මහ ජනයා කළ යුත්තේ මෙතෙක් ආණ්ඩුවලට කරන ලද බලපෑමේ විලෝමය කෙරෙහි යොමු වීමයි. අවුරුදු 74ක දේශීය චින්තන, සමාජවාදී, සහ සුබ සාධනවාදී රාජ්‍ය පාලනය වෙනස් කර ගත හැකි වන්නේ එමගිනි. ඒ සඳහා මහ ජනයාගේ ආකල්පවල පරිවර්තනයක් සිදු වීම අවශ්‍ය වේ. ඒ අනුව මේ මොහොතේ මහ ජනයා ඉල්ලා සිටිය යුත්තේ රාජ්‍ය වියදමට බරක් වූ සියලු පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම, රජයේ අධික වැටුප් බිල පාලනය කිරීම පිණිස රාජ්‍ය සේවා විශ්‍රාම වයස පහත හෙලීම, විශ්‍රාම වැටුප් වෙනුවට විශ්‍රාම අරමුදල් ක්‍රමයකට හැරීම, රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩකින්වත් අඩු කිරීම, වැටුප්-දීමනා වැඩි කර ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිති මෙහෙය නොවීම, නාස්තිය අවම කිරීම, බදු පුළුල් කිරීම, බදු ගෙවීමට වැඩි වැඩියෙන් දායක වීම, ආණ්ඩුවෙන් පහසුකම් ඉල්ලා නොසිටීම, සුබ සාධන සීමා කර ගැනීම, මැතිවරණ කාලවල දී රජයේ වියදම ඉහළ යා හැකි යෝජනා අපේක්ෂා නොකිරීම, අයවැයෙන් සහන අපේක්ෂා නොකර සිටීම සහ රාජ්‍ය ධනය අවභාවිත නොකර සිටීම යනාදිය යි. 

එවිට ආණ්ඩුවේ මුදල් අච්චු ගැසීම සහ විදේශවලින් ණය ගැනීම පාලනය වී උද්ධමනයට බලපෑ හේතු ඉවත්ව ගොස් උද්ධමනය නිරුද්ධ වේ. එමගින් මහ ජනයාගේ ආදායම් සහ දේපොළ යනාදියට නැවත නිසි මුර්ත වටිනාකමක් ලැබෙන්නට පටන් ගනී. අධි උද්ධමනය නිසා හට ගෙන තිබෙන මහ ජන පීඩාව ඒ අනුව ස්වර්ණමය අවස්ථාවක් බවට පත් කර ගැනීමේ අවස්ථාව මේ වන විට උදාවී ඇත. ඒ කෙසේ ද යත් පීඩාවට පත් මහ ජනයාට එම උද්ධමනකාරී පීඩාව නිර්මාණය කර ගනු ලැබුවේ මහ ජනයා බව තේරුම් කර දීමට පහසු වන බැවිනි. එසේ සිදු කොට මහ ජනයාව රාජ්‍ය වියදම අඩු කරවා ගැනීමට දායක කරවා ගත හැකිය. උද්ධමනය පාලනය කර ගැනීම, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව නංවා ගැනීම, රජයේ නාස්තිය-දූෂණය පාලනය කර ගැනීමට සේම නිසි ආකල්ප සහ පාලන ක්‍රම ද හඳුන්වා දීමට මෙම වාතාවරණය අවස්ථාවක් කර ගත යුතුය. 

 
74 වසරකින් පසු

 

අද ශ්‍රී ලංකා සමාජය මේ අර්බුදය දකින්නේ දේශපාලන අර්බුදයක් ලෙසය. එබැවින් දේශපාලන පක්‍ෂ සේම ඇතැම් ජනයා ද දේශපාලන වෙනසක් ඉල්ලා අරගල කරමින් සිටී. දේශපාලන වෙනසක් යනු අලුත් ආණ්ඩුවක් පිහිටුවා නව ප්‍රතිපත්ති හඳුන්වා දීමය. එවැනි නව ප්‍රතිපත්ති කෙබඳු විය යුතුද..? කුමන ආණ්ඩුවක් බලයට පත් වුව ද නැවත සමාජ සුබ සාධනවාදී රාජ්‍ය දේපළ ක්‍රමය ක්‍රියාත්මක කළ හොත් පවතින තත්ත්වය වෙනස් කර ගත හැකි නොවේ. නව ආණ්ඩුවක් කළ යුත්තේ ඉහත දැක්වූ යෝජනා ක්‍රියාවට නැංවීමයි. එමගින් වෙළඳපොළ ක්‍රමය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල වෙනසක් සහ කැපවීම අවශ්‍ය වේ. වසර 74ක් පැවති සුබ සාධන සහ රාජ්‍ය ව්‍යවසාය ක්‍රමය වෙනුවට වෙළඳ පොළ පදනම් කර ගත් අර්ථ ක්‍රමයක් ගොඩනගා ගැනීමට මේ මොහොත අවස්ථාවක් කර ගත යුතුය. 

හුදු දේශපාලන වෙනසකට පමණක් මෙම අර්බුදය විසඳීමට නොහැකිය. බලයට පත්වන නව ආණ්ඩුවක් ද ඊට ඡන්දය දෙන පිරිසක් ද වේ නම් ඔවුන්ගේ ප්‍රථම කාර්ය විය යුත්තේ අනවශ්‍ය ලෙස පිම්බී ඇති රාජ්‍ය අංශය හකුළුවා ලීමයි. රාජ්‍ය අංශය තව දුරට පුළුල් කිරීමෙන් අර්බුදය තවත් උත්සන්න වේ. 

කණගාටුවට කරුණ නම් බලය ඉල්ලා කෑ කෝ ගසන කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ වසර 74ක් පැවතියාටත් වඩා සුබ සාධන සහ රාජ්‍ය ව්‍යවසාය ක්‍රමය සේම තවත් බොහෝ දේ නොමිලයේ ලබා දෙන බවයි. දැනට වඩා රාජ්‍ය අංශය සේම සුබ සාධනය ද පුළුල් කරන බවයි. ඒ සඳහා වැඩි වැඩියෙන් මුදල් අච්චු ගැසීමට සිදු වේ. නව ආණ්ඩු පිහිටුවීමෙන් උද්ධමනය පාලනය කර ගත නොහැකි වන්නේ එබැවිනි. නව ආණ්ඩුවක් විසින් ඇති කරනු ලබන නව ක්‍රමය භයානක වනු ඇත්තේ ද එබැවිනි.
  
 

Advertiesment