Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


ඉදිරි දින කිහිපයේ තෙල් පෝලිම්වලට යන්න එපා


2022-06-27 14327

 

(පී.කේ. බණ්ඩාර)

 

ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන ගැනීම සඳහා ඉන්ධනහල්හි පෙළ නොගැසෙන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙරටට ඉන්ධන සැපයෙන නියමිත දිනයක් ගැන ස්ථිරවම දැනට ප්‍රකාශ කළ නොහැකි තත්ත්වය මත අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන පිරවුම්හල් වෙත නොපැමිණෙන ලෙසයි.

සැලසුම් කර ඇති පරිදි දැනට පෝළිම්වල රැඳී සිටින්නන්ට ටෝකන් පත් දුන්නත් දැනට පවතින සීමිත ඉන්ධන සංචිත කළමනාකරණය කර ගනිමින් ඉන්ධන නිකුත් කරන මුත් ඊළඟ නෞකාව පැමිණෙන තෙක් සෑම පිරවුම්හලකටම ඉන්ධන නිකුත් කිරීමේ හැකියාවක් නොලැබෙන බවද අමාත්‍යවරයා කීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ කංචන විජේසේකර අමාත්‍යවරයා...

‘‘ඉදිරි දින කිහිපයේ ඉන්ධන සැපයුම කළමනාකරණය වෙනතෙක් ඉන්ධනහල් හි පෝලිම් නොගැසෙන ලෙස ජනතාවගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා. කනගාටුවෙන් මේක කියන්නේ. මම දන්නවා වේදනාව, මම දන්නවා තියෙන පීඩනය සහ වෛරය. මට හෝ රජයට හෝ අමාත්‍යංශයට වෙන්න පුළුවන්. ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට වෙන්න පුළුවන්. නමුත් මම ඉල්ලා සිටිනවා ඉදිරි දින කිහිපයේ පිරවුම්හල් හි පෙළ ගැසෙන්න එපා කියලා.’’ දැනට ඇති ඉන්ධන සංචිත පොදු ප්‍රවාහනයට, කර්මාන්තවලට, අත්‍යවශ්‍ය විශේෂ සේවාවනට ප්‍රමුඛතාව දෙමින් නිකුත් කරන බවද අමාත්‍යවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවැසීය.

ඊයේ උදෑසන වන විට ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල් සංචිත මෙ.ටො. 9,000ක් පමණ, පෙට්‍රල් ඔක්ටේන් 92 සහ 95 දෙවර්ගයෙන්ම මෙ.ටො. 5,500ත් 6,000ත් අතර ප්‍රමාණයක් පවතින බව ද අමාත්‍යවරයා පැවැසීය.

අයි.ඕ.සී. සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් දීමට එම සමාගම කැමැත්ත පළ කළ බවත් එම ඉන්ධන ප්‍රමාණය අද ලැබෙන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.

 
 

 

Advertiesment