Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


ආණ්ඩුව ඉන්ධන-ගෑස් අර්බුදය නොවිසදන්නේ ඇයි..?


2022-06-27 14751

 

 රට සහ ජනතාව මුහුණ දී සිටින ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය රජයට අවශ්‍ය නම් ඉතා පහසුවෙන් විසඳිය හැකි බව පහත දත්ත විමසීමේදී ඔබට අවබෝධ වනු ඇති අතර එසේ නම් රජය එසේ නොකරන්නේ ඇයි කියන ප්‍රශ්නය ඔබ මතු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ගෑස් ආනයන වියදම බලන්න..."ලිට්‍රෝ" සමාගමේ මාසික ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 20-23 පමණ වනවා. "ලාෆ්" සමාගමට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 7-10 ක් පමණයි. සමස්ත මාසික ගෑස් ආනයන වියදම ඩොලර් මිලියන 30යි. වාර්ෂික ගෑස් අවශ්‍යතාව ගෑස් මෙට්ට්‍රික් ටොන් 440000යි. වාර්ෂිකව ආනයන වියදම උපරිම ඩොලර් මිලියන 360 යි.

ඒ අනුව මාසික ඉන්ධන බිල දෙස අවධානය යොමු කර බලන්න.!. මාසික අවශ්‍යතාව සාමාන්‍ය ඩොලර් මිලියන 311ක් පමණ වනවා. එහෙත් 2022 අප්‍රේල් මාසයේ මිලියන 700ක් වැය වී තිබෙනවා. හේතුව වරාය ප්‍රමාද ගාස්තු, අතරමැදි ගනුදෙනු සහ "Spot Buying" ආදියයි. ඒ නිසා මෙසේ මිළ ඉහළ ගොස් තිබෙනවා. නිවැරැදි  Term Tender  එකක් හරහා මාසයකට උපරිම ඩොලර් මිලියන 500කින් මේ ප්‍රශ්නය විසඳිය හැකියි. වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක පමණ ආනයන බිලක් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ 2020 අපනයන ආදායම ඩොලර් බිලියන 10.05. COVID-19 වසංගතය තිබුණත්, අපනයන ආදායම 2021 වන විට ඩොලර් බිලියන 15.72 දක්වා වර්ධනය වුණා.

2022 මාර්තු අපනයන ආදායම ඩොලර් බිලියන 1.057යි. ඒ වගේම 2022 අප්‍රේල් අපනයන ආදායම ඩොලර් මිලියන 915.3 දක්වා අඩු වුවත් 2022 මැයි මාසයේ ඩොලර් බිලියන 1.2 (Estimated ) බව වාර්තා වෙනවා. ඔබ හිතන්න සියලු වියදම් අඩු කළ විට ඩොලර් මිලියන 500 ආදායමක් මාසයකට ලැබෙනවා කියලා.

ඊළඟට, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ 2022 පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 205 ක්ද, මාර්තු මාසයේ දී මිලියන 318 ක්ද, අප්‍රේල් මාසයේ දී මිලියන 248.1ක්ද, මැයි මාසය වන විට ඩොලර් මිලියන 304.1 ක්ද ලැබුණා. (මුදල් අමාත්‍යාංශයේ අනතර් ජාල වෙබ් පිටුවෙන් උපුටා ගැනුණි )

ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන සහ ගෑස් බිල පියවා ගැනීමට අවශ්‍ය වන්නේ උපරිම ඩොලර් මිලියන 530 ක් පමණයි. එසේ නම්, මේ ඩොලර් ආදායම් මූලාශ්‍ර දෙක පමණක් පාවිච්චි කළත් අපිට ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය පහසුවෙන් විසඳිය හැකියි. රජයේ තවත් ඩොලර් ආදායම් මූලාශ්‍ර කිහිපයක්ම තිබෙනවා.

එසේනම් , ඔබ ඇසිය යුත්තේ ඇයි මේ පාලකයන් මේ දැවෙන ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් නොදෙන්නේ කියලයි. සත්‍ය වශයෙන්ම ඔවුන්ට මේ ප්‍රශ්න විසඳිය යුතු ප්‍රශ්න නොවෙයි. ඔවුන්ට අවශ්‍ය අර්බුදයේ අපව තවත් ගිල්වා තබා ගෙන ඔවුන් රටේ දේපළ කුණු කොල්ලයට විදේශ රටවලට විකුණා දමමින් මහා සංහාරයක් කිරීමටයි. රටේ ජනයා ඒවා ගැන අවධානය යොමු කරනවාට වඩා බලාපොරොත්තු වන්නේ තියෙන ඕනෑම බඩ කඩෙත්තුවක් විකුණා ඉන්ධන-ගෑස්-ආහාර ලබා දෙනවා නම් ඒ මදෑ කියලයි. ඔවුන්ට මේවායේ ආදිනව අවබෝධ වන විට බොහෝ ප්‍රමාද වැඩි බව මගේ හැඟීමයි.

-ශාන්ත ජයරත්න-
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය 
 
Advertiesment