Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ඉන්ධන-ආහාර මිල අඩු කරන්නැයි ඉක්වදෝර වැසියෝ ඉල්ලති


2022-06-22 14335

 

රට පුරා ප්‍රචණ්ඩත්වය පැතිරෙයි-40ක් අත්අඩංගුවට

 (හේෂාන් සම්පත්) 

 

ඉන්ධන හා ආහාර මිල ඉහළ නැංවීමට එරෙහිව ඉක්වදෝරයේ ස්වදේශික ආදිවාසි ජනතාව රට පුරා විරෝධතා පවත්වමින් සිටින බව වාර්තා වේ. මධ්‍යම රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව දිගින් දිගටම ඔවුන් විරෝධතාවල නිරතවෙමින් සිටින අතර, ඇතැම් කණ්ඩායම් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම හේතුවෙන් එක්වදෝරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

ඉක්වදෝරයේ උද්ධමනය හා විරැකියාව ද ඉහළ ගොස් ඇති අතර, අඩු මිලට ඉන්ධන හා ආහාර ඉල්ලා රජයට බලපෑම් කරන විරෝධතා පෙළපාලි මැඬ පැවැත්වීමට එරට ජනාධිපති ගුයිලමෝ ලාසෝ සන්නද්ධ හමුදාව කැඳවා තිබේ. මාර්ග අවහිර කරමින් පෙළපාලිකරුවන් ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කරන ලෙස ද රජයට බල කර තිබේ.

ඉක්වදෝරයේ ඉන්ධන මිල 2020 වසරේ සිට ඉතා දරුණු ලෙස ඉහළ ගොස් ඇති අතර, මිලියන 17.7ක ජනතාවක් සිටින එරට ආර්ථිකය පසුගිය කාලය ඇතුළත ඉතා බරපතළ ලෙස කඩා වැටීමට ලක්වී ඇත. රජයට එරෙහිව විරෝධතා පවත්වන එරට ස්වදේශී ජනතාව සමඟ සිසුන්, කම්කරුවන් සහ සෙසු කණ්ඩායම් ද එක්වී සිටින අතර, ආරක්ෂක අංශ සමග ගැටුම් ඇතිකරගත් පුද්ගලයන් 40 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. තවත් පුද්ගලයන් 83 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ.

 

Advertiesment