Friday 4th of October 2024

English Tamil
Advertiesment


කැන්ගරුවන් කඩුලු 6කින් පැරදවූ සිංහයෝ සතුට පෝලිමට ගෙන එති


2022-06-20 14333

පැතුම්ගේ මංගල එක්දින ශතකය මල් වෙඩිල්ලක් වෙයි


වසර 20කට පසු මෙරටදී පිට පිට දෙවරක් ඔස්ට්‍රේලියාව පරදවයි

 


සංචාරක ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද ඊයේ පැවති තෙවැනි එක්දින තරගයේදී පන්දු 9ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක ජයක් ශ්‍රී ලංකාව හිමි කර ගනියි. මේ තත්ත්වය මත තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස අභිමානවත්ව පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වසර 20කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව මව්බිමේදී පිට පිට එක්දින තරග දෙකක් ජය ගත් පළමු අවස්ථාව ද ඊයේ ක්‍රිකට් වංශ කතාවේ ලියැවිණි. 1992දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් සිංහයෝ ඇලන් බෝඩර්ගේ කැන්ගරු පිලට ආර්. ප්‍රේමදාස පිටියේදීම එලෙස බැට දී තිබිණි.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අසහනයට පත්ව සිටින ශ්‍රී ලංකාවාසීන්ට පිට පිටම ලබාගත් තරග දෙකක ජයග්‍රහණයෙන් සතුට ගෙන දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වීම අගය කළ යුත්තකි. අභියෝග රැසක් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳ නරඹන්නන් තුළ ඇත්තේ ද විශාල ගෞරවයකි. කලකට පසු ලැබූ මේ ආස්වාදයෙන් තරගය නිමා වූ පසුද පැය කිහිපයක් තිස්සේ ප්‍රේමදාස පිටිය වටා වීදි දිගේ ජය ඝෝෂා නඟමින් හා සිංහ ධජ ලෙළදවමින් ප්‍රේක්ෂකයෝ නර්තනයේ යෙදුණහ.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ ඔස්ට්‍රේලියාව ඕවර 50 තුළදී කඩුලු 6කට ලකුණු 291ක් රැස් කර ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 292ක් ගත්තේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක තම එක්දින ක්‍රිකට් ජීවිතයේ මංගල ශතකය වාර්තා කළේ ප්‍රබල ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් තුට්ටුවකට හෝ මායිම් නොකොට ප්‍රහාර එල්ල කරමිනි. ඒ වර්ණවත් පිතිකරණය දස අත පුපුරා ගිය මල් වෙඩිල්ලක් මෙන් අලංකාර විය. තවමත් 24 හැවිරිදි වියෙහි පසු වන, පැහැදිලි අනාගතයක් ඇති පැතුම් නිස්සංක පිටියේ අණසක පතුරවමින් පන්දු 147කදී හයේ පහර 2ක් හා හතරේ පහර 11ක් සමග ලකුණු 137ක් හිමි කර ගත්තේය. කුසල් හා පැතුම් නොබිදුණු ලකුණු 170ක සම්බන්ධතාවක් රඳවා තිබියදී පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ලකුණු 87කට පිටියෙන් ඉවත් වීමට කුසල් මෙන්ඩිස්ට සිදු විය. ඒ වෙද්දී කුසල් 20වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කොට තිබිණි.

පැතුම් හා දික්වැල්ල ඉනිම ආරම්භ කළ අතර, ලකුණු 42ක් වෙද්දී ලකුණු 25ක් රැස් කර සිටි දික්වැල්ල දැවී ගියේය. කුසල් පිටියෙන් ඉවත් වීමෙන් පසු එක් වූ ධනංජය ද සිල්වා පන්දු 17කදී හතරේ 4ක් සමඟ තැනට ඔබින ලකුණු 25ක් එක් කළේය. නායක දසුන් ශානකට ඊයේ දිනය එතරම් සුබ නොවූ අතර ඔහු ලකුණු නොලබාම දැවී ගිය අතර, චරිත් අසලංක දර්ශනීය හයේ පහරක් සමඟ ලකුණු 13ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ෙගන ගියේ පන්දු 9ක් ඉතිරිව තිබියදීය.

පළමුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ඉනිමේ 40 වැනි ඕවරය දක්වාම ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාලනයට නතු කර ගත්තද, අවසන් ඕවර 10 තුළදී එය ගිලිහී ගියේය. ඔස්ට්‍රේලියාව 40 වැනි ඕවරය වෙද්දී කඩුලු 5කට ලකුණු 19ක් වූ අතර, ලකුණු ගැනීමේ වේගය 4.82ක් ලෙස සටහන් විය.

ග්ලේන් මැක්ස්වෙල් හා ට්‍රැවිස් හේඩ් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සතර දෙසින් එල්ල කළ අනුකම්පා විරහිත ප්‍රහාරයෙන් ඔස්ට්‍රේලියාව අවසන් පන්දු 60ක් තුළදී ලකුණු 98ක් රැස් කිරීම ඔවුන්ගේ දළ ලකුණු වේගය වැඩි කර ගැනීමට ප්‍රධාන හේතුවක් විය. අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් පන්දු 18කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 33ක් ලබා ගන්ද්දී ට්‍රැවිස් හේඩ් පන්දු 65කදී හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 70ක් රැස් කිරීමට සමත් විය. තරගයේ 49 වැනි ඕවරය යැවූ දුනිත් වෙල්ලාලගේට දැවැන්ත හයේ පහර 3ක් එල්ල කිරීමට හේඩ් සමත් විය. ඔහු ස්විප් පහර දෙකකින් හා ‘ලෝන්ග් ඕන්’ හරහා එල්ල කළ ඩ්‍රයිව් පහරකින් එම හයේ තුන වාර්තා කළේය.

ඔස්ට්‍රේලියානු එක්දින නායක ආරොන් ෆින්ච් කදිම ආරම්භයක් දෙමින් පන්දු 85කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් සමග ලකුණු 62ක් ලබා ගැනීම ලකුණු පුවරුව ඉහළ යෑමට තවත් හේතුවක් විය. පළමු කඩුල්ල ලකුණු 14දී හා දෙවැනි කඩුල්ල ලකුණු 47දී බිඳ වැටී තිබූ ඔස්ට්‍රේලියා බලාපොරොත්තු ඉහළ දැමූ ආරොන් ෆින්ච් ඉනිමේ 21 වැනි ඕවරයේදී සිය අර්ධ ශතකය වාර්තා කළේය. ආරොන් ෆින්ච් සහ මානස් ලැබුෂේන් තුන්වන කඩුල්ලට ලකුණු 69ක ශක්තිමත් ශක්තිමත් සබඳතාවයක් ගොඩනැංවීමද කැපීපෙණුන අවස්ථාවකි. දුෂ්මන්ත චමීරගේ ‘බවුන්සර්’ පන්දුවකට තීක්ෂණ වෙත උඩ පන්දුවක්දී වෝනර් ලකුණු 9කින් වේලාසනින්ම ක්‍රීඩාගාරයට ගියේය. වැඩි වේලාවක් නොගොස් මිචෙල් මාෂ් ද ලකුණු 10කට ආපසු ගියේය.

ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ වනිඳු හසරංග වෙනුවට පැමිණි ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 49කට කඩුලු 3ක්, දුෂ්මන්ත, වෙල්ලාලගේ හා ධනංජය කඩුල්ල බැගින් බිඳ හෙලා ගත්හ. තරග පහකින් සමන්විත තරගාවලියේ සිව්වැනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (21) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

 

ධනුෂ්ක ඉවතට

 

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පල්ලේකැලේ පැවැති දෙවැනි එක්දින තරගයේදී වම් පාදයේ ඇති වූ ආබාධය හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වෙයි. ඔහුට සිදු කළ එම්ආර්අයි පරීක්ෂණයේදී පාදයේ ඉකිලි පෙදෙසේ මාංස පේශි ඉරීමක් ඇති බවට කරුණු අනාවරණයවී ඇත.

ඔහු දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසු වන අතර මීළඟ තරගය සඳහා ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබේ. කෙසේ වුවද වෛද්‍ය උපදෙස් මත ඔහුගේ ඉදිරි ක්‍රිකට් ක්‍රීඩාව සිදු වන බවට කරුණු අනාවරණය වී ඇත.

ප්‍රින්ස් ගුණසේකර

Advertiesment