බත් පිළබඳව කතා කිරීමේ දී පියවරුන් දෙදෙනෙකු ගේ නම් කියවේ. ඉන් ඩඩ්ලි සේනානායක “බත් දුන් පියා” වන අතර ඩඩ්ලි සිරිසේන “බත් දෙන පියා”ය. රටේ සහල් හිඟය සහ මිල පිළිබඳ ගැටලු ඇති වන හැම මොහොතකම මාධ්‍ය ජාල විසින් "Bite" එකට ගනු ලබන්නේ ඩඩ්ලි සිරිසේනය. "Bite" කිරීමට ඉඩ දී ඉවසිල්ලෙන් බලා සිට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා විවේචකයන් ද මාධ්‍යවේදීන් ද දේශපාලකයන් ද "ඩෝසර්" කර දැමීම ඔහුගේ සිරිතය. මෙහි ආසන්නතම පියවර සෙනසුරාදා (18) දැක ගත හැකි විය. රුපවාහිනිවලින් දුටු එම මාධ්‍ය සාකච්ඡාවේ වැඩි විස්තර සොයා "YouTube" පරිශීලනය කළ විට ඔහු පෙන්වා දුන් බොහෝ කරුණු අනාවරණය කර ගැනීමට හැකි විය. ඒවායෙහි වටිනාකම නිසාම මේ සටහන ලිවීමට අදහස් කෙරිණ.
“කයියට දක්ෂ ගණන් බැරි” දේශපාලකයන් පිළිබඳ අනාවරණය එහිලා ඉතා වැදගත් එකකි. ඩඩ්ලි සිරිසේන දේශපාලකයන් සමග සමීපව ඇසුරු කළ කෙනෙකු බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ අත්දැකීම පමණක් වුවද එම ප්‍රකාශය කිරීමට ප්‍රමාණවත් වූවා විය හැක. කෙසේ වෙතත් එම ප්‍රකාශය වත්මන් දේශපාලකයන් සම්බන්ධයෙන් අතිශයින්ම නිවැරදිය. වලංගුය.
දේශපාලකයන් නිවැරදි ලෙස ගණන් බැලීමට දැන ගෙන සිටියේ නම් රට බංකොලොත් වන්නේ නැත. එනයින් බලන කල ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔහුගේ ගණන් හැදීමේ ශාස්ත්‍රය මතය. ගණන් හැදීමට විභාග සමත් වීම අවශ්‍ය නැත. ආර්ථිකය යනු ගණන් හැදීම පදනම් කර ගත් කාර්ය සමූහයකින් සමන්විත වන වැඩ පිළිවෙළකි. ඒ පිළිබඳ ඥානයක් නැති පිරිස් දේශපාලනය කිරීමෙන් රටක් විනාශයට පත් වන බවට ඩඩ්ලි සිරිසේන කළ අනාවරණය නිවැරදි සහ සාධාරණ එකකි.
“අරගලය පටන් ගත්තේ 2014” යනුවෙන් ඩඩ්ලි සිරිසේන කළ ප්‍රකාශය අතිශයින්ම නිවැරදිය. එම තත්ත්වය මතක් කර දීම වෙනුවෙන් ඔහුට ස්තුතිය හිමි විය යුතුය. මෑතකදී ආරම්භ කෙරුණු අරගලයට පෙර වූ අරගලයේ ඉතිහාසය මතක් කර දීම සියලු දෙනාගේ මතකය අවදි කරවන්නක් විය.
වත්මන් අරගලයේ මූලික අපේක්ෂාව වන්නේ දූෂිත සහ ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලනය පන්නා දැමීම වන අතර 2014 දී ආරම්භ කර 2015 ජනවාරි 8 වෙනි දින එම අරගලය ජයග්‍රහණය කළේය. එහෙත් එතැන් සිට ගත් තීරණවල ඍජු ප්‍රතිඵල ලෙස එම ජයග්‍රහණ 2019 දී කණපිට පෙරළුණේය. යළිත් අරගල කරන්නට සිදු වූයේ ඒ නිසාය.
ඩඩ්ලි සිරිසේනගේ අරගලය තවම නිම වී නැත. මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු ලෙස අරගල කිරීමට ඔහුට ඇති ශක්තිය කිසිවෙකු විසින් අවතක්ෂේරු නොකළ යුතුය. වී ටොන් ලක්ෂ පහක් රටේ ඇති බවත් එම ප්‍රමාණය අවුරුද්දකට සෑහෙන බවත් ව්‍යාපාරිකයන් යැයි කියා ගන්නා පිරිස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන ගණන් හිලව් ඇතිව පහදා දුන්නේය.
මීට පෙර ඔහුගේ සම්මුඛ සාකච්ඡා ඔස්සේ ද කුඹුරු ඉඩම්, ජලය, පොහොර, ඵලදාව, පිරිවැය සහ ගොවියාගේ ජීවන ක්‍රමය යනාදී සෑම ක්ෂේත්‍රයක් ගැනම සුක්‍ෂම ලෙස දන්නා මේ රටේ සිටින එකම පුරවසියා ඔහු බව පෙන්වා දී තිබේ තිබේ. වී තොග තව මාස තුනකට අවශ්‍ය සහල් නිෂ්පාදනය සඳහා පමණක් ප්‍රමාණවත් බවට ඔහු පෙන්වා දී සිටීම රජයේ දැඩි අවධානයට යොමු විය යුතු කරුණකි. මාස තුනෙන් පසු මුහුණ දීමට සිදු වන ආහාර ගැටලුව කල් තියා පෙන්වා දීමෙන් ඔහු ආණ්ඩුවට සේම මහ ජනයාට ද වටිනා අනතුරු ඇඟවීමක් කළේය.
“පොහොර වෙනුවට සහල් ආනයනය” කිරීමට ආණ්ඩුවට සිදු වූයේ අදූරදර්ශී ජනාධිපතිවරයෙකු සහ පොතේ කෘෂි විශේෂඥයන් නිසාය. මේ රටේ අද ඇතිවී තිබෙන තත්ත්වයට සහ නුදුරේ සාගතයක් ඇති වේ නම් ඔවුන් සියලු දෙනා ඊට වග කිව යුතු බව ඩඩ්ලි සිරිසේනගේ මතයයි.
රජය ඩඩ්ලි සිරිසේන වැනි නැණවත් ව්‍යාපාරිකයෙකුගෙන් උපදෙසක් නොගැනීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ ආහාර හිඟයි. ඔහුට අනුව පොහොර ආනනය සඳහා ඩොලර් මිලියන 400ක් වැය නොකොට ඊට සමාන මුදලක් යොදවා සහල් ආනයනය කිරීමෙන් ආහාර හිඟය පමණක් නොව සත්වාහාර සහ ගොවියාගේ ජීවිකා වෘත්තීය ද විනාශ කර දැමූ ආකාරය ඔහු මැනවින් පැහැදිලි කර දුන්නේය.
“දෙවේලක් වෙනුවට තුන් වේලක්” කන හැටි ඩඩ්ලි සිරිසේන පෙන්වා දුන්නේය. අගමැතිවරයා මහ ජනයාගෙන් ඉල්ලා සිටියේ තුන්වේලක් වෙනුවට දෙවේලක් දක්වා ආහාර ගැනීම අඩු කරන ලෙසය. එවැන්නක් අගමැතිවරයෙකු කිව යුතු කතාවක් නොවේ.
රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලකයන්ට ද, පොතේ කෘෂි විශේෂඥයන්ට ද නොතේරෙන මේ කරුණ ඩඩ්ලි සිරිසේනට තේරුණේ ඔහු බිම් මට්ටමේ යතාර්ථය තේරුම් ගෙන සිටින කෙනෙකු බැවිනි. ආහාර හිඟ වන විට දරිද්‍රයාට අඩුවෙන් ආහාර ගැනීමට සිදු වේ. පොහොසතා ද දුගියාට ආහාර ඉතිරි වන සේ අඩුවෙන් පරිභෝජනය කළ යුතුය. නාස්තිය නවතා ලිය යුතුය. මනුස්සකම කියන්නේ එවැන්නකටය. ඩඩ්ලි සිරිසේන පෙන්වා දුන්නේ ද මේ මනුස්සකමයි. සියලු දෙනා තුන් වේලක් ආහාර ගත යුතු බවත් සෑම වේලකටම වෙනදාට වඩා අඩු සහල් ප්‍රමාණයක් පරිභෝජනය කිරීමෙන් සහල් පිරිමසා ගැනීමට හැකිය යන්න ඔහුගේ අදහසයි. කොළඹ දේශපාලකයන්ටත් නිලධාරීන්ටත් නොතේරෙන පිරිමැස්ම පිළිබඳ මූලික ආර්ථික න්‍යාය ගමේ ඩඩ්ලි සිරිසේනට තේරුම් ගොස් ඇති සැටි අපූරුය.
සහල් මිල පාලනය ජනතාව අතට පත් කිරීමේ යෝජනාව ද ඩඩ්ලි සිරිසේන ගෙන ආවේය. මීට පෙර ද රජයට පාලන මිලක් නියම කර ගත නොහැකිව මිරිකෙමින් සිටි අවස්ථාවක මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඔහු සහල්වලට පාලන මිලක් යෝජනා කළේය. එමගින් වෙළඳ පොළ සමතුලිතයක් හට ගත් බව එදා මේ ලියුම්කරු පෙන්වා දුන්නේය. මෙදා ආණ්ඩුව පාලන මිලක් නියම කොට එම මිල ක්‍රියාත්මක කළ නොහැකිව නිරුත්තරව සිටින විට එම පාලන මිලට අරලිය සහල් නිකුත් කරන බවත් වෙනත් සහල් නිෂ්පාදකයන් ද තමා අනුගමනය කළ යුතු බවටත් ඔහු පෙන්වා දුන්නේය. එපමණක් නොව මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක ව්‍යාපාරිකයන් සමාජ වගකීම පෙරදැරිව ක්‍රියා කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය. ව්‍යාපාරවල සමාජ වගකීම යනුවෙන් ඇන්ඩෲ කානෙගී 1899 දී පෙන්වා දුන්නේද මේ අදහසමය. ඉන් ඔබ්බට ගිය ඩඩ්ලි සිරිසේන සහල් මිල පාලනය ක්‍රියාවට නැංවීම ජනතාවට භාර කළේය. මේ වනාහි ලෝක ඉතිහාසයේ ව්‍යාපාරිකයෙකු විසින් පළමුවරට කරන ලද මෙවැනි ඉල්ලීමක් විය හැකිය.
අභියෝගය භාර ගනීමට පුළුවන් යැයි ඔහු ප්‍රකාශ කළේ වත්මන් දේශපාලකයන්ට වඩා හොඳින් ඔහුට රට පාලනය කළ හැකි බවට ඇති විශ්වාසය මතය. රාජ්‍ය පාලනයේ අසාර්ථකත්වය පාරිභෝහිකයාට පමණක් නොව නිෂ්පාදකයාටත් අහිත කර ලෙස බලපා තිබේ. වෙනත් ලෙසකින් කියතොත් රාජ්‍ය පාලනය සමස්ත ආර්ථික ක්‍රියාදාමයම අඩ පණ කොට තිබේ.
එසේ කොට නිලධාරීන් කැඳවා තව තවත් උපදෙස් දෙමින් රට පඹ ගාලේ පටල වන පාලකයෙකුගෙන් මේ ව්‍යසනයට පිළියම් ලබාගත නොහැක. අභියෝග භාර ගැනීමට විවිධ තරාතිරම්වල පුද්ගලයන් පැකිලෙන මොහොතක ඕනෑම අභියෝගයක් භාර ගැනීමට හැකියාව ඇතැයි එඩිතරව පැවසීම ප්‍රසංශා කටයුතු පෞරුෂයකි. එහිලා ඩඩ්ලි සිරිසේන සිය එඩිය පමණක් නොව ආත්ම විශ්වාසය ද අපක්ෂපාති බව ද පෙන්වා සිටියේය. අප රට යළි ගොඩනැගීමට අවශ්‍ය මග පෙන්වීම් ඔහුගෙන් ලබා ගැනීමට මේ නිසි කාලයයි. ඩඩ්ලි සිරිසේනගේ මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව සාරාංශ ලෙස සඳහන් කළ හැක්කේ එමගින් රටේ බොහෝ දෙනෙකුට බොහෝ දේ ඉගෙන ගත හැකි බවයි.
Lanka Newsweek © 2024