Friday 4th of October 2024

English Tamil
Advertiesment


සැලසුම් අලුත් කරමින් ශ්‍රී ලංකා පිල අද ඔස්ට්‍රේලියාව සමඟ දෙවැනි තරගයට


2022-06-16 14326

 
(හේෂාන් සම්පත්)

 

සංචාරක ඔස්ට්‍රේලියා පිලට එරෙහිව අද (16) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවාරාත්‍රී දෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හොඳ අවස්ථාවක් ඇතැයි කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේය. අද තරගයේ ජයග්‍රහණය කොළඹ පැවැත්වෙන ඉතිරි තරග 3දී ප්‍රතිවාදීන්ට දැඩි සටනක් එල්ල කිරීමට සාධකයක් වනු ඇතැයි ද ඔහු කීවේය.

දෙපිල අතර පෙරේදා පැවැති පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 2ක ජයක් වාර්තා කිරීමෙන් පසු මාධ්‍ය හමුවට එක්වූ කුසල් මෙන්ඩිස් කියා සිටියේ වර්ෂාව හේතුවෙන් තණතීරුව පිතිකරුවන්ට තරමක් වාසිදායක වූ බවය.

‘අපේ පරාජයට ඒක හේතුවක් කියලම කියන්නේ නෑ. ඒත් වැස්සට කලින් තණතීරුව හොඳට දඟ කැවුණා. ඒත් ඉන් පස්සේ තරමක අඩු බවක් තිබුණා. අපේ අතිනුත් වැරදි කිහිපයක් සිද්ධ වුණා. ඒ සියල්ල නිවැරදි කරගෙන දෙවැනි තරගයට සාර්ථකව ක්‍රීඩා කරන්න අපිට හැකිවේවි.‘ ඔහු පැවැසීය.

පෙරේදා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් රැස් කළ අතර, වර්ෂාව පතිත වීම හේතුවෙන් ඔස්ට්‍රේලියා පිලට ඕවර 44කදී ලකුණු 282ක ඉලක්කයක් හිමිවිය. මැද පෙළ පිතිකරුවන් දක්වා ඔස්ට්‍රේලියා පිතිහරඹ ලැයිස්තුව පාලනය කිරීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත් වූ අතර, අවසන් ඕවර කිහිපය වන විට තරගයේ ජයග්‍රහණය හැරී තිබුණේ ද ශ්‍රී ලංකා පිල දෙසටය. එහෙත් ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස නම් දරා සිටින ග්ලෙන් මැක්ස්වෙල් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් එම ජයග්‍රහණය උදුරා ගත්තේ ඉනිම නිමා වීමට තවත් පන්දු 9ක් ඉතිරිව තිබියදීය.

තරගයෙන් පරාජයට පත්වූවද ඔස්ට්‍රේලියා පිලේ කඩුලු 4ක් දවාලමින් දැඩි තර්ජනයක් එල්ල කළ වනිඳු හසරංග අද තරගයට ක්‍රීඩා කළහොත් ප්‍රතිවාදී පිලේ වැඩිම අවධානයට ලක්වන පන්දු යවන්නා වනු ඇත. එමෙන්ම සිය පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් දවාලමින් සිය දස්කම් පෙන්නුම් කිරීමත් කැපී පෙනිණි.

‘පළමු තරගය කියලා දුනිත්ගෙන් බයක් පෙනුණේ නෑ. එයා පීඩනයට හොඳින් මුහුණ දුන්නා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම එයාට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලත් මම විශ්වාස කරනවා.‘ කුසල් මෙන්ඩිස් කීවේය.

පෙරේදා තරගයේදී යළි ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ නොදැවී ලකුණු 86ක් රැස් කරමිනි. ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිශ්ශංක අර්ධ ශතක රැස් කිරීමත් ශ්‍රී ලංකා පිලට ලකුණු 300 සීමාව කරා යෑමට ඉවහල් විය. අවසන් මොහොතේ පිටියට පැමිණ වේගවත් ලකුණු 37ක් රැස් කළ වනිඳුගේ දස්කම් කැපී පෙනිණි.

මේ අතර පළමු එක්දින තරගයේදී ලකුණු 44ක් රැස් කළ මාකස් ස්ටොයිනිස් ආබාධයකට ලක්වීම හේතුවෙන් එක්දින තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත්වීමට සිදුවී ඇතැයි වාර්තා වේ. එමෙන්ම ඇෂ්ටන් ඒගර් ද එවැනිම ආබාධයකින් පෙලෙන බැවින් අද තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ. ඒ අනුව ට්‍රෙවිස් හෙඩ් සමඟ මේ වන විට ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල සමග ශ්‍රී ලංකාවේ සංචාරයට එක්වී සිටින මැතිව් කූන්මාන් එක්දින තරගාවලියේ ඉතිරි තරග සඳහා කැඳවා ඇත.

Advertiesment