Wednesday 6th of July 2022

English Tamil
Advertiesment


21 ප්‍රමාද කිරීම ජනතාවට කරන ද්‍රෝහීකමක්


2022-06-08 3598

 

ජන ජන මතයට ගරු කරනු

20 අහෝසි කර වහාම 21 ගෙන එන

(ශානිකා  ශිරෝමාලි)
 

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම ප්‍රමාද කිරීම ජනතාවට කරන ද්‍රෝහිකමක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටී.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ බව අවධාරණය කර සිටී කරු ජයසූරිය මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.

20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා හිර කාරයන් බවට පත්ව ඇති බහුතර ජනතාව, එම සංශෝධනය අහෝසි කිරීමට සඳුදා (06) කැබිනට් මණ්ඩලයේ එකඟත්වය ලැබේ යැයි විශාල බලාපොරොත්තු ඇතිව සිටියා. රජයේ එක් පාර්ශවයක් විවිධ හේතු දක්වමින් පනත ගෙන ඒමට බාධා කිරීම ජනතාවට කරන ද්‍රෝහිකමක් ලෙස අපි දකිනවා.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අපි හඬනගා කියන්නේ ජනාධිපතිවරයා ලෝක ප්‍රජාව ඉදිරියේදීත්, මෙරට ජනතාවටත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පොරොන්දු වුණ බවයි. රාජ්‍ය නායකයෙකු ලෙස ඒ පොරොන්දු කඩ කළ නොහැකියි. එසේ වන විට ජනාධිපතිවරයාගේ ගරුත්වයට විශාල හානියක් වෙනවා. ද්විත්ව පුරවැසි යෝජනාව ඉදිරිපත් කළේ අවුරුද්දක කාල සීමාවකට. එම යෝජනාව මහා සංඝ රත්නයට සහ අනිකුත් ආගමික නායකයන්ට දුන් පොරොන්දුවක්. එම පොරොන්දුව කැඩීම ආගමික නායකයන්ට කරන අපහාසයක්.

2/3 පාර්ලිමේන්තුවේ බලය ජනාධිපතිවරයා ඉල්ලූවේ රට සුර පුරයක් කිරීමටයි. 20 වැනි සංශෝධනය නිසා රට විනාශ වුණා. එම සංශෝධනය රටට ශාපයක් වුණා. අන්තර්ජාතිකව අපි තනි වුණා. ශීලාචාර ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයෙන් අපි කොන් වුණා. ඒකාධිපති රටක් වශයෙන් ආයෝජකයින් මෙහි පැමිණියේ නැහැ. මේ නිසා රට මහා ප්‍රපාතයකට වැටුණා. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය විධායකයේ බල පාරාක්‍රමයට යට වුණා. පාර්ලිමේන්තුව බල රහිත වුණා. විධායකය අධිකරණයටත් ඉහළින් ක්‍රියා කළා.

අසීමිත බලතල තිබුණත්, රජයට ජන ජීවිතය රැක ගැනීමට බැරි වුණා. විදේශ සම්පත් අහිමි වුණා. විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය, ජීවන වියදම ඉහළ යාම, රැකියා අහිමිවීම, ගොඩනැගිලි ක්ෂේත්‍රය බිඳ වැටීම ආදී සෑම කරුණක්ම ඇති වුණේ 20 වැනි සංශෝධනයෙන් එක් පුද්ගලයෙකුට ලබා දුන් අසීමිත බලතල නිසායි. තමන් වැරදි තීන්දු ගනු ලැබූ බවට ජනාධිපතිවරයා පිළි ගත්තත් ඒ වගකීමෙන් ඔහුට මිදෙන්නට බැහැ. එම නිසා ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ මේ වැරදි නිවැරදි කිරීම මිස කල් ඉල්ලීම නොවෙයි.

මෙහිදී අපි දකින ආකාරයට පළමුවෙන් සිදු විය යුත්තේ 20 වැනි සංශෝධනය අහෝසි කිරීමයි. ඒ ආකාරයට පසුගිය වකවානුවේ දී පැවැති 19 වැනි සංශෝධනය බල ගැන්විය යුතුයි. විධායක ජනාධිපති පදවිය අහෝසි විය යුතු බව මේ රටේ බහුතර මතය බවට රජය පිළි ගත යුතුයි. ඉතා වැදගත් නව ව්‍යවස්ථාවක් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ඩිරෙක්ෂන් ශ්‍රී ලංකා, ෆ්‍රයිඩේ ෆෝරම් මෙන්ම අරගල භූමියෙන් ද ඉතා වටිනා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ යෝජනා අධ්‍යයනය කළ යුතුයි.

අවුරුද්දකින් ඉදිරිපත් කිරීමට පොරොන්දු වූ රජයේ ව්‍යවස්ථා යෝජනා තවම ඉදිරිපත් වී නැහැ. අපේ මතය වනුයේ ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් විය හැක්කේ ජනතාවගෙන් සහ පාර්ලිමේන්තුවෙන් මිස රජයට හිතවත් නීතිවේදි කණ්ඩායමක් මගින් නොවන බවයි. මේ බව කරුණාවෙන් පෙන්වා දිය යුතුව පෙන්වා දෙනවා.

රට මහා ආර්ථික අර්බුදයකට සහ සාගතයකට මුහුණ පා ඇති අවස්ථාවක එම ප්‍රශ්න විසඳා ගැනීමට ශක්තිමත් ව්‍යවස්ථාදායක පසුබිමක් අවශ්‍ය බව තේරුම් ගත යුතුයි. ස්ථාවර රජයක් සහ ප්‍රජාතන්ත්‍රවාදීව ඇති කෙරෙන ව්‍යවස්ථාදායක පරිසරයක් බිහි වන තුරු ආර්ථික සහ ආහාර හිඟය ආදී ප්‍රධාන ගැටලු නිරාකරණය කර ගැනීම අසීරු බව අප වටහා ගත යුතුයි.

එම නිසා මෙම අඳුරු යුගයේදී බල ලෝභීත්වයෙන් තොරව බුද්ධිමත්ව ක්‍රියා කර අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වහා ඇති කර රටත් ජනතාවත් නූපන් පරපුරත්, රැක ගන්නා ලෙස ජාත්‍යාලයෙන් යුතුව ආයාචනා කර සිටිනවා. එසේ නොකිරීම මහා ජාතික අපරාධයක් බව පෙන්වා දීම අපගේ ජාතික යුතුකමක් බව කිව යුතුයි.

Advertiesment