ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහට විවෘත සන්දේශයක් ලිවීමට අදහස් කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසමත්, දුර්වල සහ ගර්හිත පාලකයෙකු බවට පත්ව ඇති බැවින් ඔහුගෙන් රටේ යහ පැවැත්මට කිසිවක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් මතය.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද ඡන්ද දායකයාගෙන් ප්‍රතික්ෂේපිත පුද්ගලයෙකු වුව ද ඔහුගේ දක්ෂතාව මත හය වෙනි වරටත් අගමැති ධුරයට පත්ව සිටී. ඔහු ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට සමත් වනු ඇතයි ද බොහෝ දෙනෙක් විශ්වාස කරති. ඔහු අගමැති තනතුරට පත්ව සති දෙකක් පමණ වෙතත් ඔහුගේ පාලනයේ එතරම් කඩිසර කමක් එළියට පෙනෙන්ට නැත.
දැඩි පාර්ලිමේන්තුවාදියෙකු වන ඔහු සෑම ගැටලුවකටම විසඳුම් ඇත්තේ පාලිමේන්තුවේ යැයි විශ්වාස කරයි. මේ සංදේශය ලිවීමට හේතු වන්නේ ද ඔහු එසේ පාලිමේන්තුවෙන් පමණක් විසඳුම් සෙවීමට යාම නිසා හට ගෙන තිබෙන ප්‍රමාදයයි. රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයේ ගැඹුර විසින් දේශපාලන සහ සමාජ අර්බුදයක් ද නිර්මාණය කර තිබේ. ඉන් හට ගන්නා බලපෑම ජන ජීවිතයේ සෑම අංශයකටම සහ සෑම පුද්ගලයෙකුටම දැඩි ලෙස හානිදායි වේ. එබැවින් සමාජයේත් ජන ජීවිතයේත් පැවත්ම යළි සැනසිලි දායක මට්ටමකට ගෙන ඒම පිණිස අප්‍රමාදව සේම උපායශීලී ලෙස ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ප්‍රබල ලෙස පැන නැගී තිබේ. ප්‍රමාදය විසින් මෙම සමාජ අර්බුදය තව තවත් තීව්ර කරවයි. මෙම අර්බුදයට විසඳුම් සෙවීම පිණිස අප්‍රමාදව සහ එකවර ක්‍රියා කිරීමට අදාළ යෝජනා කීපයක් පහත දැක්වේ.
(01) ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම.
මේ මගින් අභ්‍යන්තර බංකොලොත් භාවයට සහ බාහිර බංකොලොත් භාවයට කඩිනම් පිළියම් සෙවිය යුතුය. ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයට පැවරෙන කෙටි සහ මාධ්‍ය කාලීන වගකීම් රැසක් මෙම ලියුම්කරු විසින් ගෙවුණු වකවානුවේ දී ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කොට ඇත.
රජයේ ආදායම් සහ වියදම් ද, විනිමය ඉපයුම් සහ විනිමය වියදම් ද යන අංශ කළමනාකරණය ඉලක්ක කර ගත් කඩිනම් ප්‍රතිසංස්කරණ මෙහිලා අවශ්‍ය වේ. විශේෂයෙන්ම සකසුරුවම් අයවැයක් සහ සකසුරුවම් වෙළඳ ගිණුමක් සකස් කර ගැනීම ඔස්සේ රුපියල් සහ විදේශ විනිමය හිඟයට පිළියම් සෙවිය හැකිය.
විදේශ සංක්‍රාම ප්‍රවර්ධන ක්‍රියා මාර්ග, රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීමේ ක්‍රියා මාර්ග, බදු ගෙවන්නන් වැඩි කර ගැනීම සේම ඔවුන් අභිප්‍රේරණය කිරීම සහ සහන මිල වෙනුවට සහනාධාර සහිත වෙළඳ පොළ මිල ක්‍රමයට ඉඩ දීම යනාදී උපාය ක්‍රම රැසක් අනුගමනය කළ හැකිය. ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානය අනුකමිටු කීපයකින් සමන්විත විය යුතු වන අතර එමගින් ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධ නිශ්චිත යෝජනා ලබා ගත හැකි වනු ඇත.
(02) මන්ත්‍රී නියෝජන සභාවක් පත් කිරීම.
දිනකට රුපියල් කෝටියක් පමණ වැය කොට රැස් වන පාර්ලිමේන්තු රැස්වීම සීමා කිරීම මෙමගින් අදහස් කෙරේ. පාර්ලිමේන්තුවේ හැසිරීම මහජන විරෝධයට හේතු වී තිබේ. ඊට හේතුව නම් රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා
කිසිවෙකු එහි දී සංවාද නොකිරීමයි. ඒ වෙනුවට ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික දුක්ගැනවිලි සහ අයිතවාසිකම් ගැන කතා කිරීමටත් එකිනෙකාට චෝදනා කිරීමටත් කාලය වැය කරයි. මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාරණා වෙනුවෙන් රුපියල් කෝටියක් වැය කොට පාර්ලිමේන්තුව රැස් කිරීම නිෂ්ඵල කාර්යයකි.
ඒ අනුව අත්‍යවශ්‍ය මොහොතක පමණක් රැස් කිරීමට හැකි වන පරිදි පාර්ලිමේන්තුව තාවකාලික නිද්‍රාවකට පත් කොට නිසි නියෝජනයකින් යුත් මන්ත්‍රී නියෝජන සභාවක් කෙටි කාලීනව පත් කර ගැනීම පාර්ලිමේන්තුව කෙරෙහි එල්ල වන ජනතා වෛරය සහ විරෝධය සමනය කිරීමට හේතු වනු නියතය. මෙම මන්ත්‍රී නියෝජන සභාව ඇමතිවරුන්, තෝරා ගත් මන්ත්‍රීවරුන් සහ උපදේශකවරුන්ගෙන් සැදුම්ලත් සභාවක් විය යුතුය. එම සභාව විසින් ගනු ලබන තීරණ විවාද කොට ඊට අනුමැතිය ලබා ගැනීම සඳහා පමණක් පාර්ලිමේන්තුව රැස් කිරීම දැනට සෑහේ.
(03) ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පරීක්ෂණ කොමිසමක් පත් කිරීම.
ආර්ථිකය අර්බුදයට යන තෙක් කිසිවෙකු දැන නොසිටි බව මන්ත්‍රීවරු පවසති. එහි සත්‍යතාවක් තිබිය නොහැකිය. ඒ මක්නිසාද යත් ආර්ථිකයේ පාලනය මූලික ලෙසම භාරව පවතින්නේ මහ බැංකුවටය. දෙවනුව මුදල් අමාත්‍යංශයටය. තෙවනුව පාර්ලිමේන්තු මුදල් කාරක සභාවටය. එසේ නම් මේ කිසිවෙකුට ආර්ථිකය ගැන නොදැන සිටියා යැයි කීමට අයිතියක් නැත. මේ සියලු දෙනා රජයේ වැටුප් ලබන්නෝ වෙති. ඔවුන්ට පැවරෙන නිශ්චිත රාජකාරියක් වේ. එම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම නිසා ආර්ථිකය විනාශ මුඛයට ඇද දමනු ලැබුවේ ඔවුන් විසින්මය.
එබැවින් මෙම ව්යසනයයේ විත්තිකරුවන් සොයා ගැනීම පිණිස කොමිසමක් පත් කළ යුතුය. එමගින් කරුණු සොයා වග කිව යුත්තන්ට හෙවත් ආර්ථික ඝාතකයන්ට එරෙහි විනය සහ නෛතික ක්‍රියා මාර්ග ගත යුතුය. මෙහි ලා මහ බැංකුවේ වගකීම සහ වගවීම ගැන විශේෂ අවධානය යොමු කළ යුතුය. ඒ මක්නිසාද යත් මෙම ව්‍යසනයේ පළමු විත්තිකරු මහ බැංකුව වන බැවිනි.
(04) අපරාධ පරීක්ෂණ විශේෂ කොමිසමක් පත් කිරීම.
2022 මැයි 9 වැනිදාගෙන් පසු හට ගත් විනාශකාරී සිද්ධීන් පිළිබඳව එකිනෙකා වාද කර ගැනීමෙන් කිසිදු පළක් නැත. ඒ සඳහා කළ යුතු වන්නේ පරීක්ෂණ කොමිසමක් පත් කොට එම සිද්ධි දාමයේ සුළමුල සොයා ඊට වග කිව යුතු සංවිධායකයන්, දේශපාලන පක්ෂ සහ පුද්ගලයන්ට එරෙහි නීතිමය පියවර ගැනීමය.
මෙම විනාශකාරී සිද්ධීන් දේශපාලනික ක්‍රියාදාමයක ප්‍රතිඵල වන අතර කොමිසම තනි පුද්ගලයන් පමණක් නොව සිද්ධියට සම්බන්ධ දේශපාලන පක්ෂවල සම්බන්ධතා කෙරෙහි ද විශේෂ අවධානය යොමු කළ යුතුය. ඇතැම් පිරිස්වලට රාජ්‍ය පරිපාලනය බිඳ දමා රට අරාජික කිරීමේ උවමනවාක් පවතී. ඒ දේශපාලන බලය ලබා ගැනීම සඳහා ඔවුන් අදහන උපක්‍රමය යි.
2022 මැයි 9 වැනිදා මුල් ප්‍රහාරයට පසු හට ගත් සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කළ යුතු බව ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් ප්‍රකාශ කොට ඇති බැවින් රට මීටත් වඩා ව්‍යසනයකට තල්ලු වීමේ ඉඩ පවතී. මේ ස්ථාවරය පිළිබඳ නිසි පරීක්ෂණයක් කිරීම සහ අපරාධකරුවන් සොයා ගැනීම රජයේ වගකීම වේ.
(05) අග්‍රාමාත්‍ය උපදේශන සභාවක් පත් කිරීම.
ඇමති මණ්ඩලයට අමතරව රටේ ප්‍රශ්න විනිවිද දකින ඒ ගැන නොබියව නව අදහස් දැක්වීමට හැකියාව ඇති උගතුන්වි, ද්වතුන් සහ විශේෂඥයින් වැනි පිරිසකගේ දායකත්වය ලබා ගැනීමට උපදේශන සභාවක් පිහිටුවිය යුතුය. මේ වන විට පත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල කොමිටිය වෙනුවට මෙම සභාව පත් කළ යුතුවේ.
මෙම සභාවේ කාර්ය භාරය විය යුත්තේ අර්බුදය විසඳීම සඳහා කඩිනම් ලෙස ක්ෂණික සහ කෙටි කාලීන විසඳුම් සෙවීමය. ඒ සඳහා දිවා රෑ නොබලා ක්‍රියා කිරීමට හැකි ජවසම්පන්න සහ උනන්දුව සහිත පිරිසක් පත් කර ගත යුතුය. මෙම සභාව අධ්‍යයන (Academic) විසඳුම් නොව ප්‍රායෝගික (Pragmatic) විසඳුම් සෙවිය යුතුය. කෙටි කාලයේ දී රට සහනශීලී තත්ත්වයට පත් කර ගැනීමෙන් පසු මධ්‍ය සහ දිගු කාලීන උපාය කෙරෙහි අවධානය යොමු කළ හැකිය.
(06) රහස් පරීක්ෂණ කාර්ය සාධන කණ්ඩායමක් පත් කිරීම.
පැන නැගී තිබෙන අර්බුදය අවස්ථාවාදී දේශපාලන පක්ෂ විසින් දේශපාලන වාසි වෙනුවෙන් යොදා ගනිමින් සිටී දැයි සොයා ගත යුතුය. දේශපාලන වාසි ගැනීම පිණිස මෙම අවස්ථාව යොදා ගැනීමෙන් අර්බුදය තවත් උග්‍ර අතට හැරී ජීවිත සහ දේපළ හානි ඇතිවීම දක්වා ගමන් කරනු ඇත.
ගම් මට්ටමෙන් සංවිධානය කෙරෙන විරෝධතා සහ මාර්ග අවහිර කිරීම් යනාදිය සියුම් ලෙස සංවිධානය කර ගත් දේශපාලන වැඩ පිළිවෙළක ප්‍රතිඵල දැයි ආණ්ඩුව විසින් නිරීක්ෂණය කළ යුතුය. අනාගතයේ දී ගම් මට්ටමෙන් සංවිධානය කරනු ලැබිය හැකි අරගල නිසා රාජ්‍ය පාලනය සහ ප්රජාතන්ත්රවාදය අභියෝගයට ලක්වීමේ ඉඩක් පවතී. එවැනි ක්‍රියා හේතුවෙන් අත්‍යවශ්‍ය සැපයුම් අඩාල වී ජන ජීවිතය තව තවත් පීඩාවට පත්ව සමාජ අසහනය උග්‍ර වීමට ඉඩ තිබේ. එබැවින් රහස්‍ය අධ්‍යයන මගින් තොරතුරු රැස් කොට ගෙන නීතිය, වල් වැදුණු පුද්ගලයන් සහ කණ්ඩායම් අතට පත්වීමේ ඉඩකඩ ව්‍යර්ථ කිරීමට විශේෂ අවධානය යොමු විය යුතුය.
(07) අරගලකරුවන්ගේ යෝජනා භාර ගැනීමේ යාන්ත්‍රණයක් සැකසීම.
දේශපාලනික-නිර්දේශපාලනික හෝ පාක්ෂික-නිර්පාක්ෂික හෝ අරගල කරුවන්ගෙන් ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ කැඳවීමට සහ ඔවුන්ගේ අදහස් නියෝජනය වන ක්‍රමවේදයක් සකස් කර ගත යුතුය. නිර්දේශපාලනික අරගල දේශපාලනික අරගල සේ දීර්ඝ කාලයක් පවතින්නේ නැත. දිගින් දිගට අරගල කරනවා නම් එහි දේශපාලන අරමුණු පවතී.
නිර්දේශපාලනික අරගලකරුවන් අදහස් ඉදරිපත් කරන්නේ ද අරගල කරන කාල සීමාවේ දී පමණි. එබැවින් රටේ ඉදිරි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඔවුන්ගේ අදහස් ප්‍රයෝජනයට ගැනීම පිණිස වන ක්‍රමවේදයක් සැකසීමෙන් ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට සේම අසහනය දුරලීමට ද හැකිවේ. මෙහි දී අරගලකරුවන් “ගෝල්ෆේස් ප්රකාශනයක්” ඉදිරිපත් කිරීමට පියවර ගත යුතු අතර ඒ සඳහා ආණ්ඩුවෙන් ඉල්ලීමක් ද ඉදිරිපත් කළ හැක.
(08) අත්‍යවශ්‍ය සැපයුම් කාර්ය සාධන බලකායක් පිහිටුවීම.
ඉන්ධන, ගෑස්, පොහොර සහ විදුලිය යනාදියෙහි ඇති අන්තර් භාණ්ඩ ලක්ෂණ සැලකිල්ලට ගෙන ඒවායෙහි සැපයුම පහසු කරවීම පිණිස කාර්ය සාධන බලකායක අවශ්‍යතාව දැඩිව පැන නැගී තිබේ. මෙම භාණ්ඩ හුදෙක් පාරිභෝගික භාණ්ඩ ලෙස නොව අන්තර් භාණ්ඩ ලෙස සැලකිය යුත්තේ එම භාණ්ඩවලින් වෙනත් ආර්ථික කටයතු රාශියක් සිදු කෙරෙන බැවිනි.
විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාව සහ කෘෂි අපනයන වැඩි දියුණු කර ගැනීම පිණිස පොහොර සහ කෘෂි රසායනික සැපයීම සේම බෙදා හැරීම මෙහි ප්‍රධාන වගකීමක් විය යුතුය. ඉන්ධන, පොහොර සහ ගෑස් යනාදිය මිලදී ගෙන ඒවා පරිභෝජනය කිරීම හෝ එමගින් වෙනත් ආර්ථික කටයුතු කරනවා වෙනුවට රැස් කොට තබා ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරම නිසාද පෝලිම් දිගු වන්නට පටන්ගෙන තිබේ. හිඟ භාණ්ඩ ජාවාරම මැඩලීම කෙරෙහිද විශේෂ අවධානය යොමු විය යුතුය.
(09) සැඟවූ සංචිත ලබා ගැනීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දීම.
විදේශ විනිමය අගය ඉහළ යාමට පටන් ගැනීමත් සමග ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රුපියල් විදේශ මුදලකට හෝ රත්රන්වලට හරවා ගත්තේය. එකවර විනිමය හිඟ වීමට එම ක්‍රියාව එක හේතුවක් ද විය. මෙම සැඟවූ විනිමය යළි බැංකු වෙත ලබා ගැනීම සඳහා වෙළඳ පොළ නොවන උපාය හඳුන්වා දිය හැක.
කෙටි සහන කාලයක් ඇතුළත විදේශ මුදල් බැංකුවට නොගෙනෙන පිරිස්වලට එරෙහි මුදල් විශුද්ධිකරණ නීති ක්‍රියාත්මක කරන බවටත් සැඟවූ විනිමය සහ රත්රන් සෙවීමට වැටලීම් කරන බවටත් අනතුරු ඇඟවීම් කිරීමෙන් එම මුදල් සහ රත්රන් යළි ලබා ගත හැකි වනු ඇත. ඩොලර් ලක්ෂ ගණන් සඟවා සිටින පුද්ගලයන් සිටිය හැකි බැවින් ඩොලර් මිලියන සිය ගණනක් ක්ෂණිකව සොයා ගනීමට මෙම උපාය ඉවහල් වනු ඇත. සොයා ගන්නා රත්රන් විදේශ විනිමය බවට හරවා ගත හැක.
(10) රාජ්‍ය සේවා සහ මහ ජන නියෝජිත විනය කමිටු පිහිටුවීම.
අද රට පත්ව ඇති ව්‍යසනයට සහ දේපළ ගිනි තැබීම් යනාදියට හේතු වූ කරුණු වන්නේ රාජ්‍ය සේවයේ සහ මහජන නියෝජිතයන්ගේ අල්ලස, දුෂණය, හොරකම, අක්රමිකතාව, අකාර්යක්ෂමතාව යනාදියයි. එසේ නම් රාජ්‍ය සේවය වගේම මහජන නියෝජිත සේවාව නිවැරදි ලෙස යළි ස්ථාපිත කිරීමට තවත් ප්‍රමාද විය යුතු නැත.
රාජ්‍ය සේවය මහජන සේවය ලෙස නම් කිරීම, මන්ත්‍රීවරුන් මහජන සේවකයන් ලෙස නම් කිරීම, පාරදෘශ්‍ය ගනුදෙනු ක්‍රම නිර්මාණය කිරීම, පුද්ගල විගණනය පුළුල් කිරීම, විනය පරීක්ෂණ සේම නෛතික ක්‍රියාවලි ශක්තිමත් සහ කඩිනම් කිරීම, දේශපාලන පක්ෂ සහ නිලධාරීන් විගණනය කිරීම යනාදිය යහපත් සමාජ ක්‍රමයක් සඳහා ප්‍රයෝජනවත් වේ.
(11) අග්‍රාමාත්‍ය නිල මාධ්‍ය කමිටුවක් පත් කිරීම.
නව අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව විසින් ගනු ලබන ආර්ථික සහ ආරක්ෂණ ක්‍රියා මාර්ග පිළිබඳව මහ ජනයා සහ විදේශ ගත ශ්‍රී ලාංකිකයන් සේම විදේශ රාජ්‍යයන් ද නිරතුරුව දැනුවත් කිරීම පිණිස වෘත්තියමය නිල මාධ්‍ය ඒකකයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් පවතී.
මෙවැනි යාන්ත්‍රණයක් නොමැතිකමින් මහ ජනයා පාලනයකින් සහ විශ්වාසවන්ත භාවයකින් තොර සමාජ මාධ්‍ය තොරතුරු, කට කතා, ආරංචි යනාදිය විශ්වාස කිරීමටත් ඒ අනුව හැසිරීමටත් පුරුදු වී සිටිති. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ඇතැම් දේශපාලන පක්ෂ විසින් ඉර්ෂියාව, ක්‍රෝධය, වෛරය පතුරවමින් ද රජය අපකීර්තියට පත් කරනු ලබන අසත්‍ය ප්‍රචාර පතුරුවමින්ද සමාජ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරමින් සිටින බව සුළුකොට නොතැකිය යුතුය.
රජය ආරම්භ කොට ඇති බහු පාර්ශ්වික සහ ද්වීපාර්ශවික ණය සහ ආධාර සාකච්ඡාවල ප්‍රගතිය, අත්‍යවශ්‍ය සහ හිඟ භාණ්ඩ ආනයනය පිළිබඳ ප්‍රගතිය, රජයේ වියදම් සීමා කිරීමේ ක්‍රියා මාර්ග, නව අයවැය පිළිබඳ කරුණු, රජයේ විනිවිද භාවය, පුද්ගලයන් සඟවා ඇති විදේශ මුදල් බැංකු වෙත යොමු කර ගැනීමේ ආයාචනා, මුදල් විශුද්ධිකරණ පනතේ විධිවිධාන, හදිසි නීති රෙගුලාසි, ව්‍යවස්ථා සංශෝධන, අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සේම නඩු පැවරීමේ ප්‍රගතිය, අමාත්‍යාංශවල කඩිනම් ක්‍රියාමාර්ග සහ ඒවායෙහි ප්‍රගතිය වැනි බොහෝ කරුණු පිළිබඳව නිළ මහ ජන සන්නිවේදනයක් පවත්වා ගැනීම මහ ජන අපේක්ෂා භංගත්වය සමනය කිරීමටත් රජය පිළිබඳ විශ්වාසය ගොඩ නගා ගැනීමටත් උපස්ථම්භක වේ.
-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
නිර්මාතෘ සහ පීඨාධිපති
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව
කළමනාකරණ පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
Lanka Newsweek © 2024