රුහුණු ජනතා පක්ෂය දැනට වසර 30 කට අධික කාලයක් ක්‍රියාත්මක වන පක්ෂයක්. ඒක තමයි අපි හැමෝගෙම ආදරණිය මවිබිමේ බිහි වුණු පළමු ප්‍රාදේශීය දේශපාලන පක්ෂය. ඔබගෙන් සමහරක් අයට ඒ ගැන යම් අවබෝධයක් ඇති කියල මම හිතනවා.
ඔබ බොහෝ දෙනෙක්, සමහර විට ඔබ හැමකෙනෙක්මත් අද ඇති වී තිබෙන මෙම නිර්පාෂික මහ ජන මහා අරගලයේ කොටස්කරුවන් වෙලා ඇති. ඔබගේ අරගලයේ මෙතෙක් ඉතිහාසයේ අප රටේ ඇති වුණ කිසිම අරගලයක දක්නට නොලැබුණ විශාල වටිනාකම් රැසක් තියෙනවා.
(01) ප්‍රධානම දේ තමයි අරගලය ප්‍රචණ්ඩත්වයෙන් තොරව, අවිහිංසාවාදීව ඉදිරියට ගෙන යන්න ඔබලා පෙන්නුම් කරන අධිෂ්ඨානය සහ ඉවසීම.
(02) ඊළඟට වැදගත්ම කාරණය තමයි මේ අරගලයේ කිසිම ජාති, ආගම, කුල, පංති ආදී කිසිඳු භේදයක් නොමැතිකම.
(03) සිංහල, දෙමළ, මුස්ලිම්,මැලේ, බර්ගර් යන සියලු තරුණ තරුණියන් එකට අත්වැල් බැඳ ගෙන සමඟි වෙලා සිටීම.
(04) බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි,ඉස්ලාම් යන සියලු දෙනා එක මවකගේ දරු කැලක් වෙලා මානව ප්‍රේමයෙන් බැඳිලා සිටීම.
මේ තමයි අරගලයේ මම දකින අති විශාල වටිනාකම්. අපේ පක්ෂය මීට අවුරුදු 30 කට කලින් පටන් ගත්ත දවසෙ ඉදන්ම කතා කළේ මේ ජාතික සමඟිය සහ එකමුතුව ගැන. රටේ සංවර්ධනයේ ප්‍රධානම අඩිතාලම වෙන්නේ ජාතික එකමුතුව සහ ජාතික සමඟියෙන් ගොඩ නැගෙන ශ්‍රී ලංකික ජාතික අනන්‍යතාවය බව අප හැමදාම කිව්වා.
අපි මේ පක්ෂය බිහි කරන යුගයේ අපේ රටේ ජාතීන් අතර අසමගිය උපරිම මට්ටමට ළඟා වෙලයි තිබුණේ. ජාතික අසමඟිය යුද්ධයක් දක්වාම වර්ධනය වෙලා ඒ යුද්ධයෙන් අප අවුරුදු 30 ක් ම දුක්වින්දා.
යුද්ධයට රජයක් විදිහට දරපු සෘජු යුධ වියදම ඩොලර් බිලියන 200 ක් විතර වෙනව කියලා ළඟදි සමීක්ෂණ වාර්තාවක් කියල තිබුණා. ඒ වියදම අපේ රටේ සමස්ත ණය ප්‍රමාණයන් ඩොලර් බිලියන 60ත් 70ත් අතර වනවා. ඉතිං හිතාගන්න පුළුවන්ද..? රටක ලෙස අප නැති කරලා තියෙන්නේ මොන තරම් ධනයක් ද..? සමස්ත යුද්ධය නිසා හැම පැත්තකින්ම නැති වුණ ධනස්කන්ධය ඩොලර් බිලියන 500 කට වැඩි ඇති. ඒ කියන්නේ ඩොලර් කෝටි 50,000 (පනස් දහසක්) වත් ඇති.
මේ මොහොතේ ඔබ අරගල භූමියේදී සමඟි වෙලා. ජාතීන් අතර සහෝදරත්වය ඇති වෙලා. ආගම් අතර සමඟිය ඇති වෙලා. කොයිතරම් අපූරුද..? ඔබලාගේ වැඩිහිටි පරම්පරාවට මේ සමඟිය ඇති කර ගෙන යුද්ධය එදා වළක්වා ගන්න පුළුවන් වුණා නම් අද අප රටක් සහ ශ්‍රී ලාංකීය ජාතිය විදිහට ඇත්තටම ජපානයත් පරාද කරලා නේද..?
මේ ජාතික සමගියේ අවශ්‍යතාවය තමයි මුල සිටම පක්ෂයක් ලෙස රුහුණු ජනතා පක්ෂය එදා සිටම අවධාරණය කර සිටියේ. අපේ ස්ථාවරය, අපේ ප්‍රතිපත්තිය සහ අපේ දර්ශනය වුණේ ඒ ජාතික සමගියයි. බලය බෙදීම ඔස්සේ ජාතික සමඟිය ඇති කර ගෙන රට සංවර්ධනය කිරීම අපේ දැඩි ස්ථාවරය වූ අතර අප ඒ වෙනුවෙන් ඍජුව පෙනී සිටියා.
මේ වන විට ඔබ අරගල බිමේ සමඟි වෙලා එක අරමුණකට පෙළ ගැහිලා. එහෙත් ප්‍රධාන ගැටලුවක් තියෙනවා. අරගලය ජයග්‍රහණය කළ දවසට ජාතික සමඟිය සැබෑ යථාර්ථයක් කර ගන්න නම් අප කළ යුත්තේ කුමක්ද යන ප්‍රශ්නයට අප පිළිතුරු සොයා ගත යුතුමයි. එසේ නොවුණොත් නැවතත් අප තවත් වටයකින් කැර කිලා පරණ තැනටම එනවා. එසේ නම් ඔබ හැම දෙනාම ඒ ගැන බරපතළ ලෙස සිතිය යුතුමයි. ඒ සඳහා ඔබට දර්ශනයක් තිබිය යුතුයි.
රුහුණු ජනතා පක්ෂය ලෙස අප මුල සිටම අවධාරණය කළේ ජාතික සමඟිය බිහි කරන්න නම් බලය බෙදා හැරුණු නව රාජ්‍ය යාන්ත්‍රණයක් රටට අවශ්‍යයි කියලයි. බෙදුම්වාදය දේශපාලනිකව පරාද කරන්න නම් බලය බෙදිය යුතුයි. සියලු ජාතීන් එක්සත් කරලා එක්සිත් කරන්න නම් බලය බෙදා හැරෙන්න ඕනෑ.
කොළඹ කේන්ද්‍රීය සංවර්ධනය ඈත ගම්වලට ගෙන යන්න නම් බලය බෙදිය යුතුමයි. ඒ බලය බෙදීම දෙමළ ජනතාවගේ පමණක් නොව අප සියලු දෙනාගේම ඉල්ලීමක් විය යුතුයි. ඒ බෙදන බලය ප්රාදේශීයව රඳවා ගෙන පළාත සංවර්ධනය කරන්න නම් ප්‍රාදේශීය දේශපාලන පක්ෂ බිහි වෙලා ඒ බෙදන බලය ලබා ගත යුතුයි. ඒ ක්‍රියාවලිය තමයි අපේ දර්ශනය සහ අපේ ප්‍රතිපත්තිය වුණේ. ඒ වෙනුවෙන් තමයි අප ශ්‍රී ලංකාවේ පළමු වැනි ප්‍රාදේශීය දේශපාලන පක්ෂය බිහි කළේ.
"රට නොබෙදා-බලය බෙදමු" ඒ තමයි සංකල්පය. බලය බෙදීමෙන් රට බෙදනවා කියන සංකල්පය ඔබලාගේ සහ අපේ ඔළුවට දැම්මේ ඔබලාම මේ වන විට එපා කියන පාර්ලිමේන්තුවේ 225 සහ ඒ අය අයිති දේශපාලන පක්ෂම තමයි. ඒ කතාව තමයි ඒ අය අපේ රටට කිව්ව අනිත් බොරු ගොඩ අතරෙ ලොකුම බොරුව. ඒ බොරුබ ඔබලා මේ වන විට වටහා ගෙන තිබෙනවා. හැබැයි සම්පූර්ණ නැහැ. ඒ අසම්පූර්ණ කොටස අපේ පක්ෂයේ දර්ශනය සහ ප්‍රතිපත්තිය එක්ක සසඳලා බලන්න. හොඳින් අධ්‍යනය කරලා සසඳන්න. එහෙම නැති නම් මේ අරගලය අවසන් වුණ දවසට ඔබලා සහ අප ආපසු පරණ තැනටම ඒවි.
ඔබලා මේ ඉතිහාසය අධ්‍යනය කරන විට, 1948 දී අප නිදහස ලබා ගන්නා අවස්ථාවේ දී ජාතීන් අතර ඇති වුණ අසමඟිය, 1956 දී එස් ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක රජයේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තිය, බණ්ඩාරනායක-චෙල්වනායගම් සම්මුතිය, ඩඩ්ලි-චෙල්වනායගම් සම්මුතිය, එම සම්මුතිවල අඩංගු වූ දේශපාලන විසඳුම්වල කරුණු ගැන, විශේෂයෙන්ම 1948න් පස්සේ දෙමළ ජනතාවගෙ සාධාරණ අරගලවලට ආණ්ඩු සිය හමුදා-පොලිස් බලය යොදා ගෙන කරන ලද මර්දනයන් ගැන, විශේෂයෙන්ම 1983 මහා කළු ජූලියේ දී එවකට ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන, 1983 මහා කළු ජූලි විනාශයේදී දෙමළ ජනතාවට කළ මහා අපරාධය ගැන, යාපනයේ මහා පුස්තකාලය ගිනි තැබූ අන්දම ගැන, 1987 ඉන්දු-ලංකා ගිවිසුම ගැන සේම පළාත් සභා ගැන හොඳින් අධ්‍යනය කළ යුතුයි. එවිට ඔබටම වැටහේවි මේ තරම් බියකරු, බෙදුම්වාදී සහ භයානක සංවිධානයක් බිහි කළේ අපගේම මෝඩ, ජාතිවාදී සහ අවස්ථාවාදී නායකයන් විසින්ම බව. ඒ මහා ජාතික ප්රශ්නය හොඳින් විසඳා ගත හැකි සියලුම අවස්ථාවන්ට ගෙවුණු 74 වසරක අපේ ඉතිහාසයේ දී අප ම පයින් ගසා ඇති ආකාරය ඔබට තේරේවි.
රටක් ලෙස අප අද මේ වැටි ඇති පතුලක් නොමැති අගාධයට මේ සියලු දෙනාම වග කිව යුතු ආකාරය ඔබට හොඳින්ම තේරේවි. ඊට පසු ඔබට හැකි නම් 1947 දී ඉන්දියාව ජාතික නිදහස ලබන විට සිය ජාතීන් සහ ආගම් සිය දහස් ගණනක් ජීවත් වන ඒ මහා රාජ්‍යය සමඟිව තබා ගැනීමට ඒ මහා නිදහස් සටනේ ජාතික නායකයන් ක්‍රියා කර ඇති අන්දම ගැනත් ඔබ වැඩි දුරටත් අධ්‍යනයක යෙදෙන්න.
මෑතක සිදුවූ සිද්ධියක් ඔබේ සිහියට ගන්න. ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදයෙන් බැට කන ශ්‍රී ලංකික ජනතාවට උපකාර කළ යුතුයි කියල යෝජනාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභාවට ඉදිරිපත් වුණා. එම යෝජනාව ඒකඡන්දයෙන් සම්මත වුණා. රුපියල් කෝටි සිය ගණනක අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් තොගයක් ලබා දෙන්න තමයි ප්‍රාන්ත සභාවේ යෝජනා සම්මත වුණේ.
ඊට පස්සේ ප්‍රාන්ත සභාව එම යෝජනාව මාධ්‍යම රජයට ඉදිරිපත් කළා. මාධ්‍යම රජය ඊට අනුමැතිය දුන්නා. ඒ අනුව අපට ඒ ආධාර ලැබේවි. බලන්න ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවකට ලැබිල තිබෙන බලය. කෝටි 6 ක විතර දෙමළ ජනතාවක් වාසය කරන තමිල්නාඩු ප්‍රාන්ත සභාව සහ අනිකුත් ප්රන්තයන්ට බලය බෙදිලා තියෙන ආකාරය ප්‍රයෝගිකව අත්විදින්න අපට ලැබුණ හොඳ උදාහරණයක් ඒ තත්ත්වය.
ඉතින් ඉන්දියාව මේ බලය බෙදීම නිසා කැබලිවලට කැඩිලා ගිහින් ද..? එසේ කැබලිවලට කැඩිලා යනවද..? නැහැ. ඉන්දියාව එකට එකතු වෙලා ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී මහා රාජ්‍යය ලෙස අද ලෝක බලවතකු වශයෙන් විශාල සංවර්ධනයක් අත්කර ගෙන ඉදිරියටම යාමේ දේශපාලන රහස සහ යථාර්තය ඔබ හැමදෙනාම අවබෝධ කර ගන්න. බලය බෙදීමෙන් රට බෙදනවා කියල අපේ ඔළුවටම ඇතුළු කරලා තිබෙන මේ මහා බොරුවෙන් සහ මේ මහා අවිද්‍යාත්මක සිතුවිල්ලෙන් අප මිදෙන්න ඕන නේද..?
ඔබ හැම දෙනෙක්ම අරගල භූමියේදී ඒක හඬින් කියනවා "System Change" එක ගැන. ඒ ක්‍රමය වෙනස් කළ යුතුමයි. ඒ ගැන කිසිම වාදයක් නැහැ. මහ ජන ධනය හොරකම් කිරීම, දූෂණය, අල්ලස සහමුලින්ම පිටු දකින්න ඕනෑ. ඊට තද නීති සම්පාදනය කළ යුතුමයි. නීතියෙන් රිංගන්න තියන ඉඩ සහමුලින්ම අහුරන්න ඕනෑ.
සෑම දේශපාලකයෙක්ම සහ සෑම නිලධාරියෙක්ම සිය වත්කම් හෙළි කළ යුතුයි. විගණනයට යටත් කළ යුතුයි. මුළු මහත් රාජ්‍යය ම සහ දේශයම නීතියට යටත් කළ යුතුයි. ඒ වගේම විගණනයට යටත් කළ යුතුයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි වගේම මේ මනාප දූෂිත මැතිවරණ ක්‍රමය අහෝසි කරලා ජනතාවට සෘජුව වග කියන මන්ත්‍රීවරුන් බිහි කළ යුතුයි. ගෙවුණු 70 කම සිදු වුණ හැම දෙයක්ම සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කරලා නැවත සෙවිය යුතුයි. හැම වරදකටම දඩුවම් දිය යුතුයි. ඒ සියල්ලම "ක්‍රමය වෙනස් කිරීමට" අදාළයි. ඒ අතර වැදගත්ම කාරණය තමයි සියලු ජාතින් එකතු කරලා අසහාය ශ්‍රී ලාංකිය ජාතික රාජ්‍යය යළි ගොඩ නැගීම. ඒ තමයි වැදගත්ම දේ.
ජාතීන් එකට එකතු කිරීම සඳහා සාධාරණ බලය බෙදා හැරෙන නව රාජ්‍ය යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුයි. එහෙම නැතුව කරන "System Change" එක අසම්පුර්ණයි. ඒක තමයි අප හැමදාම කිව්වෙ. අරගලයේ සිටින ඔබ පියවි සිහියෙන් යුතුව ඒ ගැන සිතන්න. අධ්‍යනය කරන්න. සත්‍ය සොයා ගන්න. එහෙම නැතුව අරගල භුමියේ දී පමණක් දෙමළ, මුස්ලිම් තරුණයන්ගෙ කරේ අත දා ගෙන අපි සමඟියි කිව්වට ඒකට අර්ථයක් ලැබෙන්නේ නැහැ.
ඉතින් මේ හැම කරුණක් ගැනම හොඳින් හිතල අධ්‍යනය කරලා ඔබේ අවංක අදහස අපට කියන්න. අලුත් පරපුරක් එක්ක අලුත් රටක් හදන්න වැඩිහිටි අපත් සූදානම්. ඔබ කැමති නම් අපත් එක්ක සම්බන්ධ වෙන්න. දිගටම තර්ක විතර්ක කළ මේ අපා දුකෙන් අපේ රට ගලවා ගෙන අපි හැමෝම එක මතයකට එමු. ඒ සඳහා අප පක්ෂයක් ලෙස ඔබට ආරාධනා කරනවා. සැබෑ ජයග්‍රහණයක් මව්බිමට අත්කර දීමට ඔබ හැම ගෙන යන මහා අරගලයට හැකිවේවි යැයි අප තරයේ විශ්වාස කරනවා. ඔබට ජය..!
Lanka Newsweek © 2024