Friday 4th of October 2024

English Tamil
Advertiesment


තත්ත්වය දරුණුයි-ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඕනෑ


2022-05-04 14320

 

ණය ගෙවීමට ණය ගැනීමෙන් මේ අර්බුදය ජය ගත නොහැක

 
 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

ආර්ථික අර්බුදය දිනෙන් දිනම උග්‍රවෙමින් පැවතියත් ඉදිරි කාලය ව්‍යසනකාරී බව පෙනෙතත් ආණ්ඩුව එම තත්ත්වය වෙනස් කිරීමට අලුත් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්ට නැත. මහබැංකු අධිපතිවරයෙකු අලුතින් පත් කිරීමෙන් සියලු ප්‍රශ්න විසඳිය හැකි බව ආණ්ඩුවේ විශ්වාසයයි. 

එමෙන්ම මහ බැංකු අධිපතිගේ විශ්වාසය වන්නේ සාර්ව ආර්ථික උපකරණ හෙවත් Tools සම්ප්‍රදායික ලෙස මෙහෙයවා හෙමින් හෙමින් සාර්ව ආර්ථික සමතුලිතතාව ඇති කිරීමයි. ඒ වනාහී දිගු කාලීන වැඩ පිළිවෙළකි. ආර්ථික විද්‍යාඥ කේන්ස් වරක් පැවසුවේ දිගු කාලයේ දී සියලු දෙනා මරණයට පත් වන බැවින් ව්‍යසනකාරී තත්ත්වයක දී ආර්ථිකය නිවැරදි කිරීමේ ක්‍රියා මාර්ග ක්‍ෂණිකව ගත යුතුය යන්නයි.

IMF, ලෝක බැංකු, ඉන්දියානු සහ චීන ණයවලින් අර්බුදය ජය ගත හැකි බව ආණ්ඩුවත් මහ බැංකුවත් විශ්වාස කරමින් ඒ පසු පස පමණක් යමින් සිටියි. එම විශ්වාසය මහත් මුලාවකි. වලේ වැටුණු පසු කවුරුන්ගේ හෝ පිහිට පැතීමට සිදු වේ. එහෙත් වලේ වැටුණේ ද ගෙවා දැමීමට නොහැකි තරම් ණය ගැනීමෙන් බව ද සිහි තබා ගත යුතුය. එබැවින් අලුත් ණය ගැනීමෙන් තාවකාලික සහනයක් විඳිය හැකි වුවද තිබෙන ණය ප්‍රමාණය වැඩි වීමට එම තත්ත්වය බලපාන අතර සමස්ත ණය බර වැඩි වීමට ද එම ක්‍රියාවලිය හේතුවේ. දෙවන වටයේ දී වැඩි ණය බරක් ද ඒ හේතුවෙන් අලුතින් ණය ගැනීමට නොහැකි තත්වයක් ද උදාවන බව සිහි තබා ගත යුතුය. එබැවින් ණය ගෙවීමට ණය ගැනීමෙන් මේ අර්බුදය ජය ගත නොහැක.   

එසේ නම් ක්ෂණික ක්‍රියා මාර්ග කිහිපයක් ආණ්ඩුව විසින් ගත යුතුය. එහිලා මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සුපුරුදු පරිදි කරන ලද ක්‍රියාවන් ඔස්සේ ආර්ථික අර්බුදය ජය ගැනීමට කල්පනා නොකළ යුතුය. සැබවින්ම අද සිදු වන්නේ ඔවුන්ගේ අපරික්ෂාකාරී සහ අමනොඥ ක්‍රියාවන්ට වන්දි ගෙවීමක් විනා වෙන කිසිවක් නොවේ. එබැවින් ඔවුන්ට වඩා ඉහළින් සිතිය හැකි පිරිසකට ක්ෂණික තීරණ ගැනීමට ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටු විය යුතුය. ආර්ථිකය ගොඩ ගැනීමට ප්‍රායෝගික චින්තන ශක්තියක් සහ විශ්ලේෂණ හැකියාවන් ඇති පිරිසක් ඊට පත් කර ගත යුතුය. 

සම්ප්‍රදායට පිටින් අලුතෙන් හිතන්නට හැකියාවක් ඇති ආර්ථික විද්‍යාඥයන්, සංඛ්‍යාන විද්‍යාඥයන්, ආර්ථිකයේ සහ සමාජයේ ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ක්ෂණික පිළියම් සෙවීම පිණිස විශේෂඥයන් එම මධ්‍යස්ථානයට අනුයුක්ත කළ යුතුය. ඔවුන් ඉහත කී නිළධාරීන්ට නව උපාය මාර්ග නිර්දේශ කළ යුතුය. එම නිර්දේශ ක්ෂණික, කෙටි කාලීන සහ මාධ්‍ය කාලීන ඒවා විය යුතුය. එමගින් ක්ෂණික උපායික පිළියම් සහ තිරසාර පිළියම් ඇතුළත් ප්‍රතිපත්ති සකස් කළ යුතුය.  

ආර්ථික ප්‍රශ්න මේ වන විට සමාජ ප්‍රශ්න සහ ජීවත් වීමේ ප්‍රශ්න බවට හැරෙමින් තිබේ. ඖෂධ හිඟය දුප්පත් පොහොසත් සැමට දැනෙන්නට පටන් ගෙන තිබේ. ඖෂධ හිඟය නිසා රෝගීන් මිය යාම, හෘද රෝග සහ ආඝාතය, ආතතිය යන රෝග වැඩි වීමේ ප්‍රවනතාවක් ඇති බව සෞඛ්‍ය අංශවලින් ආරංචිවේ. අධි උද්ධමනකාරී තත්ත්වය නිසා මුර්ත පරිභෝජනය දැඩි ලෙස පිරිහී තිබේ. මේ තත්ත්වය අඩු ආදායම් ලාභීන්ගේ අත්‍යවශ්‍ය පරිභෝජනය පවා හීන කර තිබේ. එහිලා ආහාර-පාන පමණක් නොව සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන් ලබා ගැනීමේ දුෂ්කරතාව ද දැඩිව තිබේ. 

රුපියල අවප්‍රමාණ වීමෙන් හට ගත් උද්ධමනයට වඩා වෙළෙන්දන් විසින් නිර්මාණය කරන ලද උද්ධමනය සහ ආණ්ඩුවේ මුදල් අච්චු ගැසීම උද්ධමනය තීව්‍ර කිරීමට වඩාත් බලපා තිබේ. මේ නිසා පළමුව දේශීය සාධක කරණ කොට ගෙන හට ගත් උද්ධමනය පාලන කිරීමට පියවර ගත යුතුය. එමගින් සැලකිය යුතු ලෙස උද්ධමනය පාලන කර ගත හැකි වනු ඇත. ඒ සඳහා වෙළඳපළ උපකරණවලට හැකියාවක් නැති නම් වෙළඳපළ නොවන එනම් රාජ්‍ය මැදිහත් වීම ද කෙටි කාලයක් සඳහා යොදා ගත යුතුය. මේ මාර්ගයෙන් අධි උද්ධමනය වළක්වා ගත හැකි වනු ඇත. 

රුපියල බාල්දු වීම නිසා හට ගත් උද්ධමනකාරී බලපෑම ඉවත් කර ගැනීමට රුපියල ශක්තිමත් කර ගත යුතුය. ඊට ක්ෂණික පියවර සේම මැදි සහ දිගු කාලීන පියවර ද ගත යුතුය. යෝජිත ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානය ක්ෂණික පියවර කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතුය. මේ ලියුම්කරු මීට පෙරද යෝජනා කර ඇති පරිදි සංක්‍රාම ආදායම් යථා තත්ත්වයට පත් කර ගැනීමට බොහෝ පෙළඹීම් කළ හැක. එම පෙළඹවීම් මත විනිමය ශ්‍රී ලංකාවට එවන පුද්ගලයන් සහ එම පවුල් වරප්‍රසාද ලත් පවුල් ලෙස නම් කොට වරප්‍රසාද ලබා දිය යුතුය. ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානය ඒ ගැන කල්පනා කළ යුතුය. 

එමෙන්ම ආනයන මල්ල ලිහා බලා ආනයන භාණ්ඩ සම්බන්ධයෙන් නිසි විශ්ලේෂණයක් කිරීමෙන් ආනයන වියදම් සැලකිය යුතු ලෙස සීමා කර ගත හැකිය. ආනයන භාණ්ඩ දස දහස් ගණනක් අතරින් නිරපරාදේ විනිමය කන භාණ්ඩ දහස් ගණනකට වැට බැඳිය හැක. මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට වෙළඳපළ ක්‍රම සේම රජයේ ඍජු මැදිහත් වීමේ ක්‍රම ද රැසක් තිබේ. අපනයන ප්‍රවර්ධනය ක්ෂණිකව සිදු කළ හැකි දෙයක් නොවන බැවින් ඉන් පළ නෙලාගැනීමට ටික කලක් ගත වේ. එබැවින් අපනයන ප්‍රවර්ධන කාර්මික ප්‍රතිපත්තියට අමතරව අලුතින් ආනයන ආදේශන ඍජු ආයෝජන ප්‍රතිපත්තියක් කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. එමගින් ජය-ජය Win-Win තත්ත්වයක් සාක්ෂාත් කර ගත හැකිය. එනම් ආයෝජන ඔස්සේ විනිමය ලබා ගැනීම සහ ආනයන ආදේශනය ඔස්සේ විනිමය ඉතිරි කර ගැනීමය.  

ඊට අමතර ලෙස අප රටේ උගත් ශ්‍රමිකයන්ට නිසි වැඩ පුහුණුවක් ලබා දී ඔවුන්ගේ හැකියා වර්ධනය කොට ශ්‍රම අපනයනය කෙරෙහි ක්ෂණිකව යොමු විය හැක. ඒ සඳහා විදේශවලින් සහය ඉල්ලා ගත යුතුය. ශ්‍රී ලංකාවට සිටින සෑම මිත්‍ර රටකින්ම මේ පිළිබඳ විමසීම් කළ හැක. මේ වන විට බංගලි දේශයට සහ නේපාලයට පවා අපේ ශ්‍රමිකයන් පිටත් කර හැරීමට වාතාවරණය සැකසී ඇත. ඔවුන්ගේ ඉපයුම් ශ්‍රී ලංකාවට ලබා ගන්නා නීතිමය සහ ඉහත කී පෙළඹවීම් ක්‍රම භාවිතා කළ යුතුය. ණය ඉල්ලා සිඟමන් යදිනවාට වඩා මෙම ක්‍රියා මාර්ගය අගනා තිරසාර පියවරකි. 

මේ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාව සහ එමහින් අවධානය යොමු කළ යුතු උපයමාර්ගවලින් දෙක තුනක් පමණි. මෙහි පෙන්වා දී ඇති අදහස් රජයේ අවධානයට යොමු නොවන බව දනිමි. එහෙත් ආර්ථික විද්‍යාඥයෙකු සහ ආර්ථික විශ්ලේෂකයෙකු ලෙස මෙම ව්‍යසනකාරී තත්ත්වය මත චින්තන ශක්තියෙන් දායක වීම අපගේ වගකීමකි. 

මේ ලියුම්කරුගේ දියණිය විශ්ව විද්‍යාලයට යාමට සිටි කාලයේ දී ආර්ථික විද්‍යා උපාධියක් හදාරන ලෙස ඇයට යෝජනා කළෙමි. තීරණයක් ගැනීමට කාලයක් ද ලබා දුන්නෙමි. පසුව ඈ ආර්ථික විද්‍යා උපාධියක් හැදෑරීමට අකමැති බව කීවාය. ඒ මක් නිසා දැයි ඇගෙන් විමසා සිටි විට ඇය මෙසේ කීවාය; "ඔයා ආර්ථිකය ගැන ගොඩක් පොත් ලියනවා, පත්තරවලට ලියනවා, රේඩියෝ ටීවීවලට කතා කරනවා. ඒ වුණාට ඒවා කවුරුත් අහන්නේ නෑ නෙ. ඒ නිසා ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන වැඩක් නෑ." මම ඒ කතාව පිළි ගෙන ඈ කැමති ඕනෑම උපාධි පාඨමාලාවක් තෝරා ගැනීමට ඉඩ දුනිමි.

 
 
-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
 
 නිර්මාතෘ සහ පීඨාධිපති 
 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
 
 කළමනාකරණ පීඨය 
 
 පේරාදෙණිය විශ්ව විද්‍යාලය
Advertiesment