Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


අගමැති බිල්ලට දී ජනපති රකින අන්තර්වාර කුමන්ත්‍රණය 


2022-05-02 14321

 

මුලින්ම ඉල්ලා අස් විය යුත්තේ ජනාධිපතියි 

 

ආණ්ඩුව බලන්නේ ජන අරගලය මර්දනය කිරීමටය 

 

විපක්ෂය භේද කිරීමටය 

 

සජබය-ජවිපෙ ගත් ස්ථාවරය නිවැරදිය 

 

 
(මහාචාර්ය නවරත්න බණ්ඩාර)

 

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය විසින් අන්තර්වාරය ප්‍රතික්ෂේප කිරීම මගින් ඔවුන් කර තිබෙන්නේ ජන අරගලයේ මතවාදය සමග සිට ගැනීමය. ජනාධිපති ඉල්ලා අස් නොවී පිහිටු වන අන්තර්වාරයට "අපි එන්නේ නැහැ...ඊට අපේ පිළි ගැනීමක් ද නැහැ" කියා කියමින් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේග ගත් ස්ථාවරය නියෝජනය කළේ, "Gota-Go Home" කියන මතයයි. 

මේ පාලක පන්තිය බලා ගෙන සිටින්නේ නැතිව ගිය සිය ශක්තිය ගොඩනගා ගැනීමට විනා රට ගොඩ ගැනීමට නොවේ. මේ පාලකයින්ට අද අවශ්‍ය වී තිබෙන්නේ, පළමුව "ජන අරගලය" පාගා දැමීම සඳහා පදනමක් ඇති කර ගැනීමටය. දෙවනුව විපක්ෂය බෙදා දුර්වල කිරීමටය. එම නිසා එම විපක්ෂ කණ්ඩායම් අන්තර්වාර යෝජනාව සම්බන්ධයෙන් ගත් ස්ථාවරය ඔවුන්ගේ ජන පදනම වගේම ජන අරගලය ආරක්ෂා කිරීමක් ද වී තිබේ.

අන්තර්වාර ආණ්ඩුවක් යනු අර්බුද කාලයක් අවසන් කර ස්ථාවර ආණ්ඩුවක් නව ජන වරමකින් පත් කර ගන්නා තුරු රටේ පාලනය ගෙන යාමට පත් කර ගන්නා තාවකාලික ආණ්ඩුවකි. එවැනි ආණ්ඩුවක් අපට ඕනෑ වුණේ බලයේ සිටින ජනාධිපතිවරයාට රට පාලනය කරන්න තිබුණ ජන වරම අර්බුදයට යාම නිසාය. ඔහුට ඉල්ලා අස් වන ලෙස බල කරන මහ ජන උද්ඝෝෂණ පැන නැගී එම උද්ඝෝෂණ රටම වෙලා ගත් හඞක් බවට පත්වූ නිසාය. එම ජන අරගලය යටපත් කරන්නට ඔහු ගත් සියලු ක්‍රියා මාර්ග මගින් ඔහු තව දුරටත් එම නුසුදුසුකම ඔප්පු කළ නිසාය.

තව දුරටත් පැහැදිලි කරන්නේ නම් අන්තර්වාර පාලනය යනු අද සිටින ජනාධිපතිගේ නායකත්වයෙන් තිබෙන අස්ථාවර ආණ්ඩුව වෙනුවට නව ජන වරමක් සහිත ජනාධිපතිවරයකුගේ නායකත්වය ලබන ස්ථාවර ආණ්ඩුවකට රට පරිවර්තනය කරන කාල පරිච්චේදයක් ඇති කිරීමට ගෙන ආ යෝජනාවකි.

අපේ ව්‍යවස්ථාව අනුව "ආණ්ඩුවේ නායකයා" වන්නේ ජනාධිපතිය. එම නිසා ඔහු අස් නොවී අගමැති අස්වීමෙන් පමණක් ආණ්ඩුව වෙනස් වන්නේ නැත. අගමැති අස්වූ විට වන්නේ අලුත් අගමැති කෙනෙක් සහ කැබිනට්ටුවක් පත් කිරීමට අවස්ථාව සැලසීමය. ඒ අනුව ජනාධිපති ඉතුරු වෙයි.

එම නිසා නියම වශයෙන් අන්තර්වාරයක් ඇරඹීම කළ හැක්කේ ජනාධිපති ඉල්ලා අස්වීමේ ලියුම භාරදී වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් කර එම ජනාධිපතිගෙන් පත්වීම් ලබා ගන්නා තාවකාලික ආණ්ඩුවක් පත් කර ගැනීමෙනි. ඊට සියලු දේශපාලන පක්ෂ සහභාගි නොවුණත් සියල්ලන්ගේම අනුමතිය ලබා ගන්න හැකි විය යුතුය. ඒ මන්ද ජනතා සහයෝගය ලබා ගැනීම සඳහා එම අනුමැතිය අවශ්‍යවන නිසාය.

එසේ ඇති කරන තාවකාලික ආණ්ඩුව ඉතා ඉක්මණින් මැතිවරණ පවත්වා ජන වරම අලුතින් ලබා ගන්නා ජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තුවක් පත් කරන්නට පියවර ගත යුතුය. ඒ සදහා ඉඩ ලැබෙන ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුව විසින් ගෙන ආ යුතුය. ඒ මන්ද යත් වත්මන් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයක් කලින් ඉක්මණින් පවත්වන්නට ප්‍රතිපාදන නැති නිසාය. පාර්ලිමේන්තු මැතිවරණය නම් වසරක් ඇතුළත පවත්වන්නට ව්‍යවස්ථා ප්‍රතිපාදන ඇත.

ඒ අනුව වත්මන් ජනාධිපති විසින් යෝජනා කරන අන්තර්වාර පාලනය එවැනි අරමුණකින් සකස් කර තිබෙන්නේ නම් එහි මුලටම තිබිය යුත්තේ ජනාධිපති ඉල්ලා අස්වී වැඩ බලන ජනාධිපතිවරයකු පත් කිරීමය. අගමැති ඉවත් කර අලුත් කැබිනට් එකක් පත් කිරීම නොවේ. 

එම යෝජනාව ජනාධිපති ඉදිරිපත් කළත් වෙනත් අය විසින් ගෙන ආවත් එමගින් වැඩක් නැත. මේ කරන්න යන්නේ අගමැති බිල්ලට දී ජනාධිපති රැක ගැනීමේ සැලස්මක් බව ජනතාව කියනු ඇත. දැනටමත් ජන අරගලය විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත. විරුද්ධ පක්ෂ ද එම කතාවම කියයි. 

රටක් ලෙස අප මුහුණ දී තිබෙන අර්බූදය දේශපාලන අර්බූදයකි. එකී අර්බුදය දේශපාලන බලය එක් පවුලක් විසින් වංචා සහගත ලෙස මෙහෙය වීම නිසා ඇතිවී තිබෙන අර්බූදයක් වශයෙන් මුළු රටම හදුනා ගෙන සිටියි. එම නිසා අන්තර්වාරයක් ඇරඹිය හැක්කේ එම පවුල් පාලනය සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙනි. 

එම නිසා ජනතාව ඉල්ලා සිටින වෙනසට මුල පුරන්නේ නැතිව ජනාධිපතිව තියා ගෙන පිහිටු වන අන්තර්වාර ආණ්ඩුවකින් ප්‍රශ්නය විසදෙන්නේ නැති බව කිව යුතුය. එවැනි ආණ්ඩුවකින් බලයට සම්බන්ධවී ඇමතිකම් ගැනීමට බලන අයගේ මන දොල පිරවූවාට ජනතාවගේ අපේක්ෂා ඉටු වන්නේ නැත. අර්බූදය තවත් උග්‍ර කරනු ඇත. 

එම නිසා සර්ව පක්ෂ ආණ්ඩුවක් ඇති කරන්නට ඉල්ලන අය කළ යුත්තේ ජනාධිපතිට ඉල්ලා අස්වන්නට බල කිරීමය. රටම පිළිගත් පුද්ගලයකු වැඩ බලන ජනාධිපති වශයෙන් පත් කර අගමැති ඉවත් කර තාවකාලික ආණ්ඩුවක් යටතේ මැතිවරණ පැවත්වීම සඳහා කාල නිර්ණය සැකසීමට සැලස්වීමය. ඊට සියලු පක්ෂ නාවාට ප්‍රශ්නයක් නැත. අවශ්‍යවන්නේ සියලු පක්ෂවල සහ කණ්ඩායම්වලත් ජනතාවගේත් එකගතාවය ලබා ගැනීමය. 

අන්තර්වාරය යනු පාලක පවුල් පාලනය අර්බූදයෙන් ගොඩ ගැනීමට පිහිටු වන තාවකාලික කාලයක් හෝ ආණ්ඩුවක් නොවන බව ජනතාවට පෙනී යා යුතුය. නැති නම් ජන අරගලය තව දුරටත් ඉදිරියට යනු ඇත. රට තව දුරටත් අරාජිකව පවතිනු ඇත.

මේ අතර මේ කරුණු කාරණා සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා සිය නිල "Facebook" පිටුවේ තබා ඇති සටහන මෙසේය. 

 

 
Advertiesment