රටේ උද්ගත වී තිබෙන අධි උද්ධමන තත්ත්වය සහ උග්‍ර ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා පොලී අනුපාත 25% ට වඩා ඉහළ දැමිය යුතු බව ආර්ථික විශේෂඥයෝ පවසති.
ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදය විසඳීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරමින් ප්‍රතිපත්ති පොලී අනුපාත සහ බදු මුදල් තව දුරටත් වැඩි කර නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර සිටියි.
විනිමය අර්බුදය සේම අවිනිශ්චිත සහ අස්ථාවර දේශපාලන පසුබිම මැද ශ්‍රී ලංකාවේ ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සහ සේවා මිල ගණන් දෛනිකව ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්ක් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 119%ක් පමණ වන බවය.
ඔහුගේ විශ්ලේශනයට අනුව ලෝකයේ උද්ධමනය ඉහළම රට ලෙස පළමු ස්ථානයේ පසු වන සිම්බාබ්වේ රාජ්‍යයේ උද්ධමනය 207%ක් ද, දෙවැනි ස්ථානයේ පසු වන ලෙබනනයේ උද්ධමනය 150%ක් ද වන අතර තෙවැනි ස්ථානයේ පසු වන ශ්‍රී ලංකාවේ උද්ධමනය 119%කි.
රටේ උද්ගත වී ඇති උග්‍ර ආර්ථික සහ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් "lankanewsweek" සමග අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ පැවැසීය.
"රටේ මේ වන විට උද්ගත වී තිබෙන ඇති උද්ධමනය මත ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සහ සේවා මිල ගණන් දෛනිකව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ජනතාව අන්ත අසරණ වෙලා. මේ වන විට 119%ක් ව පවතින උද්ධමනය ඉදිරියේ දී තව තවත් ඉහළ යාමේ අවදානමක් තිබෙනවා.
ඉතිහාසයේ පැවැති සිවිල් යුද්ධ කාලයේ දී ඇමරිකා එක්සත් ජනපදය ද,පළමු ලෝක යුද්ධ කාලයේ දී ජර්මනිය ද, දෙවන ලෝක යුද්ධ කාලයේ දී හංගේරියාව ද, අසූ ගණන්වල දී යුගෝස්ලෝවියාව ද මේ භයානක අති උද්ධමනයට මුහුණ දුන් අතර වර්තමානයේ දී සිම්බාබ්වේ සහ ලෙබනනය ආදී රටවල් ද මුහුණ දෙමින් සිටිනවා.
රටේ උද්ගත වී තිබෙන ආර්ථික සහ දේශපාලන අර්බුදය තව දුරටත් එලෙසම පැවතුණොත් 2022 මැයි මස දෙවැනි සතිය වන විට සිම්බාබ්වේ සහ ලෙබනනය පසු කරමින් ශ්‍රී ලංකාව ලෝකයේ අති උද්ධමනය පවතින පළමු රට බවට පත් වීමට ඉඩ තිබෙනවා.
රට ගිල ගෙන තිබෙන ආර්ථික සහ දේශපාලන අර්බුදයට එක වර විසඳුම් සෙවිය යුතු බවට විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප තරයේ කියා සිටින්නේ ඒ නිසයි. දේශපාලන අස්ථාවර භාවය තිබෙන තුරු ආර්ථික ස්ථාවර භාවය ඇති වන්නේ නැහැ. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ආනයනය කිරීමට වත් අපට විදේශ විනිමය නොමැති අතර අපේ නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 250 දක්වා අඩු වෙලා.
මේ අනුව මුල්‍ය ප්‍රතිපත්තිය දෙස බලද්දී පෙනී යන්නේ පහළ පොළී අනුපාත රෙජිමයක සිට ඉහළ පොළී අනුපාතික රෙජිමයක් දක්වා ගමන් කරමින් සිටින අතර විනිමය අනුපාතිකය තව දුරටත් පා වීමට ඉඩ හැර වෙළෙඳ පොළ බලවේග කෙරෙහි විශ්වාසයකින් ක්‍රියා කරන බවයි.
රටේ පිස්කල් ප්‍රතිපත්තිය යටතේ මෑත කාලයේ දී රාජ්‍ය වියදම් අඩු කිරීමට එකඟ වී ඇති අතර ඒ අනුව පෙනී යන්නේ පිස්කල් ප්‍රතිපත්තිය දැඩි කර ඇති බවයි. මේ අනුව ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට පූර්ව සූදානමකින් සිටින අතර ඒ අනුව ඉදිරියේ දී බදු තව තවත් බදු ඉහළ දමමින් රජයේ ආදායම් වැඩි කර ගැනීමට උත්සහ කළොත් ඒ ගැන පුදුම විය යුතු නැහැ. රටේ මෙවැනි වේදනාකාරී පරිසරයක් නිර්මාණය වීම සම්බන්ධයෙන් මහා ජනතාව ද වග කිව යුතු අතර අනාගතයේදී වත් මහා ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි.
Lanka Newsweek © 2024