Friday 4th of October 2024

English Tamil
Advertiesment


ඩොලර් සොයා ගැනීම අමාරු නැහැ 


2022-04-27 14319

 

ක්‍ෂණික ඩොලර් සොයා ගත හැක්කේ ආනයන මල්ලෙනි 

 

සංක්‍රාම වර්ධනයෙනි 

 

(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

ඩොලර් සොයා ගැනීම දුෂ්කර වී ආර්ථික ව්‍යසනයක් හට ගෙන තිබෙන අතර ආණ්ඩුව පුන පුනා කියන්නේ ඩොලර් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් බවයි. 

මේ වන විට පරණ ණය ගෙවීම නවතා ඇති බැවින් ඉතිරිව ඇත්තේ ආනයන සඳහා ඩොලර් සොයා ගැනීමයි. අපනයනවලින් මසකට ඩොලර් මිලියන 1000ක් පමණ ද, සංක්‍රාමවලින් මසක ඩොලර් මිලියන 500ක් පමණ ද ශ්‍රී ලංකාවට ලැබේ. ආනයන එම  සීමාවට ගෙන ඒමෙන් ගැටලුවට විසඳුම් ලැබේ. 

එහෙත් සංක්‍රාම ආදායම් ඩොලර් මිලියන 250ක් පමණ දක්වා පහත බැස ඇතැයි පැවසේ. උන්ඩියල් සහ හවාලා ක්‍රම ඔස්සේ ගනුදෙනු කෙරෙන බැවින් ශ්‍රී ලංකාවට ඩොලර් ලැබීම මෙසේ අඩුවී තිබේ. එහෙත් ආණ්ඩුව එම තත්ත්වය නිවැරදි කිරීමට සිදු කළේ රුපියල පා කිරීම පමණි. එමගින් ද ගැටලුව නිරාකරණය නොවීය. 

ඒ අනුව මේ මොහොතේ තිබෙන පිළියම නම් සංක්‍රාම හිමියන්ට සහ පවුලේ සාමාජිකයන්ට රක්ෂණ, විශේෂ වරප්‍රසාද, සංක්‍රාමවල ප්‍රතිශතයක් ලෙස ආනයන කෝටා යනාදිය ලබා දීමෙන් සංක්‍රාම ඉහළ නංවා ගත හැක. ඒ සඳහා ආර්ථික සහ සංඛ්‍යාන විශ්ලේෂණයක් සිදු කොට ප්‍රතිපත්තියක් සැකසිය යුතුය. උපදෙස් අවශ්‍ය නම් මේ ලියුම්කරුට සහය විය හැක.

අනික් අතට ශ්‍රී ලංකාවට ආනයන කරන දස දහස් ගණන් භාණ්ඩ යළි ක්‍රමවත් ලෙස විමර්ශනය කොට එහි අන්තර්ගත අනවශ්‍ය සහ එතරම් අවශ්‍ය නොවන සේම මේ තත්ත්වය මත අවශ්‍ය නොවේයැයි සැලකිය හැකි භාණ්ඩ දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගත යුතුයි. නොඑසේ නම් සීමා කිරීමට පියවර ගත යුතුයි. ඒ ඔස්සේ මසකට ඩොලර් මිලියන 250ක් පමණ ඉතිරි කර ගැනීම ඉලක්ක කර ගත යුතුයි. එවිට ඖෂධ, ගෑස් සහ ඉන්ධන යනාදිය ආනයනය සඳහා විනිමය සපයා ගත හැකිය. 

එහෙත් මේ මොහොතේ තිබෙන ප්‍රශ්නය නම් ආණ්ඩුව වත් මහ බැංකුව වත් මෙම ආනයන ලැයිස්තුව දෙස නොබලා වෙනත් දේවල් කල්පනා කිරීමය. පළමුව ආනයන බඩු මල්ල පරීක්ෂා කර බලා එහි ඇති බොහෝ දේවල් ඉවත් කර ගත යුතුය. එවිට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට ඩොලර් සොයා ගත හැකිය. තවම මෙම ලැයිස්තුව ගැන හරිහමන් පරීක්ෂාවක් කර නැත. 

ශ්‍රී ලංකා මහ බැංකුවට මේ ආනයන ලැයිස්තුව පරික්ෂා කර ගැනීමට අවශ්‍ය නම් මේ ලියුම්කරුගේ සහයෝගය ලබා දිය හැක. ආනයන සඳහා ඩොලර් සොයා ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ. ණය ගෙවීම නම් අතිශය දුෂ්කර කාර්යයකි. ඒ ඩොලර් බිලියන 50කට අධික මුදලක් ගෙවීමට ඇති බැවිනි. 

එසේ තිබිය දී මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය බකන් නිලා සිටීමෙන් ඉදිරියේ දී විනිමය සහ අපනයන අර්බුදය උග්‍ර වනු ඇත. එනම් FDI සමාගම් සිය ආයෝජන සහ කර්මාන්ත ශාලා ඉවත් කර ගැනීමට පෙළඹීම සහ PORTFOLIO ආයෝජන ඉවත් කර ගැනීමට පෙළඹීමයි. ශ්‍රී ලංකාවේ අපනයනයට අත දෙන ප්‍රමුඛ සමාගම් ශ්‍රී ලංකාවෙන් ඉවත් වුව හොත් අපනයන ආදායම තවත් පහළ බසී. 

මහ බැංකුවට වත් ආණ්ඩුවට වත් මේ ආර්ථික ප්‍රතිවිපාක පිළිිබඳ වගේවගක් නැත. මේ වන විට ආණ්ඩුව IMF දෙස පමණක් බලා සිටී. ආර්ථිකය හැසිරවීමට හෙවත් උපායිකව කළමනාකරණය කිරීමට කල්පනාවක් නැත. "GOTA GO" සහ "ගෝඨා පෝඩා" යනුවෙන් මිනිසුන් කියන්නේ ඒ නිසාය. ආණ්ඩුව අසමත් බව සැබෑය. එහෙත් දැවෙන ප්‍රශ්න දෙස නොබලා සිටීමට ඔවුන් තව දුරටත් ප්‍රිය කරයි. කඩිනමින් ආර්ථික ප්‍රතිසංස්කරණ නොගෙනීමත් බලය අත් නොහැරීමත් යන දෙකම මහ ජනයාට පීඩාකාරීය. 

ක්‍ෂණික ඩොලර් සොයා ගත හැක්කේ ආනයන මල්ලෙන් සහ සංක්‍රාම වර්ධනය කර ගැනීම ඔස්සේය. මේ ලියුම්කරුගේ සහය ආණ්ඩුවට නොව පීඩිත සමාජය වෙනුවෙන් පමණි. කළ අපරාධයට ආණ්ඩුව වහා ඉවත් විය යුතුය.

 
 
-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
 
 නිර්මාතෘ සහ පීඨාධිපති 
 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
 
 කළමනාකරණ පීඨය 
 
 පේරාදෙණිය විශ්ව විද්‍යාලය
Advertiesment