දේශපාලනය සමාජ භාවිතයකි. ලෝක දේශපාලනයේ රීති සෑදීමේ සමාජ භාවිතයන් අනාගතවාදී පූර්වාදර්ශ විය යුතුය. අනාගත සමාජයට අවශ්‍ය විවිධාකාරයෙන් වු බීජ අද්‍යතන පසෙහි රෝපණය කිරීම මගින් නවීන ලෝකයක් ඇති කිරීමට උත්සාහ කරන සමාජ විපර්යාස නොහොත් පවතින ක්‍රමය නව්‍යකරණයට අවශ්‍යය ක්රියාකාරීත්වයේ නියැලීම යනු පූර්වාදර්ශ දේශපාලනයයි.
අප ජීවත් වනුයේ 21 වැනි සියවසේ වුවත් රටේ තිබෙන්නේ 18 වැනි සියවසේ ප්රජාතන්ත්රවාදය, 19 වැනි සියවසේ රාජ්‍යකරණය සහ 20 වැනි සියවසේ තාක්ෂණයය. මේ යථාර්ථය අමතක කර ඉතිහාසයේ වටිනාකම් පිළිබඳ රැව් දෙන වාචාල රණ ඝෝෂා නාදයට රැවටි කටයුතු කිරිම තීව්ර ජාතික අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත.
"Political Literacy-Educating for Democracy" "දේශපාලන සාක්ෂරතාව-ප්රජාතන්ත්රවාදය සඳහා අධ්‍යාපනය" රටේ තිරසර දියුණුවට සහ අනාගතයට තීරණාත්මකය. රාජ්‍යය සේවාව, දේශපාලනඥයින්, දේශපාලන සාක්ෂරතාවය සහ දේශපාලන නුගත්කම යන මේ සියල්ල භයානකය. ඒ අනුව මහ ජන සාක්ෂරතාව සඳහා වන පොදු ව්‍යාපාර, මැතිවරණ දිනා ගන්නා නූගත් බලකාමී ව්‍යාජ ජාතික වාදීන්ගේ උදහසට ලක්වීම ස්වභාවිකය. සැබැවින්ම ප්රජාතන්ත්රවාදය නිසි ලෙස ක්‍රියාත්මක වීමට දේශපාලකයන් අතර අවංකභාවය සහ නිර්ව්‍යාජ චර්යාව මූලික වේ.
නෛතිකව නිර්වචනය කරන ලද භූගෝලීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ නියෝජිතයන් ලෙස ශ්‍රී ලාංකේය ජාතික පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනිම අද්‍යතනව, අතිශය වියදම් අධික ව්‍යසනකාරී සහ සිවිල් ජනයාගේ ජීවිත විනාශවීම දක්වා පැතිරුණු, විසිරුණු, විසල් සහ විනාශකාරී අත්දැකිම් ජාලයක් බවට පෙරළි ඇති බව නිවැරැදි ය. මේ තත්ත්වයට හේතු වුණු කරුණු මොනවාද..?
(01) අද්‍යතනව ශ්‍රී ලාංකේය මහ ජන නියෝජිතයන් වරප්‍රසාද රාශියක් භුක්ති විඳිමින් ඇත්තේ පොදු මහ ජනයාගේ මුදල්වලින් වන අතර සමහර අවස්ථාවලදී සිය ජන්ම ජාතකත්වය (Native) ඉක්මවා යන බලයක් ඔවුන්ට ලැබි ඇති බව දර්ශනය වේ.
(02) අපහාස කිරීමේ චෝදනාව යටතේ අපහසුතාවයට පත් නොවී මිනිසුන්ට අපහාස කිරීමට හෝ අපහාස කිරීමට ඉඩ සලසමින් පාර්ලිමේන්තුවේදී කතා කරන ඔවුන්ගේ වචන කිසිඳු ආකාරයකින් නීතිමය ක්‍රියාවලියේදී ඔවුන්ට එරෙහිව භාවිතා කළ නොහැකි හෙයින් විසල් බලයක් ඔවුන්ට ලැබි ඇත යනු නෛතික සත්‍යකි.
(03) සමාජීය, ආර්ථිකමය සහ බලයෙන් සාරවත් රටේ වැදගත්ම රැකියාවක් ඔවුන්ට පැවරී ඇතත්, ඔවුන් සේවය කළ යුතු මහ ජනතාව ඔවුන් විසින්ම නොමඟ යැව්වොත් හෝ රැවටුව හොත් කිසිදු අයුරකින් එවැනි කිසිම ප්‍රකාශයකට, අවස්ථාවකට සහ සිද්ධියකටඔවුන් වග කිව යුතු නොවේ.
උක්ත තත්ත්වයන් සහ කරුණු අනුව 21 වන සිය වසේදීත් පොදු ජනතාව යනු රාජ්‍යකරණයේ යකඩ සපත්තුවට පෑ ගෙන, මිරිකෙන සහ දුක්විඳින අසරණ රටවැසියන් යනු පරම සත්‍යයකි. නමුත් පොදු ජනයාට අසීමිත බලයක් ඇති බව අමතක නොකළ යුතු වනුයේ සර්වජන ඡන්ද බලය ඔවුන් සතු හෙයිනි.
මේ මහා ජන නියෝජිතයන් හික්ම වීමේ පහසුම ක්‍රමය වනුයේ ඔවුන්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමය. තාවකාලිකව ලැබෙන දේශපාලන බලය පෞද්ගලික වාසිය වෙනුවෙන් ක්‍රියාත්මක කර රටේ අනාගතය වනසන, ජන සමාජයට වග නොකියන ජාවාරම් කාරයන් නැවත නැවතත් මහ ජන ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට සහ පළාත් පාලන ආයතනවලට පත් කර එවීම ඒ ඒ මැතිවරණ ආසනවල සහ පොදුවේ ඒ ඒ දිස්ත්‍රික්කයේ බහුතර ජනතාවගේ දේශපාලන නූගත්කම හෙළිදරව් වීමකි.
ඒ ඒ දිස්ත්‍රික්කයේ ජනතාවගේ දේශපාලන නූගත්කම හේතුවෙන් බලයට පැමිනෙණ මහ ජන නියෝජිතයන්ගේ අවකල් ක්‍රියාවන් සහ විවිධාකාරයෙන් සවි බල කරණය වන දූෂණ-වංචාවල බලපෑම සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේම අනාගතයට විසල් අභියොගයක් පමණක් නොව ආපසු හැර විය නොහැකි සුවිශාල අනතුරකි. උක්ත අභියෝගාත්මක සුවිශාල අනතුර විසින් බිලි ගනුයේ ශ්‍රී ලාංකේය දූ දරුවන්ය. මිනිසාගේ විනාශයේ තීව්ර ආයුධය දේශපාලන නූගත්කමයි. (The Worst Illiterate Is The Political Illiterate) දේශපාලන නූගත්කම හේතුවෙන් ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඡන්දය දීමේ අවබෝධය පිරිහී ඇති අතර ඊට හේතු වී තිබෙන්නේ ව්‍යාජ ජාතික-ආගමික පොරොන්දු, භූමීයේ අයිතිය සහ විජාතිකකරණය වැනි තීරණාත්මක කරුණු ඉලක්ක කර ගනිමින් මහා ජන නියෝජිතයින් අභ්‍යාස කරන මැතිවරණ පොරොන්දු නිසාය.
උක්ත ව්‍යාජ දේශපාලන මතවාදවලින් සැරසු මැතිවරණ ප්රචාරක බලපෑමට හසු වන ශ්‍රී ලාංකේය බහුතර ජනයාගේ ඡන්ද හේතුවෙන් රටේ අනාගතය පිරිහිමට ලක් වි ඇත්තේ එක් වරක් පමණක් නොවේ. ඒ හේතුවෙන් දියුණු රටවල පිළි ගැනිමට ලක් වී ඇති ගෝලීය සම්මතයන් සහ ප්‍රමිතින් සේම නායකත්වයේ වටිනාකම් සහ දාර්ශනික, අනාගතවාදී, විද්‍යාත්මක දේශපාලන සහභාගීත්වය, අපේ ජන සමාජයට තවමත් අභියෝගයකි.
දේශපාලන සාක්ෂරතාවයේ (Political Literacy) නොදියුණුකම හේතුවෙන් අපේ රටේ වර්ථමානය පමණක් නොව අනාගතය ද බරපතළ ලෙස පහළ මට්ටමකට ඇද වැටි ඇත. දේශපාලන තනතුරුවල දුර්වල ලෙස ක්‍රියා කරන අයගේ පැවැත්මට ජන සමාජයේ දේශපාලන නුගත්කම (Political Illiterate) හේතු වි ඇති බව පිළි ගෙන දේශපාලන සාක්ෂරතාව (Political literacy) වර්ධනය කිරිමට අවශ්‍ය කටයුතු කළ යුතුය.
Lanka Newsweek © 2024