Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


රට කොල්ල කෑමට ජනපතිවරුන්ට තිබෙන අයිතිය අහෝසි කළ යුතුය 


2022-03-23 14319

 

ජනපතිවරයා නීතියට යටත් කළ යුතුය 

 

එසේ නොමැතිව රට ගොඩ ගත නොහැකිය 

 

අර්බුදයේ තවත් පැතිකඩක් 

 

 

(වික්ටර් අයිවන්)

 

ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය රටේ ආර්ථික සහ මූල්‍ය කළමනාකරණයේ සිදුවූ වැරදි නිසා පමණක් ඇතිවූ අර්බුදයක් ලෙස දැකීම වැරදිය. ඒ කෙරෙහි ඉහ වහා ගිය දූෂණය ප්‍රධාන සාධකයක් ලෙස බලපැවේය. නිවැරදි මූල්‍ය කළමනාකරණයක් පවත්වා ගෙන යා හැකි වටපිටාවක් රටේ නොතිබුණි. 

1978 ව්‍යවස්ථාව මගින් නීතියට ඉහළින් සිටින ජනාධිපතිවරයෙකු සහිත ජනාධිපති පාලන ක්‍රමයක් ඇති කිරීමෙන් පසු වස්තු කොල්ලය ආණ්ඩු පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබුණි. දූෂණය පාලනය කළ නොහැකි මහා ප්‍රවාහයක් බවට පත් වන්නේ එතැන් සිටය. ගෙවුම් ශේෂ අර්බුදය ඇතුළු රාජ්‍යයේ ඇති වී තිබෙන අසමත්භාවය රාජ්‍යය පාලකයින් පවත්වා ගෙන ගිය එම වස්තු කොල්ලය නිසා ඇතිවූ බිහිසුණු ඵලයක් ලෙස සැළකිය හැකිය.

 
වාහන මේනියාව

 

මන්ත්‍රීවරුන්ට සහ පසුව රාජ්‍ය නිලධාරීන්ට බදු රහිත පදනමකින් වාහන ලබා දීම එම වස්තු කොල්ල පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් ගත් කස කරුවා ලෙස සැළකිය හැකිය. එම වාහන ලබා දීම, රාජ්‍යය නායකයා තමන්ගේ දූෂිත සහ හිතුවක්කාරි වැඩ සටහන්වලට මන්ත්‍රීවරුන්ගේ සහ රාජ්‍යය නිලධාරින්ගේ සහාය ලබා ගැනීම සදහා මහජන මුදලින් ගෙවන ලද කප්පමක් ලෙස සැළකිය හැකිය. එම දූෂිත ක්‍රමය පක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන් ද, උසස් රාජ්‍යය නිලධාරීන්ද සතුටට පත් කොට ඔවුන් සියලු දෙනා රාජ්‍යය නායකයාට අවනතව සහ කීකරු ලෙස ක්‍රියා කරන තත්ත්වයක් ඇති කිරීමට  හේතු විය. 

බැලූ බැල්මට අහිංසක තත්ත්වයක් ලෙස පෙනෙන මෙම දූෂිත ක්‍රමය නඩත්තු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙවා තිබෙන වන්දියේ ප්‍රමාණය අති විශාලය. 2010 සිට 2015 දක්වා වූ වසර පහක දී පමණක් රජයේ නිලධාරින්ට බදු රහිත පදනමකින් ලබා දී තිබෙන වාහන සංඛ්‍යාව 38,000 කි. එමගින් රජයට අහිමි වී තිබෙන බදු ආදායමේ වටිනාකම රුපියල් බිලියන 143 කි. එම මුදල මොරගහකන්ද යෝජනා ක්‍රමයට වැය කර තිබෙන සම්පූර්ණ මුදල වගේ (එහි වියදම රුපියල් බිලියන 48.14 කි) තුන් ගුණයකට ආසන්නය. එම වාහන 38,000 දේශපාලකයින්ට නොව රජයේ සේවකයින්ට ගෙන්වන ලද වාහන නිසා එක වාහනයක CIF මිල ඇමරිකන් ඩොලර් 30,000 ක් ලෙස සලකා ගණන් බැලුවද ඒ සදහා දරා තිබෙන ආනයන වියදම ඩොලර් බිලියන 1.14 කි. 

මෙම දූෂිත ක්‍රමය රජයට ලැබෙන ආදායම් හීන කොට රටේ ආනයන වියදමද වර්ධනය කළේය. ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කළේය. මේ ක්‍රමය ඉක්මනින් තමන්ට තිබෙන නිල බලයේ ලොකු කම ප්‍රදර්ශනය සදහා යොදා ගන්නා ක්‍රමයක් බවට පත් විය. දේශපාලන නායකයින් සේම උසස් රාජ්‍ය නිලධාරින්ද අලුත්ම අලුත් වාහනයක් විනා කොතරම් හොඳ තත්ත්වයක තිබුණ ද වෙනත් අය පාවිච්චි කළ වාහනයක් පාවිච්චි නොකළේය. ආණ්ඩුවේ සුපිරි ගනයේ නිලධාරියෙකුට ලැබෙන නිල වාහනයේ වෙළද පොළ වටිනාකම ලක්ෂ 300 කට වැඩි විය. 

2016 දී ආණ්ඩුව ඇමතිවරුන්ගේ පරිහරණය සදහා ගෙන්වන ලද මෝටර් රථයක වෙළඳ පොළ වටිනාකම ලක්ෂ 700 ක් විය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ පරිහරණය සදහා වෙඩි නොවදින මෝටර් රථ දෙකක් ගෙන්වන ලද අතර එක මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 5900 කි. 

මේ ක්‍රියාවලිය කවර ප්‍රජාතන්ත්‍රවාදී රටකවත් දක්නට නැති අවලස්සන සහ දූෂිත තත්ත්වයකි. ස්වීඩනයේ මුළු පාර්ලිමේන්තුවටම තිබෙන්නේ වාහන හතරකි. බ්‍රිතාන්‍යය එක්සත් රාජධානියේ නිල වාහනයක් ලැබෙන්නේ අගමැතිට සහ විපක්ෂ නායකට පමණය. ශ්‍රී ලංකාවේ පවත්වා ගෙන යන මෙම දූෂිත සහ නාස්තිකාර වාහන ක්‍රමය නඩත්තු කරන්න පමණක් කොතරම් විශාල ධනයක් වැය කරන්න ඇද්ද..? එම මුදල් නාස්තිය වර්තමාන අර්බුදය මත පටවන්නට ඇති බරේ තරම කොතරම් විශාල විය හැකිද..? රජයේ ළමා අනාථ නිවාසයක සිටින ළමයෙකු නඩත්තු කිරීම සදහා වෙන් කර තිබෙන වියදම එක් දිනක් සදහා රුපියල් 20 කි. ජනාධිපති පරිහරණය කරන වෙඩි නොවදින  මෝටර් රථයේ මිල රුපියල් ලක්ෂ 5900 කි. ශ්‍රී ලංකාව වෙලා ගෙන තිබෙන අර්බුදයේ නියම හැඩ තළ ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.

 
ජේ. ආර්. ගේ භූමිකාව

 

විටින් විට බලයට පත් වන ජනාධිපතිවරුන්ගේ ආණ්ඩු විසින් විවිධ ස්වරූපවලට ක්‍රියාවට නඟන ලද වස්තු කොල්ලයන්වලදී ලොකුම පංගුව බොහෝ විට ගලා ගියේ ජනාධිපති ධූරය උසුලන කෙනාගේ සාක්කුවටය. රටේ සියලු පොදු දේපොළ භාරකාරත්වය තිබෙන්නේ ජනාධිපතිටය. එම දේපොළ විකිණීමේ, බදු දීමේ සහ ප්‍රදානය කිරීමේ බලය තිබෙන්නේද ජනාධිපතිටය. ජනාධිපති සිටින්නේ නීතියටත් ඉහළින් වන නිසා එම විෂයේදී ඔහු සිදු කරන වැරදිවලදී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත. රටේ අධිකරණය පවා දරන පිළි ගත් මතය එම තත්ත්වය වුවත් මාගේ මතය වන්නේ අයථා ලෙස වත්කම් උපයා ගැනීම පිළිබඳ විෂයේදී ජනාධිපතිට පවා වත්කම් බැරකම් නීතිය යටතේ මුක්තියේ රැකවරණ හිමි නැති බවය. අයථා ලෙස වත්කම් උපයා ගෙන ඇති ජනාධිපතිවරයෙකුට එරෙහිව ධූරයේ සිටියදීම වුවත් පරීක්ෂණයක් ආරම්භ කොට පවත්වා ගෙන යා හැකිය. ජනාධිපතිවරුන්ට පොදු දේපල විෂයේදී ලැබී තිබුණ අති විශාල බලය සහ නීතියෙන් ලැබී තිබුණ රැකවරණය නිසා එම විෂයේදී ශ්‍රී ලංකාවේ සියලු ජනාධිපතිවරුන් සැළකිය හැක්කේ තමන්ගේ භාරයේ තිබෙන පොදු දේපොළවලින් අඩු වැඩි ප්‍රමාණයකට අයථා ලෙස ඵල ප්‍රයෝජනය ලැබූ ජනාධිපතිවරුන් ලෙසය. 

ජනාධිපති ජේ ආර් ජයවර්ධන ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු විය යුතුව තිබෙන්නේ දූෂිත රස්තියාදුකාර පාලන ක්‍රමයක් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් උගත් ජනාධිපතිවරයෙකු වශයෙනි. පාලනය නියම රස්තියාදු කාරයෙකු අත්ට පත්වූ විටක රටට කුමක් විය හැකිදැයි සමහර විට ඔහු නොදැන සිටියා විය හැකිය. ජනාධිපති ජේ ආර් ජයවර්ධන වැනි නායකයකු රටට මෙවැනි දූෂිත ක්‍රමයක් චේතනාන්විතව හදුන්වා දුන්නේ ඇයි කියන ප්‍රශ්නයට මට දිය හැකි පිළිතුර මෙසේය. 

ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ වීරයා වුයේ නැපෝලියන්ය. නැපෝලියන් විශාල අධිරාජ්‍යයක් ගොඩනගා ගැනීම සදහා යොදා ගත්තේ කුලී හමුදාවකි. නැපෝලියන් නගර අල්ලා ගන්නා හමුදාවන්ට ඒ නගරවල ධනය කොල්ල කන්නට ඉඩ දුන්නේය. අල්ලා ගන්නා නගරවල තිබෙන ධනය කොල්ල කෑමට ලබාදී තිබූ අයිතිය නැපෝලියන්ගේ හමුදාවේ සටන්කාමි ජීව ගුණය කෙරෙහි බලපෑ වැදගත්ම සාධකය විය. ජනාධිපති ජේ ආර් ජයවර්ධන සිය වීරයා ඔහුගේ කුලී හමුදා සඳහා යොදා ගත් එම ක්‍රමවේදය පාරිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍යය නිලධාරීන් සදහා යොදා ගත්තේය. සිය මන්ත්‍රී කණ්ඩායම ධනවත් වූ තරමට තමන්ට ලැබී තිබෙන බලය ආරක්ෂා කිරීමට ඔවුන් දිවි හිමියෙන් ක්‍රියා කරනු ඇතැයි ඔහු විශ්වාස කරන්නට ඇත. ඔහු සිහින දැක්කේ සිංගප්පූරුව සහ මැලේසියාව වගේ එක දිගට දීර්ඝ කාලයක් බලයේ සිටින ආණ්ඩුවකි. ඔහු කොහොමටත් ප්‍රජතන්ත්‍රවාදි ගුණ ධර්ම විශ්වාස කළ නායකයකු නොවීය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක ආරක්ෂා කර ගත යුතු ප්‍රතිපත්ති අතරින් අංක එක බවට පත්ව තිබෙන මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් රජය සමග ව්‍යාපාර නොකළ යුතුයි කියන ප්‍රතිපත්තිය පොළොවට සමතලා කරන පිළිවෙතක් ඔහු අනුගමනය කළේය. ඔහු බලයට එන තෙක් එම පිළිවෙත ශ්‍රී ලංකා දේශපාලනයේ දැඩි ලෙස ආරක්ෂා වී තිබු ප්‍රතිපත්තියක් විය.

දේශපාලන ක්‍රමයේ මුල් බැස තිබෙන යහපත් ප්‍රතිපත්තියක් වහාම ආපසු හැරවීම පහසු නැත. ඔහු සිය මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කිරීමේ දොරටු විවෘත කළද වහාම එම අවලස්සන මාවතට පිවිසීමේ විචිකිච්ඡාවක් මන්ත්‍රීවරුන්ට තිබුණා විය හැකිය. 

ජනාධිපති ජේ ආර් ජයවර්ධන තමන්ට තිබුණ අක්කර 50 ක නිසරු පොල් ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දී කොමිසම සතුව තිබුණ සරුසාරම පොල් ඉඩමෙන් අක්කර 50 ක් ලබා ගන්නට ඇත්තේ විචිකිච්ඡාවක් තිබූ මන්ත්‍රීන්ට ලබා දෙන ආදර්ශයක් වශයෙන් විය හැකිය. කෙසේ හෝ ඉතා ඉක්මනින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට තිබූ ඉතා වටිනා ඉඩම් නාමික මිලකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුවට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හිමි කර ගැනීම මහා පරිමාණයෙන් සිදු වන දෙයක් බවට පත් විය. 

ඊට අතිරේකව ජනාධිපති ජේ ආර් ජයවර්ධන සිය මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙසද බලපත්‍ර ලාභි ව්‍යාපාරිකයින් ලෙසද ක්‍රියා කරන්නට ඉඩ දුන්නේය. ඒ සියල්ල නීතියට පටහැනි බව ඔහු දැන සිටියේය. ඔහු ඒ සඳහා තිබෙන නීති වෙනස් කළේ නැත. ඒ වෙනුවට රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වැළකීය. දූෂණ විෂයේදී ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ සැබෑ ස්වරූපය පෙන්නුම් කරන නිදර්ශනයක් මෙසේය. 

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව එල්ල වෙමින් තිබුණ දූෂණ චෝදනා හේතු කොට ගෙන ජනාධිපති ජේ ආර් ජයවර්ධනට 1986 මාර්තුවලදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සහ රජයේ නිලධාරින්ට එල්ල වී තිබෙන අල්ලස් සහ දූෂණ චෝදනා පරීක්ෂා කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කොලින් තෝමේගේ ප්‍රධානත්වයෙන් කොමිසන් සභාවක් පත් කිරීමට හේතු විය. එම කොමිසමට පැමිණිලි ගලා ආවේය. කැබිනට් ඇමතිවරුන් ගණනාවකට ද එරෙහිවද පැමිණිලි ලැබී තිබුණි. කොමිසම සිය පරීක්ෂණ කටයුතු කර ගෙන යන අතර 1987 සැත්තැම්බර් අවසානයේදී කිසිදු හේතු දැක්වීමකින් තොරව ජනාධිපතිවරයා විසින් කොමිසම අහෝසි කළේය. කොමිසම අහෝසි කරන අවස්ථාව වන විට කොමිසමට පැමිණිලි 1973 ක් ලැබී තිබුණ අතර ඉන් පැමිණිලි 634 ක පරීක්ෂණ අවසන් කර තිබුණත් පරීක්ෂණවලින් චෝදනා සනාථ වී තිබූ කිසිවෙකුට එරෙහිව නඩු පැවරීමක් සිදු නොවීය.

 
කොල්ලකාරි ක්‍රමයක් ඇති වීම

 

ශ්‍රී ලංකාවේ බලයට පත්වන ජනාධිපතිවරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේද සහාය ඇතිව රටේ පොදු වස්තුව කොල්ල කන ක්‍රමයක් ඇති වී ස්ථාපිත වූයේ ජනාධිපති ජේ ආර් ජයවර්ධන ඒ වෙනුවෙන් ආරම්භ කර තිබූ ක්‍රමවේදය ප්‍රයෝජනයට ගනිමිනි. ජනාධිපතිවරයා සිය පියා 1958 දී චීන තානාපති කාර්‍යාලය දැමීම සදහා චීනයට විකුණා තිබූ විහාර මහා දේවි උද්‍යානය අසල තිබෙන "වෛජයන්ත" නිවස සහ ඉඩම (ජේ. ආර්. ගේ මහගෙදර) සිය නමින් පවත්වා ගෙන යන සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කළේ සිය පෞද්ගලික මුදලින් නොව රජයේ වියදමිනි. 

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොස්ගොඩ හෑගල්ලේ සියා පියා වෙනුවෙන් රජයේ වියදමෙන් කෞතුකාගාරයක් ඉදි කළේ ද ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ආදර්ශයට ගනිමිනි. ඉන්පසු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ද කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ ඇති වටිනා ඉඩමක් විජය කුමාරතුංග පදනම නමට ලබා ගත්තාය. විශ්‍රාම යන විට මාදිවලින් ඒ කාලයේ මිල අනුව මිලියන 350ක් පමණ වටිනා ඉඩමක් සිය නමට ලියවා ගත්තේ ජනාධිපති ජේ ආර් ජයවර්ධන ආදර්ශයට ගනිමින් විය යුතුය. එහෙත් ඇගේ එම ක්‍රියාවට එරෙහිව නඩු පැවරීම නිසා ඇයට එම ඉඩම අත්පත් කර ගැනීමට හැකි වූයේ නැත. ඉන්පසු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේදී සිය දෙමාපියන් වෙනුවෙන් මැදමුලනේ කෞතුකාගාරයක් තනන ලද්දේ ද, ඊට පසුව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජයේ නිල නිවාස දෙකක් එකතු කොට ඉදි කරන ලද මහා මන්දීරය තමන් වෙත අත්පත් කර ගත්තේ ද පූර්වගාමි ජනාධිපතිවරුන්ගේ ක්‍රියා ආදර්ශයට ගෙන විය යුතුය. මේ ආකාරයට ජනාධිපතිවරුන්ගේ පම්පෝරිය නඩත්තු කිරීම සදහා පමණක් ශ්‍රී ලංකාව වැය කර තිබෙන වියදම කොතරම් විශාලද..?

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ පුද්ගලික කරන වැඩ සටහන් රාජ්‍ය නායකයා ඇතුළු ඔහුගේ ගජ මිතුරන් අයථා ලෙස ධනය උපයා දුන් වැදගත් මාර්ගයක් විය. රටකට තිබෙන ගුවන් විදුලි සංඛ්‍යාත ඒ රටට ආදායම උපයා දෙන වැදගත් මාර්ගයක් ලෙස ක්‍රියා කරයි. ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශනය සදහා යොදා ගන්නා සංඛ්‍යාත සැලකෙන්නේ මහජනයාට අයිති ඉතාමත් අගනා සීමිත සම්පතක් ලෙසය. වෙනත් රටවල විකාශන බලපත්‍ර ලබා දෙන්නේ තරඟකාරි ක්‍රමයකට ඉහළම ඉල්ලුම් කරුටය. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සහ රූපවාහිනි ආයතන 34 කට වැඩි ගණනක් ඇතත් ඉන් ආයතන එකක් හෝ දෙකක් හැර අන් සියලු  ආයතන බලපත්‍ර ලබා ගෙන ඇත්තේ අවිධිමත් සහ දූෂිත අකාරයකටය. එම ක්‍රමය ජේ. ආර්. ජයවර්ධනගෙන් පසු සමහර ජනාධිපතිවරුන් මුදල් ඉපයූ එක් මාර්ගයක් ද විය. බලපත්‍රයක් හිමි කර ගන්නා හැම විටම ඒ වෙනුවෙන් ලොකු මිලක් ගෙවයි. එහිදී නාමික බලපත්‍ර ගාස්තුව පමණක් භාණ්ඩාගාරයට යන විට එම බලපත්‍රය අලෙවි වූ ලොකු මිල ගියේ දේශපාලන නායකයාගේ සාක්කුවටය. එම විෂයෙන් පමණක් භාණ්ඩාගාරයට අහිමි වන්නට ඇති ධනයේ ප්‍රමාණය අති විශාලය. 

එසේම මත්පැන් අලෙවිය සහ වැලි ගල් වැනි අංශ, ඍජු සහ අනියම් ලෙස මහජන මන්ත්‍රීවරුන්ට ලබා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඒ සඳහා නිකුත් කෙරෙන බලපත්‍රවලින් භාණ්ඩාගාරයට ලැබුණේ ඒ වෙනුවෙන් ලබා ගත හැකි උපරිම ආදායම නොව නාමික ආදායමකි. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලන කාලයේදී මන්ත්‍රීවරුන් හරහා නිකුත් කෙරුණු මත්පැන් අලෙවි කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර සංඛ්‍යාව 1000 කට වැඩිය. විදේශ ආධාර මත හෝ විදේශ ණය මත පවත්වා ගෙන යන සංවර්ධන ව්‍යාපාර ද, රටේ දේශපාලන නායකයින් අයථා ලෙස ධනය උපයා ගැනීම සදහා යොදා ගත් තවත් ජනප්‍රිය මාර්ගයක් විය. 

පසු කලෙක රටට ලොකු වැදගත් කමක් නැති දේශපාලන නායකයින්ට මහා පරිමාණයෙන් අයථා ලෙස ආදායම් උපයා ගැනීම සදහාම සැලසුම් කළ සංවර්ධන යෝජනා ක්‍රම විශේෂයක්ද කරළියට ආවේය. ඒ සදහා අවශ්‍ය අරමුදල් ලබා ගත්තේ වාණිජ පදනමක් මත ණය ලබා දෙන ආයතනවලිනි. එවැනි ණය සදහා ලොකු පොළියක් ගෙවන්නට සිදු විය. එසේ ලබා ගත් ණයද ගෙවුම් ශේෂ අර්බුදය කෙරෙහි විනාශකාරි ලෙස බල පෑවේය. කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ අපනයනවලින් උපයන ආදායමේ පංගුව සියයට 50 කින් පමණ පහත වැටීමද ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර කරන අතිරේක සාධකයක් ලෙස බල පෑවේය. 

නීතියට ඉහළින් සිටින පාලකයෙකු සහිත පාලන ක්‍රමයක් ඇතිවීම, එම පාලකයා තමන්ට තිබෙන බලය සිය සහචරයන් සමග අයථා ලෙස ධනය උපයා ගැනීම සදහා යොදා ගැනීම, එම තත්ත්වය යහපත් ආර්ථික කළමනාකරණයක් සහතික කිරීම සදහා තිබුණ සියලුම සංවිධාන ක්‍රම බෙලහීන කොට දූෂණය රාජ්‍යය සහ එහි ආයතන ක්‍රමය වෙලා ගත් පිළිකාවක් බවට පත්වීම, එම තත්ත්වය රජයට ආදයම් ලැබීම විශාල ප්‍රමාණයකින් හීන කොට රටේ විදේශ ණය ගැතියාව උග්‍ර කිරීමට හේතුවී රට අසමත් සහ බංකොලොත් තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය. 

තමන් භාරයේ තිබෙන පොදු සම්පත්වලින් අයථා ලෙස ධනය උපයා ගැනීම පිළිබඳ කාරණයේදී ජනාධිපතිගේ කොල්ලකාරි භූමිකාව සහ මහජන මන්ත්‍රීවරුන්ගේ කොල්ලකාරි භූමිකාව විගණකාධිපතිට නොපෙනුණේ කෙසේද යන ප්‍රශ්නය විගණකාධිපතිවරයා රටට පැහැදිළි කළ යුතුය.

 
අවසානය

 

ශ්‍රී ලංකාව දැන් තිබෙන අවලස්සන තත්ත්වයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය නම් සහ ඒ සදහා ලබා දෙන විසඳුම් කල් පවත්නා විසඳුම් බවට පත් කිරීමට අවශ්‍ය නම් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට අතිරේකව රාජ්‍ය නායකයාට (ජනාධිපතිට) නීතියට ඉහළින් සිටිමින් හිතුවක්කාරි ලෙස ක්‍රියා කිරීමට සහ රටේ පොදු සම්පත් සිය දේශපාලන සහචරයින් සමග කොල්ල කෑමට ලැබී තිබෙන අයිතිය නැති කළ යුතුය. එසේ කිරීමට නම් ජනාධිපතිවරයා නීතියට යටත් තත්ත්වයකට ගැනීමට හේතු වන ලෙස ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතුය. එම ප්‍රතිසංස්කරණය කළ හැකි වනු ඇත්තේ අධිකරණයට අංග සම්පූර්ණ ලෙස අධිකරණ විමර්ශන බලය ලබා දීමට හේතුවන සහ රාජ්‍යයේ ඇතිවී තිබෙන ජාරාජීර්ණ භාවය තුරන් කිරීමට හේතු වන ප්‍රතිසංස්කරණ ඇති කිරීමෙනි. 

නැත හොත් ජනාධිපති ක්‍රමය අහෝසි කර නැවත පාර්ලිමේන්තු ක්‍රමයකට යෑමට හේතු වන සහ රාජ්‍යයේ ඇතිවී තිබෙන ජරාජීර්ණ භාවය තුරන් කිරීමට හේතු වන ප්‍රතිසංස්කරණ ඇති කිරීමෙනි. මේ අර්බුදය ජය ගැනීම සදහා ජාතික සමගිය ද නැතුවම බැරි කොන්දේසියක් වන නිසා ජාතිය ගොඩ නැගීමද මෙම අර්බුදය ජය ගැනීම සදහා සකස් කරන න්‍යාය පත්‍රයට ඇතුළත් ප්‍රධාන අංගයක් බවට පත් කළ යුතුය. 

මේ වන විට රටේ ඇතිවී තිබෙන අවාසනාවන්ත තත්වයට ද, දීර්ඝ කාලයක් එක දිගට රාජ්‍යය පාලනය වස්තු කොල්ලයක් ලෙස පවතින්නට ඉඩ හැරීමේ වරදට ද පාර්ලිමේන්තුව වග කිව යුතුය. ඒ නිසා ප්‍රතිස්ංස්කරණ අරමුණු ජය ගැනීම සදහා නව ව්‍යවස්ථාව සම්පාදනය විය යුත්තේ පාර්ලිමේන්තුවෙන් නොව මහජන නියෝජිතයින්ගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදන  මණ්ඩලයක් මගිනි.

 


 

Advertiesment