Sunday 13th of October 2024

English Tamil
Advertiesment


අහිංසකයින්ගේ යුද්ධය සහ යුද්ධයේ අහිංසකයින්..!


2022-03-02 14333

 
(Malcolm Sang)

 

දවසකින් දෙකකින් යුක්‍රේනය සමතලා කරල දායි කියල හිතපු බලවත් රුසියානු හමුදාව හය වෙනි දවස දක්වාත් සටන් කළත්, තවම යුක්‍රේන් අග නුවරටවත් ළඟා නොවෙන්නෙ මේ යුක්‍රේන ජාතිකයන් තමන්ගෙ රටට දක්වන ආදරය නිසා කිව්වොත් අපි වැරදි නෑ. අවුරුදු දහ අටත් හැටත් අතර දරුවන් තුන් දෙනෙකුට අඩුවෙන් සිටින පවුල්වල සියලුම පිරිමින්ට රටේ රැඳිල ඉන්න යුක්‍රේන ආණ්ඩුව නියෝග කරපු බව ඇත්ත. නමුත් මේ හැම පිරිමි පුද්ගලයෙක්ම තමන්ගෙ රටේ රැඳිල සටන් කරන්න ඉදිරිපත් වෙන්නෙ ස්වේච්ඡාවෙනම බව කීම අතිශෝක්තියක් නොවේ.

ලෝක ක්‍රීඩා පිටියේ බැබළුනු ටෙනිස් තරු, මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, බොක්සිං ශූරයන්, පිහිණුම් සහ පාපන්දු තරු හමුදා ඇඳුම් ඇඳ ගෙන තුවක්ක්කු උස්ස ගෙන ඉන්න දර්ශන සමාජ මාධ්‍ය පුරාම දකින්න පුළුවන්. මේ අය තමන්ගෙ රට වෙනුවෙන් සටන් කරන්නෙ මුදල්, නිවාස, ඉඩම් සහ ව්‍යාපාර විදේශ රටවල තියෙද්දියි.

අපි කවුරුත් යුද්ධය අනුමත කරන අය නොවුණත් තමන්ගෙ රට මහා යුධ බලයකින් ආක්‍රමණය කරද්දි, මේ අයට බලා ඉන්න පුළුවන් කමක් තියේද කියල අහන්න වටිනව. ලෝකය පුරාම තරුණ පරපුර යුද්ධයට එරෙහිව පාරට බැහැල විරෝධතා දකවද්දි, යුද්ධයෙන්  ඇති වෙන්න බැටකාපු ශ්‍රී ලංකාවේ තරුණ පරපුරෙන් විශාල කොටසක් යුද්ධය අනුමත කරමින් හුරේ දැමීම දක්නට ලැබීම කණගාටුවට කරුණක් බව කිව යුතුයි.

මං හිතන්නෙ ඒ බොහෝ දෙනෙක් යුද්ධයට සහභාගිවීම තියා අඩුම තරමේ අනුරාධපුරෙන් හෝ හබරනින්වත්  ඉහළට ගිය අය  නෙවේ කියලයි. මේ කිසිවෙකුටත් වටහා ගැනීමට අපහසු ඇමරිකා එක්සත් ජනපදය හෝ බලවත් යුරෝපා රටක් යුද්ධයට එක් වීමෙන් ඇති විය හැකි න්‍යශ්ඨික යුද්ධයයි.

ව්ලැඩිමීර් පුටින් ජනාධිපති වරයා බලාපොරොත්තු වුණේ යුක්‍රේන යුද්ධයෙන් යුරෝපය බෙදීම වුණත් මේ ආක්‍රමනයෙන් වුණේ මුළු යුරෝපයම එකා වගේ එකමුතු වීමයි. යුරෝපා රටවල  ජනතාව යුක්‍රේන් සරණාගතයන්ට තමන්ගේ නිවෙස්වල ආධාර කිරීමෙන් පෙනී යන්නෙ රාජ්‍ය මට්ටමින් පමණක් නෙවේ සාමාන්‍ය වැසියන්ගේ මට්ටමින්ද මුළු යුරෝපයම එකට එකතු වෙලා තියෙන බවයි.

නිවෙස්වල, වාහනවල සහ සමරු ඉදිකිරීම්වල යුක්‍ර්‍රේන ධජයන් දකින්න තියෙන්නෙ හැමෝම එකම අදහසකට එකතු වෙලා වගේ. විශේෂම කාරණය තමා මේ රටවල ඉන්න රුසියානුවන් යුද්ධයට එරෙහිව පාරට බැහැපු පළමු පේලියේම සිටීමයි. ආර්ථික සම්බාධක පැනවීම මගින් රූබලයේ අගය වාර්ථා ගත ලෙස පහත වැටිල. රුසියාව පුරාම ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළ යනව. බැංකු සේවා දුර්වල වීමත් එක්ක "Apple Pay" සහ 'Google Pay" වැනි ගෙවීම් ක්‍රම රුසියාවේ තහනම් වීම මත රුසියානු ජනතාව විශාල අසීරුතාවන්ට මුහුණ දෙනව.

මේ ඔක්කොමත් මැද නීතියෙන් තහනම් කරල තිබුණත් දහස් ගණන් රුසියානුවන් වීදිවල උද්ඝෝෂණය කරනව යුද්ධය එපා අපේ අස්ල්වැසිය ආක්‍රමණය කරන්න එපා කියල. අවාසනාවකට මේ අයගෙන් වැඩි දෙනා පහර කෑමටත් හිර ගත වීමටත් ලක් වෙනවා. මීට කලින් උද්ඝෝෂණය කළ සහ ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයා විවේචනය කළ දාස් ගණනක් තවමත්  සිර ගෙවල් ඇතුළේ සිටිනවා. ජනමාධ්‍යවේදීන් සහ කලාකරුවන් දිනපතා හිංසනයට ලක් වුණත් ඒ අය තමන්ගෙ හඬ යටපත් කරන්න තවම සූදානම් නෑ.

"SWIF" මුදල් ගෙවීමේ ක්‍රමය අත් හිටුවීමත් එක්ක රුසියාව වැදුණු ආර්ථික පහර ඉතාම බලවත්. ඒ අයගෙ විදේශ සංචිතවල  අගය පහත වැටෙනවා.  මේ ආර්ථික පරිහානියෙන් ගොඩ යන්න රුසියාවට ලේසි නොවෙන්නේ මේ වෙද්දි ඒ අයට ඉතුරු වෙලා සිටින සැලකිය හැකි මට්ටමේ එකම ගණුදෙනු කරුවා චීනය පමණක් වීම නිසයි.

මේ ආක්‍රමණයට ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයා උසිගැන්වීම පිටු පස්සෙ චීනය සිටින බවයි විචාරකයන්ගේ අදහස. මොන තත්ත්වය යටතේ වුණත්  මේ තත්ත්වය චීනයට ඉතාම වාසි සහගතයි. රුසියානු ගෑස් යුරෝපය ප්‍රතික්ෂේප කිරීමත් එක්ක චීනය ඒ ගෑස් වලින් වැඩි ප්‍රමාණයක් මිලට ගන්න ඉදිරිපත් වෙනව. යුරෝපා වෙළෙඳ පොළට නිකුත් කරන්න නියමිතව තිබූ තිරිඟු පවා මිල දී ගන්න චීනය ඉදිරිපත් වුණා.

මේ හැම දේකින්ම අදහස් වෙන්නෙ මෙතෙක් කල් ස්වාධීනව හිටපු රුසියාවට මෙතනින් පස්සෙ චීනයේ තාලයට නටන්න වීම කියලයි පේන්න තියෙන්නෙ. රුසියාවට වෙන විසඳුමක් නෑ.  මේ ඔස්සේ අපිට වටහා ගන්න පුළුවන් චීනයේ පරිණත වගේම සූක්ෂම දේශපාලන පිළි වෙත. ඒ එක්කම චීනය දැන් රුසියාවට කියන්නෙ මොකක්ද..? "උත්සාහ ගන්න සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳගන්න...ඒ ක්‍රමය මේ වෙලාවෙ සුදුසු ක්‍රමය විය හැකියි."

රුසියානු බැංකු සහ වත්කම් යුරෝපයේ තහනම් කෙරෙනව. ඒ අයගෙ පෞද්ගලික ගුවන් යානා තහනම් වගේම ගුවන් පියාසර තහනම් කලාප පුළුල් වෙනව. රුසියානු මිතුරෙක් විදිහට සැලකෙන තුර්කිය පවා තමන්ගෙ මුහුදු සීමාව හරහා කළු මුහුදට ඇතුළු වීමට රුසියානු නෞකාවලට තහනම් කිරීම බලාපොරොත්තු නොවූ තත්ත්වයක් බව කිව යුතුයි.

නමුත් රුසියානු රූපවාහිනිය කියන්නෙ යුක්‍රේනයේ යම් ආරක්ෂක මැදිහත් වීම් සිදු වෙන බව විනා යුද්ධයක් ඇති බව නෙවෙයි. රුසියාවට පක්ෂපාත ශ්‍රී ලාංකික වාර්තා කරුවන් වගේම රුසියානු ජනමාධ්‍යයත් යුද්ධය, ගැටුම් සහ ආක්‍රමණ වගේ වචන පාවිච්චි කිරීමෙන් වළකිනවා.

අනෙක් වැදගත්ම කරුණය තමා රුසියානු චරපුරුෂයන් පතුරු වන බොරු ප්‍රවෘත්ති හෙවත් "Fake News"... "Facebook සහ "Twitter" වැනි සේවා රුසියාවේ දැඩිව පාලනය වෙන අතරේ සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම මගින් යුක්‍ර්‍රේන වැසියන් වගේම ලොව පුරාම සාමාන්‍ය ජනතාව මුලා කිරීම මේ දවස්වල දකින්න පුළුවන්. "යුක්‍රේනුවන්, යුදෙව් විරෝධී නාසීන් සහ යුක්‍රේන් ජනාධිපති ඇමරිකාවට පලා ගියා" සහ "අගනුවර යටත් වුණා" වගේ බොරු ප්‍රවෘත්ති බොහොමයක් සමාජ මාධ්‍ය පුරා පැතිරෙනවා.

යුරෝපය පුරාම යුධ ආධාර යුක්‍රරේනයට ලැබෙද්දි, ෆින්ලන්ත සහ ස්වීඩන දේශ සීමා තර කෙරෙන්නේ ඒ රටවල ආරක්ෂක හමුදා වගේම බ්‍රිතාන්‍ය-ප්‍රංශ සෙබළුන්ගේ ආධාරත් එක්කයි. රුමේනියාව, බල්ගේරියාව, මෝල්ඩෝව වගේ රටවල දේශ සීමාවන්ට යුරෝපයේ විවිධ රටවල ආරක්ෂක හමුදා මගින් බල ඇණි සපයද්දි යූරෝ මිලියන ගණනක ආරක්ෂක ආධාර ඒ රටවලට ලැබීමත් දකින්න පුළුවන්. 

පින්ලන්තයට සහ ස්වීඩනයට ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයා අනතුරු අඟවන්නේ නේටෝ සමග එක් නොවන ලෙස සහ ආරක්ෂාව තර කිරීමෙන් වළකින ලෙසයි. මේ දෙරටේම පිළිතුර වුණේ "අපේ රටවල ස්වාධීනත්වයට අත දාන්න එපා. මේ වගේ තර්ජන අපි මීට කලින් ඇහුවා. අපේ රටවල තීරණ තියෙන්නෙ අප අතේ මිස ඔබගේ වචනවල නෙවේ" කියන එකයි.

ඉතාලිය, මහ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ සහ ස්වීඩන් වගේ යුරෝපා රටවල් ගණනාවක පදිංචිව ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් සිටිනවා. යුරෝපයේ රැකියා කරන පිරිස වගේම ස්ථිර පදිංචි පිරිසත් එක්ක මේ සංඛ්‍යාව තුන් ලක්ෂ පනස්දාහක් විතර වෙනවා. මේ ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආදායම ඉතාම වැදගත් වනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු පරිහානියට පත්වී ඇති වෙලාවක එම ආදායම ඉතාම වැදගත් වනවා.

මේ පිරිසෙන් බොහෝ දෙනා දන්නව යුරෝපීයයන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සලකන ආකාරය සහ වඩා හොඳ ජීවන තත්ත්වයකට උපකාර කරන ආකාරය. ඒ නිසාම ඒ පිරිස යුරෝපා මිනිසුන්ට සහාය දැක්වීම බටහිර ගැතිකමක් ලෙස දකින්න අපහසුයි. විශේෂයෙන්ම බලවත් රාජ්‍යයක් විසින් තමන්ගේ අසල්වැසියාව දරුණු විදිහට ආක්‍රමණය කළ අවස්ථාවක මේ කිසිම කෙනෙකුට ආක්‍රමණිකයාගේ පැත්ත ගැනීම සාධාරණද කියල අහන්න වටිනවා. අනිත් කාරණේ මේ යුද්ධය සමාජවාදය සහ ධනවාදය අතර සටනක් නෙවේ. මේ තියෙන්නෙ ධනවාදී කඳවුරු දෙකක සටනක්.

ශ්‍රී ලංකාවෙ පිරිසක් කියනව බටහිර රටවල් ශ්‍රී ලංකාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා ඉදිරිපත්  කරද්දි අපේ රටට  පිහිට වුණේ රුසියාව කියල. ඒක අර්ධ සත්‍යයක්. මේ රටවල් විරුද්ධ වෙන්නෙ දුර්වල සහ මෝඩ තීරණ ගත් පාලකයන්ටද නැති නම් ශ්‍රී ලංකාවෙ සාමාන්‍ය ජනතාවටද..? 

මේ අවස්ථාවෙදි රුසියාව ශ්‍රී ලංකාවට පක්ෂ වුණා නොවේ...ඇමරිකානු යෝජනාවට විරුද්ධ වුණා පමණයි. මේ ආකරයටමයි රුසියාව සහ චීනය තලෙයිබාන්වරුන්ට පක්ෂ වන්නේ සහ තලෙයිබාන් ආණ්ඩුව ආරක්ෂා කරන්නේ. අනිත් කාරණය යුධ අපරාධ මේ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවල ඉතාම සුළු කොටසක් විතරයි.

මේ චෝදනාවල තියෙන ජනමාධ්‍යවේදීන් මර්දනය, මරා දැමීම, අතුරුදන් කිරීම, පවුල් අතර දේශපාලන බලය ඒකරාශී වීම,  සුදුසුකම් රහිත පුද්ගලයන්ට තනතුරු පිරිනැමීම, මුදල් වංචා, දූෂණ, මැති ඇමතිවරුන්ට ලැබෙන අසීමිත වරප්‍රසාද සහ වගකීම් පැහැර හැරීම වගේ චෝදනා විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකාවේ පක්ෂපාතී ජන මාධ්‍ය සහ දේශපාලකයින් ප්‍රසිද්ධ කරන්නෙ යුද්ධයේදී කළ මානව හිමිකම් කඩවීම් ගැන පමණයි. තවත් වැදගත්ම කරුණක් තමයි යුද්ධයේදී වුණත් වැරදි තීරණ ගෙන සෙබළුන් හෝ කණිෂ්ඨ නිලධාරීන් ඊට පොළඹ වන්නෙ දේශපාලකයින් සහ සමහර ජ්‍යේශ්ඨ නිලධාරීන් ඔවුන්ගේ පෞද්ගලික වාසි තකා වීම. 

වැරැද්දක් කළා නම් ඊට දඬුවම් නොලබා මුළු රටක්ම මුළු ජාතියක්ම තමන්ගේ වරදවල්  සඳහා වන්දි ගෙවීමට බල කිරීම කොයි තරම් සදාචාරාත්මකද..? මේ හැඟීම ජාති ආලය විදිහට දැකිය හැකිද..? යුධ විරුවන් ආරක්ෂා කිරීම මුවාවෙන් ආරක්ෂා කරන්නේ  දුෂිත දේශපාලකයින් බව නොදන්නා සාමාන්‍ය ජනතාව වෛර කරන්නෙ බටහිර ජාතීන්ටයි.

යුද්ධයට අපි හැමෝම විරුද්ධ විය යුතුයි. තමන්ගෙ රටට ආදරේ කරන  යුක්‍රේන් වැසියන් ලේසියෙන් ‍යටත් වෙන බවක් පේන්නෙ නෑ. ඒ වගේම ලෝක පොලිස්කාරයා වෙන්න පොර කන සටනේ තමන්ගෙ තැන අහිමි වූ ව්ලැඩිමීර් පුටින් මහත්තයා ප්‍රමුඛ රුසියානුවන් ආක්‍රමණය නවත්තල ආපහු තමන්ගෙ රටට යන බව පේනෙන්ත් නැහැ.

මේ දෙපිරිස් අතර බෙලරුසියා දේශ සීමා අසල සාකච්ඡා ඇති වුණා. යුක්‍ර්‍රේන පාර්ශවයෙන් සටන් විරාමයක් ඉල්ලා සිටියත් ව්ලැඩිමීර් පුටින් පාලනය කියන්නෙ වහාම අවි බිම තබපන් එවිට සටන් විරාමය ලැබේවි කියලයි. තවත් කාරණයක් තමයි රුසියානු ජනාධිපතිවරයා විසින් සෘජුවම මෙහෙය වන වැග්නර් ඛාන්ඩයේ කුලී භට පි‍රිස් යුක්‍රේනයේ ප්‍රධාන නගරවල ස්ථාන ගත වීම.

වැග්නර් ඉතාම දරුණු කුලී හමුදාවක්. මේ පිරිස නීතියට පටහැනියි. නමුත් කොයිම ස්ථානයකවත් ලියාපදිංචි වෙලා නෑ. නවීන ආයුධ, යුධ වාහන වගේම ගුවන් යානාවලින්ද සන්නද්ධ මේ අය ලෝකය පුරාම වගේ යුක්‍රේනය ඇතුළෙත් අපිරිසුඳු මෙහෙයුම්, මරා දැමීම්, වස දීම් සහ වද හිංසා පැමිණ වීම් සිදු කරමින් සිටිනවා.

සමහර වාර්තා සඳහන් කරන ආකාරයට වැග්නර් සාමාජිකයන් හය දෙනෙක් කියෙව් අහනුවරට ඇතුළු වෙලා තියෙන්නේ  Volodymyr Zelenskyy ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ එකම අභිලාශයෙනුයි. මේ සටන තුන් වන ලෝක යුද්ධයක ආරම්භය නොවේවා කියල තමයි අපි ප්‍රාර්ථනා කළ යුත්තේ. හේතුව එහෙම වුණොත් න්‍යශ්ඨික අවි ප්‍රහාරත් එක්ක මේ මිනිසගේ අවසාන යුද්ධය විය හැකි නිසයි.

Advertiesment