74 වැනි නිදහස් සමරුව මෙතෙක් සිදු වූ සියලු නිදහස් දින සැමරුම් අතරින් නිදහස ගැන ප්‍රබල සමාජ කථිකාවක් අසන්නට ලැබුණ නිදහස් දිනය ලෙස සැළකිය හැකිය. මට ඒ දිනයේදී සමාජ මාධ්‍ය ස්වරූපයෙන් සහ වෙනත් ආකාරවලින් කියවන්නට සහ අසන්නට ලැබුණ දේවලින් පෙනී ගියේ ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජය කල්පනා කරන විදිය මීට වසර දෙකකට පමණ පෙර සමාජය කල්පනා කළ විදියට වඩා බොහෝ වෙනස් සහ දියුණු බවය.
එහි තේරුම ශ්‍රී ලංකාවේ අර්බුදය මහජනයා මත විශාල පීඩනයක් ඇති කිරීමට හේතුවී තිබියදීත් ඔවුන්ගේ දේශපාලන පරිකල්පනයද දියුණු කිරීමට හේතුවී තිබෙන බවය. සමාජ පරිකල්පනයේ ඇති වී තිබෙන වෙනස්කම් අතර වර්ග සහ ආගම් භේද වාදයට තිබුණ පිළි ගැනීම බිඳ වැටීම ප්‍රධානය. තනි සිංහල බෞද්ධ ස්වරූපයකින් පෙනී සිටි සියලු නායකයින් අවසාන විග්‍රහයේදී තමන් රැගෙන විත් තිබෙන්නේ ස්වර්ග රාජ්‍යයකට නොව නරකම තත්ත්වයේ නරකාදියකට බව මහා ජාතිය ලෙස සැලකිය හැකි සිංහල බෞද්ධ ජනයාද පළමු වරට තේරුම් ගැනීමට සමත් වී තිබේ. එම තත්ත්වයද පුපුරන සුළු තත්ත්වයක තිබූ වාර්ගික සහ ආගමික ආවේගයන්ගේ චණ්ඩ බව තුනී කොට සහනශීලි ආකල්ප වර්ධනය කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය.
ශ්‍රී ලංකාවේ අර්බුදය සමග පොර බදන විට ඒ කෙරෙහි බලපා තිබෙන මහා සාධකය හෙවත් අර්බුදය කෙරෙහි බලපා තිබෙන සියලු හේතු අතර තිබෙන ප්‍රධාන හේතුව හඳුනා ගැනීමද ඉතා වැදගත් ය. නිදහසේ සිටම අප යන ගමනේ නිසි පිළිවෙළක් නොතිබුණි. අපට නිදහස ලැබුණේ ඒ සඳහා කෙරෙන සටනක් නැතිව නිසා ජාතික සමගිය සහ ඒකාග්‍රතාවක් සඳහා ශක්තිමත් පදනමක් ගොඩ නැගී නොතිබුණා සේම ඒ නිසාම පරිණත නායකයින් සමග ශක්තිමත් ජාතික දෘෂටියක්ද අපට ලැබී තිබුණේ නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කිරීමේ වැදගත්කම ගැන හරි අවබෝධයක් අපේ නායකයින්‍ට නොතිබුණි. ඒ සමග අපට ලැබෙන ආදයමේ තරමට ජීවත් වීමේ වැදගත්කම ගැනද අපේ නායකයින්ට අවබෝධයක් නොතිබුණි. 1970 මැද භාගය වන විට සේරුවක් නොමිලයේත් තවත් සේරුවක් අඩු මිලකටත් ලබා දෙන සහල් පිහිටාධාරය වෙනුවෙන් කරන ලද වියදම අධ්‍යාපනයට කරන ලද වියදමටත් වඩා විශාල විය. ඒ වන විට වාර්ගික සමගියද විශාල ප්‍රමාණයකට බිඳ වැටුණු තත්ත්වයට පත්ව තිබුණ අතර ආණ්ඩු ක්‍රමයද අවුල් කර ගෙන තිබුණි. ඒ සියලු අඩු පාඩුකම් තිබියදීත් රටේ පාලකයන් රටේ සාරය උරා බොන ලේ මාපිලුන් බවට පත්ව සිටියේ නැත. සුළු සුළු දූෂිත දේවල් සිදු වූවා විය හැකි වුවත් මහා පරිමාණයේ වස්තු කොල්ලයක් සිදු නොවීය.
රාජ්‍යය පාලනය රට පාලනය කරනවාට අතිරේකව රටේ වස්තුව කොල්ල කන ක්‍රමයක් බවට පත් වන්නේ 1978 ව්‍යවස්ථාව ඇති කර ගනිමින් ජනාධිපති නීතියට ඉහළින් සිටින කෙනෙකුගේ තත්ත්වයට පත් කර ගැනීමෙන් පසුවය. රට මහා විනාශයකට පත් කිරීමට හේතු වන බිහිසුණු කොල්ලකාරි ක්‍රමය ගොඩනැගෙමින් තිබුණේ සමහර හොඳ දේවල් ද සිදු වන අතර වාරයේය.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කරන්නට ඉඩ දෙන්නේම නැත. එවැනි ක්‍රියාවලියක් සැලකෙනුයේ මන්ත්‍රීවරයා ඔහු හොබ වන තනතුරින් ඉවත් කොට ඔහුගේ ප්‍රජා අයිතියද අහිමි කළ යුතු තරමේ බරපතළ වරදක් ලෙසය. එම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී හැම රටකම පවතින තත්ත්වය වන අතර අපේ රටේ පැවති නීතිය අනුවද මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීම තනතුර අහිමි කිරීමට හේතු වන බරපතළ වරදක් ලෙස සැලකුණි.
රජය සමග ව්‍යාපාර කිරීම යන්නෙන් අදහස් වූයේ රජයේ දේපළ මිල දී ගැනීම, බදු ගැනීම සහ ප්‍රදානයන් ලෙස ලැබීම හෝ රජයට දේපළ විකිණීම හෝ බදු දීම, රජයේ සැපයුම්කරුවන් හෝ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කිරීම සහ රජයේ බලපත්‍ර ලාභින් ලෙස ක්‍රියා කිරීමය. එසේ කිරීම සොල්බරි ව්‍යවස්ථාවේ එනම් 1946 රාජාඥාවේ 13 (3) (ඇ) මගින් නුසුදුසු කමක් ලෙස පැහැදිලි කර තිබේ. එම තත්ත්වය 1972 ව්‍යවස්ථාවේ 70 (1) (ඈ) වගන්තියෙන්ද, 1978 ව්‍යවස්ථාවේ 91 (1) (ඉ) වගන්තියෙන්ද විස්තර කර තිබෙන්නේ එක සමාන ලෙසය.
ඒ මෙසේය, "රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාව විසින් නැත හොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තාවූ යම් කිසි ගිවිසුමකට යම් කිසි තැනැත්තකුගේ යම් අකාරයක සම්බන්ධතාවයක් තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාරලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ඡන්දය දීමට හෝ නුසුදුසු කමක් යැයි පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලැබේද, එවැනි ගිවිසුමකට හෝ ඒ අකාරයේ සම්බන්ධතාවක් ඇති තැනැත්තෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු වශයෙන් තෝරා පත් කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය."
එසේම එම ව්‍යවස්ථා දෙකේම එනම් 72 ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තියෙහි සහ 78 ව්‍යවස්ථාවේ 101 (2) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ "එවැනි කාරණා සදහා පාර්ලිමේන්තුව විසින් නීතියෙන් විධි විධාන යොදන තුරු කලින් කල සංශෝධිත 1946 ශ්‍රී ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ්‍ය සභා ආඥාව අවශ්‍ය වෙනස් කිරීම් සහිතව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට යටත්ව අදාළ වන්නේය" යනුවෙනි.
මේ විෂයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන නඩු තීන්දු දෙකක තීරණයන් අනුවද මේ විෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරන අපේක්ෂකයින්ට අදාළ වන්නේ සොල්බරි ව්‍යවස්ථාවේ එන විධි විධානයන් ය. පාර්ලිමේන්තුව තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් ඍජු හෝ අනියම් ලෙස රජය සමග ව්‍යාපාර කරන තත්ත්වයක නම් එම පාර්ලිමේන්තුව සැලකිය යුත්තේ නීති විරෝධි පාර්ලිමේන්තුවක් ලෙසය.
ජනාධිපති සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකට එකතුවී රටේ පොදු වස්තුව කොල්ල කන ක්‍රමයක් ගොඩනැගුනේ කෙසේද කියන කාරණයද සැකවින් සළකා බැලීම වැදගත් ය. 78 ව්‍යවස්ථාවෙන් ජනාධිපති නීතියට ඉහළින් සිටින තත්ත්වයක තැබීය. ඒ සමග ඕනෑම වරදක් කොට නීතියට හසු නොවීමේ හැකියාව ජනාධිපතිට ලැබුණේය. එම විශේෂ තත්ත්වය මත ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහජන නියෝජිතයන්ට රජය සමග ව්‍යාපාර කිරීම වැළකීම සදහා ඇති කර තිබෙන නීනි ජනාධිපති විසින්ම කිහිප වරක් උල්ලංඝනය කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ලවා එම නීතිය උල්ලංඝනය කර වන තත්ත්වයකට ඔවුන් පත් කළේ ඉන් පසුවය.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ධූරයට පත්වී ටික කලකට පසුව ඔහුට නාත්තණ්ඩිය මැතිවරණ කොට්ඨාශයට අයත් මාදම්පේ ප්‍රදේශයේ තිබූ අක්කර 50 ක නිසරු පොල් ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ලබා දී එම මැතිවරණ කොට්ඨාශයේ ම එම කොමිසමට තිබූ සරුසාර පොල්වත්තක් වූ කීන කැලේ වත්තෙන් අක්කර 50ක් තමන් වෙත ලබා ගත්තේය. එවැන්නක් ජනාධිපතිවරයෙකු නොකළ යුතු අමන ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ විෂයට අදාළව ජනාධිපති විසින් කරන ලද තවත් අවලස්සන ගනුදෙනුවක් මෙසේය.
1981 වසරේදී දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ජනාධිපති ජේ ආර් ජයවර්ධන වෙත ලියා එවන ලිපියක් මගින් ඔහු සහ ඔහුගේ ආර්‍යාවට අයත් ව්‍යාපාරවලින් රජයට අය විය යුතු හිඟ බදු මුදල් ගෙවන ලෙස ඉල්ලීමක් කළේය. හිඟ බදු මුදල් ගෙවනවා වෙනුවට ජනාධිපති කළේ තමන් සහ තම ආර්‍යාවගේ ඇවෑමෙන් පසු තමන් සහ තම ආර්‍යාව පදිංචිවී සිටින කොලඹ වෝඩ් පෙදෙසේ අංක 66 දරන ස්ථානයේ තිබෙන නිවස සහ ඉඩමේ අයිතිය රජයට පවරා දෙන බව ආදයම් බදු කොමසාරිස් වෙත දැනුම් දීමය.
ඒ සඳහා එළිනා ජයවර්ධනට අවස්ථා තුනකදී එකිනෙකට වෙනස් තෑගි ඔප්පු තුනක්ම ලියන්නට සිදු විය. ජෝන් විල්සන් නොතාරිස් සමාගම 1993 ජුනි 21 වනදා ලියන ලද අවසාන ඔප්පුවෙහි (ඔප්පු අංකය 7346) සඳහන් වන්නේ තමන් සහ තම ස්වාමි පුරුෂයාගෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අය විය යුතු හිඟ බදු මුදල් වෙනුවෙන් එම නිවස සහ ඉඩම ශ්‍රී ලංකා ආණ්ඩුව තම පුරුෂයාගේ මරණයෙන් පසුව එම නිවස සහ ඉඩම ජේ.ආර්. ජයවධන කේන්ද්‍රයට ලබා දිය යුතු බවය. ජනාධිපති ජේ ආර් ජයවර්ධන රජයට අය විය යුතු බදු මුදල් ගෙවන ලද්දේ ඒ ආකාරයටය.
ජයවර්ධන කේන්ද්‍රයට ඉඩම සහ ගොඩනැගිල්ල ලබා ගත් ආකාරයද මහජන නියෝජිතයින් රජය සමග ව්‍යාපාර කිරීම පිළිබදව පවත්නා මූලධර්මවලට මුළුමනින්ම පටහැනිය. එම කේන්ද්‍රය සඳහා පාවිච්චි කෙරෙන "වෛජයන්ත" නිවස 1930 ගණන්වල දී ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ පියා ඉදි කළ නිවසකි. ජයවර්ධන පවුලේ මහ ගෙදර ලෙස සැලකුනේ එම නිවසයි.
එම නිවස 1958 දී මහජන චීනයේ තානාපති කාර්‍යාලය පිහිටු වීම සදහා චීන රජයට විකුණන ලදී. ඉන්පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති වීමෙන් පසු තමන්ගේ මහගෙදර සහ ඉඩම නැවත ලබා ගැනීමට ඔහුට අවශ්‍ය වී චීන තානාපති කාර්‍යාලය ගොඩනගා ගැනීමට වඩා විශාල සහ හොඳ තැනකින් රජයේ විශාල ඉඩමක් ලබා දී පරණ මහ ගෙදර රජයේ වියදමෙන් "ජයවර්ධන කේන්ද්‍රය" බවට පත් කර ගත්තේ ය.
සිය මන්ත්‍රීවරුන්ට සහ ගජ මිතුරන්ට බෙදා දීම සඳහා ජනාධිපති ජේ ආර් ජයවර්ධනට ඊට පෙර පැවති සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ලොකු ඉඩම් සංචිතයක් ලැබී තිබුණි. 71 කැරැල්ලෙන් පසුව ඉඩම් හිමිකම සීමා කිරීම පිණිස සීමා නීති ඇති කොට එම සීමාවන්ට ඉහළින් තිබෙන ඉඩම් ආණ්ඩුව අත් පත් කර ගත්තේය. ඒ සමග විදේශ සමාගම් සතු ඉඩම්ද ජනසතු කළේය. ඒ ආකාරයෙන් ආණ්ඩුව හිමි කර ගෙන තිබුණ ඉඩම් ප්‍රමාණය අක්කර මිලියනයකට වඩා වැඩි වූ අතර ජනාධිපති ජේ ආර් ජයවර්ධන නාමික මිලකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට සහ ගජ මිතුරන්ට ලබා දෙමින් තිබුණේ එම ඉඩම් ය.
මේ වැඩ සටහන නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ලොකු පිරිසක් ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පත් වූහ. ඊට අතිරේකව ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කරන්නට සහ රජයේ බලපත්‍ර ලාභී ව්‍යාපාරිකයින් ලෙස ක්‍රියා කරන්නට ඉඩ දුන්නේය. මේ සියල්ල ජනාධිපති ජේ ආර් ජයවර්ධන කරන ලද්දේ රටේ වස්තුව කොල්ල කන ක්‍රමයක් ඇති කිරීමේ දුෂ්ඨ අරමුණින් යැයි මම නොකියමි. එහෙත් තමන් කරන දේ නීතියටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ටත් පටහැනි බව ඔහු දැන සිටියේය. පාර්ලිමේන්තුවේ බලතල පැහැර ගැනීම නිසා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් අතර අතෘප්ති සහගත හැගීමක් ඇතිවී තිබුණේ නම් එම හැගීම නැති කිරීමේ අරමුණින් එසේ කළා විය හැකිය. එසේත් නැති නම් තම මන්ත්‍රී කණ්ඩායම ධනවත් වන තරමට ඔවුන් ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වනු ඇතැයි කල්පනා කළා විය හැකිය.
එසේ ජනාධිපති ජේ ආර් ජයවර්ධන හඳුන්වා දෙන ලද එම දූෂිත ක්‍රමයට ඉන්පසු බලයට එන ජනාධිපතිවරුන්ද තව තව අලුත් අංග එකතු කළේය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග මත්පැන් බලපත්‍ර 1500 ක් පමණ බෙදා දුන්නේ සිය මන්ත්‍රී කණ්ඩායම මගිනි. ඒ නිසා ඇගේ මන්ත්‍රී කණ්ඩායමේ ලොකු පිරිසක් තැබෑරුම් කරුවන් බවට පත් විය. බලපත්‍ර තුන හතරක් හිමි කර ගත් මන්ත්‍රීවරුන්ද ඔවුන් අතර සිටියේය. මෙසේ ඒ ආකාරයට ගොඩ නැගෙමින් තිබුණ එම දූෂිත ක්‍රමය ජනාධිපති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එකට කල්ලි ගැසී රටේ ධනය කොල්ල කන දුෂ්ඨ කොල්ල ක්‍රමයක් බවට විකාශනය විය. එම දුෂ්ට ක්‍රමය සමස්ථ රාජ්‍යයද එහි ආයතන ක්‍රමයද උපරිම මට්ටමකට දූෂිත කිරීමට හේතු විය.
ජනාධිපතිද, ජනාධිපතිගේ ප්‍රධාන නිලධාරින්ද ඇමතිවරුන් සහ ඔවුන්ගේ නිලධාරින්ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ද අයථා ලෙස ධනය උපයන්නන් බවට පත් වීම නිසා රටේ පොදු යහපත වෙනුවෙන් නොව කොල්ලකාරි අරමුණු වෙනුවෙන් ක්‍රියා කරන දූෂණයෙන් ඉහවහා ගිය ආයතන ක්‍රම බවට පත් කිරීමට හේතු විය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල සැබෑ අරමුණ වුයේ රට සංවර්ධනය කිරීම නොව එන ආයෝජන ධනය කොල්ල කෑමය. වාණිජ පදනමකින් අධික පොලියකට ලබා ගන්නා ණය කෙරෙහි පවා මේ කොල්ලය බලපෑවේය.
පාර්ලිමේන්තුවේ ඇතිවී තිබුණ කුණු වීම විශේෂයෙන් මන්ත්‍රීවරුන් ලොකු පිරිසක් නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන තත්ත්වයකට පාර්ලිමේන්තුව පත්ව තිබීම නිසා පාර්ලිමේන්තුව කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ සුජාත භාවය අහිමි කර ගත් සහ නීති විරෝධි තත්ත්වයකට පත්ව තිබුණි. සොල්බරි ව්‍යවස්ථාවේ 13 (3) (ඇ) අනුව රජය සමග ව්‍යාපාර කරන පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කළ නොහැකි අතර පාරිලිමේතුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය දීමටද බැරිය. පාර්ලිමේන්තුව කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ තිබී ඇත්තේ නීති විරෝධි තත්ත්වයකය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් නීතියට පටහැනිව ව්‍යාපාර කරන බව මන්ත්‍රීවරුන් දැන සිටියේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල පක්ෂ නායකයින් ද දැන සිටියේය. කථා නායක වරුන්ද දැන සිටියේය. කවර හෝ කථා නායකවරයෙකුට අවශ්‍ය වී නම් එම තත්ත්වය සොයා බලන තැනකට යමින් එම අසෝබන තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමට හේතු වන මුල පිරීමක් කිරීමේ හැකියාව තිබුණි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂයකට අවශ්‍ය වී නම් ඒ ගැන ඉදිරිපත් කරන යෝජනාවක් මගින් එම අසෝබන තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමට හේතු වන කථිකාවක් ආරම්භ කිරීමේ හැකියාව තිබුණි. තනි මන්ත්‍රීවරයෙකුට වුවද ඒ ගැන ඉදිරිපත් කරන යෝජනාවක් මගින් වෙනසක් ඇති කිරීමට හේතු වන පසු බිමක් ඇති කළ හැකි වන්නට ඉඩ තිබුනණි. ඒ කිසිවෙක් තමන් වෙත පැවරී තිබුණ ඒ යුතුකම ඉටු නොකළේය. මොනයම් හේතුවක් නිසා හෝ එම විනාශ කාරි වරද වසන් කර ගෙන සිටීමට ඒ සියලු දෙනාට අවශ්‍ය වී තිබෙන බව පෙනෙන්නට තිබුණි.
අප කිහිප දෙනෙකු ඒ ගැන කථා නායක දැනුවත් කොට (2019 මැයි වලදී) පරික්ෂණයක් ආරම්භ කරවා ගැනීමට උත්සහ කළ ද කථා නායකවරයා එම බර කරට ගැනීමට කැමති වූයේ නැත. ඉන්පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක් ලවා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරවා ගැනීමට උත්සහා කළ ද එම පක්ෂයද එම යෝජනාවෙන් වැළකී මග හරින පිළිවෙතක් අනුගමනය කළේය. ඉන් පසු අප කිසියම් ලොකු පිරිසක් එකතුවී පාර්ලිමේන්තුවේ රජ කරන නීති විරෝධි තත්ත්වය පැහැදිලි කර දෙමින් පාර්ලිමේන්තුවේ රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණයක් සදහා මග පෙන්වීම් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊට ඉදිරිපත් කරන පෙත්සමක් මගින් ඉල්ලා සිටියෙමු.
ඊට ද යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඉදිරියේ රට ලොකු බිඳ වැටීමකට ගමන් ගනිමින් තිබෙන බව අපට පෙනෙන්ට තිබුණි. ඒ ගැන අපි කථා කළෙමු. බුබුළ පුපුරන්නට පෙර ශෛල්‍ය කර්මයකට යොමු කරවා ගැනීම අපේ අරමුණ වූ අතර එසේ වී නම් රටේ තත්ත්වය මේ තරම් විනාශකාරි තත්ත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි. රටේ ඇතිවී තිබෙන මෙම මහා විනාශයට විධායකයද, ව්‍යවස්ථාදායකද, හරි හරියට වග කිව යුතුය. විසදුමක් සදහා ක්‍රියාකාරී මහජන මැදිහත් වීමක් අවශ්‍ය වී තිබෙන්නේ ඒ නිසාය.
Lanka Newsweek © 2024