මරු සිරා යනු අපේ රටේ කවුරුත් දන්නා හඳුනන චරිතයකි. මිනී මැරීම් දෙක තුනක් නිසා ඔහුට එල්ලුම්ගස් යාමට සිදු වූ අතර ඔහුගේ චරිතය අළලා චිත්‍රපටයක් ද නිර්මාණය විය. මිනී මරුම්වලට සම්බන්ධ පුද්ගලයන්ට අපේ රටේ මහත් ප්‍රසිද්ධියක් ලැබෙන්නේය. එහෙත් ඔවුන්ගේ දූ පුතුන් අප්‍රසිද්ධියේම සමාජයෙන් කොන් වී ජීවත් වන්නේය. එබැවින් අනුරාධපුරේ මරු සිරාගේ දූ දරුවන්ට සිදුවූ දේ ගැන ප්‍රසිද්ධියක් නැත. මේ ලිපියෙන් උත්සාහ දරන්නේ අනුරාධපුරේ මරු සිරාගේ පුතා ගැන ලිවීමට නොව මිනිසුන් දස දහස් ගණනක් මරා දැමීමට අණ දුන් ශ්‍රී ලංකාවේ අංක එකේ මරු සිරාගේ පුත් උවිඳු විජේවීරගේ කාර්යභාරය විමසා බැලීමටය.
උලපනේ වතු බංගලාවකට වී කළුකුන් මාංස අනුභව කරමින් සහ රට මත්පැන් බොමින් සුඛෝපභෝගී ජීවිතයක් ගෙවමින්ද, අවුරුද්දට එක් දරුවා බැගින් තනා සැපවත් කුටුම්භයක් පෝෂණයක් කරමින්ද, ගෙදරට "Tuition" ගුරුවරුන් ගෙන්වා දරුවන්ට අධාපනය ලබා දෙමින්ද, එහෙත් රටේ අනෙකුත් දරුවන්ට 1988-1990 දක්වා අවුරුදු තුනක් පාසල් ජීවිතය අහිමි කරමින්ද, සරසවි සිසුන්ගේ මනස ව්‍යාකූල කරමින්ද, තුන්ඩු කෑලිවලින් ඇඳිරි නීති පනවමින්ද, ජන ජීවිතය කඩාකප්පල් කරමින්ද, අහිංසක මිනිසුන් දස දහස් ගණන් මැරීමට අණ දෙමින්ද සිටි පෝරිසාදයෙකු වන වාමාංශික දේශපාලන පක්ෂයක නායකයෙකු එකල විය.
ඒ වෙන කිසිවෙකු නොව පටබැඳිගේ දොන් ජිනදාස නන්දසිරි හෙවත් දේශපාලනයට ආකර්ෂණය වන පරිදි රෝහණ විජේවීර ලෙස සිය නම වෙනස් කර ගත් අපේ රටේ අහිංසක නිරායුධ මිනිසුන් දස දහස් ගණනක් මරා දැමීමට අණ දුන් ශ්‍රී ලංකාවේ අංක එකේ මරු සිරාය. ඔහුට සැපට වැඩුණු දරුවන් දුසිමක් පමණ විය. දරුවන් හැදීම ඔහුගේ අයිතියකි. අපේ රටේ අනෙක් මරු සිරා වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පවුල මැරුම් කද්දී, රෝහණ විජේවීරගේ බිරිඳ සහ දරුවන් මහජන වියදමින් නාවික කඳවුරක සුරක්ෂිතව සුවසේ ජීවත් වූහ.
රෝහණ විජේවීර මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගත්තද ඔහුගේ පවුලට ජීවත් වීමේ අයිතිය හිමි වූයේ ඒ අයුරිනි. එසේ දිවි රැක දීමට රජය ක්‍රියා කළේ ඔවුන් සමාජයේ ජීවත් වූයේ නම් එම පවුලේ කෑලිවත් සොයා ගැනීමට නොහැකි වන බව රජය දැන සිටි නිසා විය යුතුය. රෝහණ විජේවීරගේ මිනී මැරුම්වලට දරුවන් වග කිව යුතු නැතත් සමාජය ඔවුන් දෙස බලන්නේ පහන් සිතකින් නොවේ. එසේ දිවි රැක ගත් ශ්‍රී ලංකාවේ අංක එකේ මරු සිරාගේ පවුලේ පුතෙකු සිටී. හේ උවිඳු වෙජේවීර නම් තරුණයෙකි.
ඔහුගේ රුව දකින විට මහත් කණගාටුවක් ඇති වේ. ඒ මක්නිසාද යත් හේ සිය පෝරිසාද පියාගේ වේශය අනුකරණය කරන බැවිනි. එසේ කරනුයේ "පුංචි විජේවීර" කෙනෙක් ලෙස පෙනී සිටීමින් සිය පෝරිසාද පියාට යළි පණ දීමටය. රෝහණ විජේවීරට පමණක් නොව එම වේශයට පවා රටේ මහජනයා ද්වේශ කරන බව තරුණ උවිඳු විජේවීරට නොතේරේ. එබැවින් ඔහු රැවුල වවා, තොප්පි දමා, කණ්ණාඩි කුට්ටමක් පැළඳ, අනුකාරක ඇඳුමක් ඇඳ "පුංචි විජේවීර" කෙනෙක් ලෙස පෙනී සිටී.
ඔහු දකින විට හැඟෙන්නේ දස දහස් ගණනක් මිනිසුන් මරා දැමීමට අණ දුන් රෝහණ විජේවීරගේ අවතාරයක් නැවතත් මිනී මැරීමට පැමිණ සිටීද යන්නයි. සිය වේශයෙන් සමාජය භීතියට පත් වන බවක් හෝ සිය පිය මරු සිරාගෙන් මැරුම් කෑ පවුල්වලින් තර්ජන ඇතිවේ යැයි හෝ සමාජය පිළිකුල් කරනු ඇතැයි හෝ ඔහුට නොතේරේ. ඔහු ගැන “පව්” කියා හිතෙන තරමට ඔහුගේ පියාගේ කෙරුවාව ගැන ඔහුට නොතේරේ.
ජනතා විමුක්ති පෙරමුණු කාරයෝවත් පෙරටුගාමින්වත් ඔහු භාර ගෙන නැත. එම දෙපිරිසම රෝහණ විජේවීරගේ පහනෙන් දේශපාලනය කරන්නන් වුවද හවුහරණක් නැතිව අතරමං වූ උවිඳු විජේවීර පිළි ගැනීමට ඔවුන් කැමති නැත. එහෙත් උවිඳු විජේවීරට ඕනෑ සිය පෝරිසාද පියාගේ දේශපාලනය ඉදිරියට ගෙන යාමටය.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට දේශපාලනය කළ පියවරුන්ගේ දූ පුතුන් දේශපාලනයට පැමිණ සිටීම හිරිකිතයක් වන මේ රටේ මරු සිරාගේ පුතෙකු දේශපාලනයට පැමිණීම ගැන කොපමණ හිරිකිතයක් ඇතිවේද..? උවිඳු විජේවීරට ඒ බැව තේරෙන්නේ නැත. ඔහුට ජීවත් වීමටත් දේශපාලනය කිරීමටත් අයිතියක් තිබේ. එහෙත් ඔහුට සිය මිනී මරු පියා කර තබා ගෙන දේශපාලන ගමනක් යා නොහැකි බව නොවැටහීම කණගාටුවට කරුණකි.
උවිඳු විජේවීර රුසියාවේ සිය උසස් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකාවට පැමිණි පසු රැකියාවක් කිරීමට යොමු වූයේ නැත. නම කැත කර ගත් පියාගේ පුතෙකු ලෙස නිහඬ ජීවිතයක් ගත කරමින් සිය ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළේද නැත. සියලු දෝෂවලින් මිදී විදේශයකට ගොස් අර්ථවත් ජීවිතයක් ගත කිරීමට සිතුවේද නැත. ඔහු තෝරා ගත්තේ සිය පෝරිසාද පියා නැවත්තූ තැනින් යළි දේශපාලනය පටන් ගැනීමය. ඒ වනාහී ජනතා විමුක්ති පෙරමුණටත් පෙරටුගාමින්ටත් අභියෝග කිරීමය. වෙනත් ලෙසකින් කියනවා නම් එක වර කළු ගල් දෙකක ඔළුව ගසා ගැනීමය. එසේ කරන්නේ ඔළුවක් නැති කෙනෙකුය. නැත හොත් ඔල්මාදේ හැදුණු කෙනෙකුය. උවිඳු විජේවීර මේ දෙකෙන් එකකට අනිවාර්යයෙන් ඇතුළත් කළ හැකිය. එහෙත් ඔහු මෙවන්නකට පෙළඹුනේ කෙසේදැයි විමසා බැලීම සුදුසුය.
උවිඳු විජේවීරගේ සමාජ ආශ්‍රය පිළිබඳ පිංතූර පරීක්ෂා කිරීමේ දී ඔහු නිස්සංක සේනාධිපතිගේ අතකොලුවක් බව පෙනී යන්නේ යැයි වාර්තා වී තිබුණි. එමෙන්ම නිස්සංක සේනාධිපති බැසිල් රාජපක්ෂගේ සමීප හිතවතෙකු බව ද වාර්තා වී ඇත. එබැවින් රැකියාවක් නොකරන උවිඳු විජේවීර ජීවත් වන්නේ මේ දෙදෙනාගේ පිහිටෙන් බව සිතා ගත හැකිය.
ජීවත් වීමට ඔවුන්ගේ ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් උවිඳු විජේවීර විසින් ද යම් ගාස්තුවක් පෙරළා ඔවුන්ට ගෙවිය යුතුය. එම ගාස්තුව ලෙස සැලකිය හැක්කේ ඔවුන් කියන දේ කිරීම හෙවත් ඔවුන්ට කඩේ යෑමය. තවද, මීළඟ මැතිවරණයේ දී ඔහුට පාර්ලිමේන්තුවට යාමට වරමක් ලබා දෙන පොරොන්දුවක් වුවද මේ පිටු පස තිබිය හැකිය. එවැනි අවබෝධතාවක් ඇතිව ක්‍රියා කරන්නේ නම් උවිඳු විජේවීරට තව තවත් කඩේ යාමට සිදු වනු ඇත. කෙසේ හෝ ඔහු පාර්ලිමේන්තුවට යන්නේ නම් යහපත්ය. ඒ මක්නිසාද යත් ඔහුගේ පියා පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අයෙකු පමණක් නොව පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමට අණ දුන් කෙනෙකු වූ බැවිනි.
මේ පසුබිම මත මරු සිරාගේ පුත් උවිඳු විජේවීරගේ දේශපාලන ආගමනය සහ ඔහුගේ මන්ස්ගාතය තේරුම් ගැනීමට අපහසු නැත. එහෙත් ඔහු සිය පියාගේ වේශය ගෙන සිටීම පිළිබඳ මහජනයා අතර තිබෙන කැකෑරෙන වෛරය ඔහුට තේරුම් නොයාම ඔහුගේ දුර්වල කමකි. එසේ නැත හොත් ඔහුගේ අධක්ෂ්‍යවරුන් විසින් ඔහු රෝහණ විජේවීර ලෙස වේශ නිරූපණය කර තිබීම නිසා ඉන් ඔහුට ගැලවීමක් නැතිවා වන්නට පුළුවන.
පුත්තු සිය පියා වගේ හැසිරීමට රුචි වෙති. ඉන් ඔවුහු මහත්වූ අහිංසක ආස්වාදයක් ලබති. එහෙත් ඒ මනස නොමේරූ ළමා කාලයේ දීය. උවිඳු විජේවීර පුතාට සිදුවී ඇත්තේ මේ අතරින් කුමක්ද..? ඔහුට දේශපාලන ප්‍රවාහයකට නායකත්වය දිය හැකිද..? ඔහු ජීවත් වන්නේ කුමන ආදායමක් උපයමින්ද..? රෝහණ විජේවීරගේ වෛරක්කාරයන්ගෙන් ඔහුට ඇති විය හැකි අයහපත කුමක්ද..? දේශපාලන නායකයෙකු ලෙස ඔහුට ප්‍රවේශයක් හෝ අනාගතයක් තිබේද..?
මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නා තරමට ඔහුගේ අනාගත ජීවිතය සාර්ථක වනු ඇත. එසේ නැත හොත් ඔහුද අවසානයේ සිය මිනී මරු පියාගේ වේශ නිරූපණයේ පමණක් නොව ආකල්පවල ද සිරකාරයෙකු වනු ඇත. පියා මරු සිරා වුවද උවිඳු විජේවීරගේ තරුණ ජීවිතය අනුකරණයෙන් තොරව සහ මීට වඩා අර්ථවත් ලෙස භාවිතයට ගැනෙන්නේ නම් සමාජයේ පිළි ගැනීමක් ලැබෙනු ඇත. ඒ සඳහා ඔහුගේ පියාගේ වේශ නිරූපණය අත්හළ යුතුය. මේ සමාජය පෝරිසාද ස්වරූප දැකීමට කැමති නැත. දේශපාලන අතකොලු දැකීමට ද කැමති නැත. පුතුන්ගේ වගකීම විය යුත්තේ පියා වගේ පෙනී සිටීම නොව දියුණු අදහස් පෙරදැරි කොට ගෙන ස්වාධීන ලෙස නව ලෝකයට පිවිසීමය.
Lanka Newsweek © 2024