ජන වරම පාවා දෙමින් මෛත්‍රීපාල සිරිසේන තරම් ඒකාධිපති රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කළ තුච්ච, නිහින, පජාත පාහර මිනිසෙක් තවත් නැතැයි ප්‍රවීන මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා චෝදනා කර සිටියි.
"සන්ධ්‍යා එක්නැලිගොඩට අපහාස කළ තුච්ච ගැහැණුන්ට සහ පිරිමින්ට වචනයක්" යන ශීර්ෂය යටතේ සිය නිල "Facebook" ගිණුමේ සටහනක් තබමින් මේ චෝදනාව එල්ල කර සිටින පෝද්දල ජයන්ත ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළුන්ට වහා ඇප ලබා දෙන ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා කෑ මොර දුන්නේ කිසිම හේතුවක් මත රණවිරුවන් අත්අඩංගුවට නොගන්නා ලෙස තර්ජනය කරමින් බව ද කියා සිටියි.
"සන්ධ්‍යා එක්නැලිගොඩට අපහාස කළ තුච්ච ගැහැණුන්ට සහ පිරිමින්ට වචනයක්" යන ශීර්ෂය යටතේ ප්‍රවීන මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා සිය නිල "Facebook" ගිණුමේ තබා ඇති සටහනේ මෙසේ ද සඳහන් වේ.
ප්‍රගීත් එක්නැලිගොඩ සහෘද ජනමාධ්‍යවේදීයා පැහැර ගෙන ගොස් අතුරුදන් කර 2022 ජනවාරි 24 දිනට වසර දොළහක් සපිරුණි. ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ බල වියරුව පවත්වා ගෙන යාමට අංශු මාත්‍රයකින් හෝ අභියෝගයක් එල්ල වෙතැයි සිතු කිසිවෙකුට ඒ පොළොවේ යහතින් ජීවත් වීමට ඔවුහු ඉඩ නොදුන්හ. එක්කෝ ඔවුන් මහ මග මරා දැමුවෝ ය. නැත හොත් පැහැර ගෙන ගොස් අතුරුදන් කළෝ ය. එසේත් නොමැති නම් පැහැර ගෙන ගොස් අති අමානුෂික වධ බන්ධනයන්ට ලක් කළෝ ය. ප්‍රගීත් එක්නැලිගොඩ අයත් වන්නේ ඉහත දෙවැනි කාණ්ඩයට ය.
වර්ෂ 2010 ජනවාරි 24 දින බොරුල්ල රාජගිරිය ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක්වූ ප්‍රගීත් එක්නැලිගොඩට එකී අපරාධය කිරීමට අණ දුන්නේ කවුද යන්න සොයා ගනු වස්, ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ සිය දරු දෙදෙනාද කැටුව ගෙවුණු දොළොස් වසර මුළුල්ලේම පොලීසියක්, පොලීසියක් ගාණේ ඇවිද ගියා ය. අධිකරණයක්, අධිකරණයක් ගාණේ ඇවිද ගියා ය. සිය සැමියා සොයමින් සැතපුම් සිය ගණනක් ඇවිද ගිය සහ ඇවිද යන ඇයට මෙතෙක් ලැබී ඇත්තේ යුක්තිය වෙනුවට හෙම්බත් වීම පමණි.
මා කියන්නට යන කතාව ආරම්භ වන්නේ මෙතැන් සිට ය. සන්ධ්‍යා එක්නැලිගොඩ සිය ස්වාමියා පුරුෂයාට අත්වූ ඉරණම කුමක්ද දැයි සැක හැර දැන ගැනීමට ගෙවුණු දොළොස් වසර පුරාවටම නීතියේ පිළිසරණ පැතී ය. එහෙත් වර්තමානය වන විට ඒ යුක්තියේ දෙවගන ඇයට පිටු පාන්නට සැරසෙන බව සිය ඇස් ඉදිරිපිටම දිස්වන්නේ යැයි ඇය කියා සිටින්නී ය. අවසානයේ ඇය ඒ අවනඩුව දෙවියන් ඉදිරියට ගෙන යාමට තීරණය කළා ය. ඒ ඇයට මේ අවනඩුව දිග හරින්නට වෙනත් දෙවොලක් මිහිපිට නැති නිසා ය. ජීවිතය ගිලි හෙන්නා තණ පතේ එල්ලෙනවා සේ ඇයට ද දැන් වෙනත් පිළිසරණක් නැත. මිත්‍යාව පසුපස නොයන්නැයි ඇයට කිව හැක්කේ කාටද..?
2022 ජනවාරි 24 වැනිදා සන්ධ්‍යා එක්නැලිගොඩ මෙතුවක් කල් ඇය රැක ගත් කේශ කලාපය මුඩු කොට කොළඹ මෝදර කාලී කෝවිලටත්, නවගමුව පත්තිනි දේවාලයටත් ගොස් සිය ස්වාමියාට "ඒකාධිපති රාජපක්ෂ රෙජීමය" කළ සහාසික අපරාධය සැළකර සිටියා ය. ඇය එදිනද මාධ්‍යය ඉදීරියේ සපථ කළේ තමාට මේ අපරාධය කියන්නට තවත් තැනක් නොමැති බව යි. එපමණක් නොව, තවත් ගැහැණියකට මෙවන් අපරාධයක් නොවන්නට තමා මේ අරගලය නොනවතා ඉදිරියට ගෙන යන බව ද ඇය කියා සිටියාය.
මේ යතිකා කන්නලව්ව එදින ශ්‍රී ලංකාවේ සියලු විද්‍යුත් මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය ගණනාවක ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් විය. එම ප්‍රවෘත්තිය දුටු හාමතේ සිටිමින් රාජපක්ෂලාගේ අසූචි භක්ෂණයට ඉව අල්ලන තුච්ච ගැහුණුන් පිරිසක් සහ තුච්ච පිරිමින් කිහිප දෙනකු අදාළ ප්‍රවෘත්තියට දැඩි අපහාසාත්මක ප්‍රතිචාර (Comments) රැසක් එක් කර තිබුණි.
ඉහත ප්‍රතිචාර අතර ප්‍රගීත් එක්නැලිගොඩ යනු කොටියෙක් බවටත්, රට පාවා දුන් අසමත් ජාතියෙකු බවටත්, ඩොලර් කාක්කෙක් බවටත්, සන්ධ්‍යා එක්නැළිගොඩ මේ විරෝධතා කරන්නේ සල්ලි හම්බ කිරීමට බවටත් ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම මහා වීර ක්‍රියාවක් වන බවටත්, ජිනීවා මානව හිමිකම් සැසිය ආසන්න වන විට මේ අය මේ රඟපෑම සිදු කරන බවටත් ඇතුළු විවිධාකාර පිළිකුල් සහගත චෝදනා එල්ල කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩට නොයෙක් අපහාස සහ උපහාස කළ අදහස් තිබුණි.
එදා ඒකාධිපති රාජපක්ෂ රෙජීමය රට පාලනය කරද්දී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම පිළිබද කොතොකුත් පැමිණිලි කළද, ඒ පිළිබද කිසිදු විමර්ශනයක් සිදු කළේ නැත. සන්ධ්‍යා එක්නැලිගොඩ හබයාස්කෝපුස් නඩුවක් ගොනු කළද, සෑහීමකට පත් විය හැකි නඩු විභාගයක් සිදූ නොවුණි. කෙසේ වෙතත් 2015 දී යහ පාලන රජය බලයට පත්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබද විමර්ශන ආරම්භ කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව විමර්ශනවලින් සොයා ගත් කරුණු අනුව රාජගිරියේ දී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගත් යුද හමුදා බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය. අනතුරුව ඔවුන් සිදු කළ පාපොච්චාරණ අනුව රාජගිරියෙන් පැහැර ගත් ප්‍රගීත් එක්නැළිගොඩ කෙලින්ම රැගෙන ගොස් ඇත්තේ ගිරිතලේ යුද හමුදා කදවුරට බව හෙළිදරව් වී තිබේ. එහිදී බණ්ඩාර නමැති යුද හමුදා සැරයන් වරයකු මුළු රැයක් පුරා ප්‍රගීත් එක්නැළිගොඩගෙන් කටඋත්තර ගෙන එකී සටහන් සමග ඊට පසුදා එම කදවුරරේ කර්නල්වරයකුට ඔහු භාර දුන්නු බව අධිකරණයේදී පිළි ගෙන තිබේ. ඉන්පසු ප්‍රගීත් එක්නැළිගොඩට සිදු වූයේ කුමක්දැයි ඒ හමුදා සැරයන්වරයා ද නොදනී.
මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂලාගෙන් මිදී රටේ ජනාධිපතිවරයා බවට පත් වූයේ මෙරට යුක්තිය අගයන මිනිසුන්ගේ ඡන්දවලිනි. මැතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන වේදිකාවක්, වේදිකාවක් පාසා සපථ කළේ කුමක්ද..? රාජපක්ෂලාගේ අණසකට යටවූ අධිකරණය ස්වාධීන කොට, සියලු අපරාධ කරුවන්ට සහ මිනී මරුවන්ට වහා දඩුවම් දෙන බවකි. විශේෂයෙන් ජනමාධ්‍යවේදීන්ට වූ අපරාධවලට යුක්තිය ඉටු කරන බවකි.
එහෙත් මෛත්‍රීපාල සිරිසේන කළේ කුමක්ද..? ඔහු රාජපක්ෂලාගේ සිතැගි පරිදි ක්‍රියා කළේය. එහෙයින් මෛත්‍රීපාල සිරිසේන තරම් තුච්ච, නිහින, පජාත පාහර මිනිසෙක් තවත් නැති තරම්ය. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළුන්ට වහා ඇප ලබා දෙන ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ ඔහු කෑ මොර දුන්නේ කිසිම හේතුවක් මත රණවිරුවන් අත්අඩංගුවට නොගන්නා ලෙස තර්ජනය කරමිනි. වැඩි දවසක් නොගොස් අත්අඩංගුවේ සිටි සැකකාර සෙබළුන් කිහිප දෙනෙකුම ඇපමත නිදහස් කළේ ය. ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගිය ගිරිතලේ හමුදා කඳවුරේ අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වූ විට ඔවුන්ට එම කදවුරට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස කදවුරේ අණ දෙන නිලධාරියාට නියෝග කර තිබුණි. පාහර මෛත්‍රීපාල සිරිසේන ඒ සියල්ල කළේ රාජපක්ෂලාගේ ඕනෑ එපාකම්වලට අනුව ය. අද දවසේ මේ පාහර මිනිසා වේදිකා මත කටමැත දොඩවන්නේ ඇදි වතක් සහිතව ද යන්න විමතියකි. පාස්කු දින ප්‍රහාරය ද එලෙසම සිදු වන්නට ඉඩ හැරි බවට ඔහුගේම කොමිසම සැක මතුකර තිබේ.
ලක්ෂ තුනකට වැඩි සමාජිකයන් පිරිසක් සිටින ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ මේ අපරාධවලට හවුල් වී ඇත්තේ විසි තිස් දෙනෙකි.ඒ ද ඔවුන්ගේ උවමනාවන්ට නොව ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ උවමනාවන්ට ය. මේ අපරාධකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් පසු රණවිරුවන් සිර ගත කරනවාය යන ව්‍යාජ මතයක් රට අභ්‍යන්තරයේ නිර්මාණය කළේ රාජපක්ෂලාම ය. ඒ අන් කිසිවක් නිසා නොව අදාළ අපරාධකරුවන්ගෙන් ඇත්ත හෙළි වනු ඇතැයි බියෙනි. ගලගොඩඅත්තේ ඥාණසාරලා වැනි තුච්ච කහකඩයන් සහ රාජපක්ෂලාගේ අසූචි භක්ෂකයෝ ව්‍යාප්ත කළේ ද ඒ ව්‍යාජ මතයයි.
ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම පිළිබද ඒකි නඩුකරයක් විභාග වූයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ය. අධිකරණයට යන හැම දවසකම විවිධ කේවට්ටයන් යොදවා මේ ගැහැණියට විවිධ තාඩන-පීඩන සිදු කළේ ය. එක් දිනෙක ගලගොඩඅත්තේ ඥානසාර නමැති කහකඩධාරී අලුගුත්තේරුවා අධිකරණය භුමියේදීම ඇයගේ මූණට කෙළ ගසා පරුෂ වචනයෙන් බැණ වැදුණේ ය. බුද්ධි අංශ රණවිරුවන් හිරේ දාන්න හදනවා යැයි චෝදනා කළේ ය. එතැනින් නොනැවතී අධිකරණ ශාලාවට ගොස් විනිසුරුවරුන්ටද බැණ වැදුණේ ය.
එකී විනිසුරුවරුන්ගේ පැමිණිල්ල මත ගලගොඩඅත්තේ ඥාණසාරට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරුණි. එම නඩුවෙන් ගලගොඩඅත්තේ ඥාණසාරට වසර හයක සිර දඩුවම් නියම විය. මාස හයක් ගත වුණු තැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමාව දී ගලගොඩඅත්තේ ඥාණසාර එළියට ගත්තේ ය. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මේ කහකඩධාරියා එක රටක එක නීතියක් කාර්ය සාධන බලකායේ සභාපති තනතුරකට පත් කර තිබේ.
ස්වාමි පුරුෂයා ද අහිමිවී දරු දෙදෙනකු සමග තනි වුණු සන්ධ්‍යා එක්නැලිගොඩ ගැහැණියට කළ මේ නොහොඹිනාකම් කිසිවක් ඉහත ඇයට අපහාස කළ තුච්ච ගැහැණුන් සහ පිරිමින් දන්නේ නැත. මේ අමනයන් කළ අපහාසවල තිබුණේ අන්ත පිළිකුල් සහගත ජනමාධ්‍ය භාවිතයක් ගෙන ගිය රාජපක්ෂලා වෙනුවෙන් අනුන්ට අපහාස කළ මහින්ද අබේසුන්දර නමැති පිසාචයා ස්වාධීන රෑපවාහිනීයේ "විමසුම" සහ "විපරම" වැඩසටහන්වලින් ගැසු මඩ ප්‍රහාරවල තිබූ දෑ මිස ඉන් එහා දෙයක් නොවේ.
මහින්ද අබේසුන්දර මිය ගොස් දැනට වසර ගණනාවක් ගතවී තිබේ. එහෙත් ඔහු නිරපරාදේ ප්‍රගීත් එක්නැලිගොඩට ගැසූ මඩ ප්‍රහාර තවමත් රාජපක්ෂ අසූචි භක්ෂකයන්ට කටකැස්මක් වී තිබේ. තමන්ගේ මිනිහා කවුරුන් හෝ පැහැර ගෙන ගොස් අතුරුදන් කළ විට, දරුවන් සමග තමන් තනි වුවහොත්, තමන් කොතරම් දරුණු ඛේදවාචකයකට මුහුණ දෙන්නේ දැයි විශේෂයෙන් මේ තුච්ච ගැහැණුන් අවබෝධ කර ගත යුතු ය. සන්ධ්‍යා එක්නැලිගොඩ අද මුහුණ දී සිටින්නේ එම ඛේදවාචකය ට ය.
මේ ලියුම්කරු ඉහත කාරණාව ගැන වඩා සංවේදී වූයේ මේ අපහාසයට මුහුණ දුන්, තවමත් මුහුණ දෙන කෙනෙකු නිසා ය. මා පැහැර ගැනීමට ලක්වී දින විසි අටක් රෝහල් ගතව සිටියදීත්, ඉන්පසුවත්, ඊට පෙරත් ඇතැම් පිටස්තරයන්ගෙන් පමණක් නොව, මගේ බිරියගේ එක් කුස උපන් සහෝදර සහෝදරීයන් ඔවුන් සමග විවාහ වූ නෑනා, මස්සිනාලා එකතු වී ඉහත චෝදනා පෙරළා මා වෙත එල්ල කළේ අමන රැළක් මෙනි. ඔවුන්ද ඒ සියල්ල උකහා ගෙන ඇත්තේ දුර්දාන්ත රාජපක්ෂ පාලනය විසින් රාජ්‍ය මාධ්‍ය යොදා ගෙන අපට කළ අපහාස-උපහාසවලිනි. ඒ තරමටම තමන්ගේ මිලේච්ඡ කම් වසා ගැනීමට රාජපක්ෂලා නිහින උපක්‍රම අනුගමනය කළෝ ය.
සිහි විසඥ වූ මගේ සිරුර අහම්බයකින් ත්‍රීරෝද රථ රියදුරෙකුට හමු නොවුණා නම්, උදෑසන හමු වන්නේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර යි. එසේ වූවා නම් මගේ බිරියට සහ දියණියට අත්වන්නේද සන්ධ්‍යා එක්නැලිගොඩට සහ දරුවන්ට අද ඇතිවී ඇති ඉරණමම ය. රටේ පොදු මහ ජනතාවගේ (අද අපහාස කරන අයද ඇතුළුව) ප්රජාතන්ත්රවාදී අයිතීන් වෙනුවෙන් ද, වංචාව සහ දුෂණය ඇතුළු සකල විධ අපරාධවලට එරෙහිව ද ( හරිහමන් විපක්ෂයක් ද නොමැති අවස්ථාවක) මුළු වැර යොදා හඩ නැගීම ප්‍රගීත් එක්නැළිගොඩ සහ අප රාජපක්ෂලාට කළ එකම වරදයි.
Lanka Newsweek © 2024