Sunday 23rd of January 2022

English Tamil
Advertiesment


විදේශීය ණය උගුලෙන් රට බේරා ගැනීමට රජය වහා ක්‍රියා කළ යුතුයි 


2022-01-13 1554

 

ජනපතිගේ-අගමැතිගේ-මහා බැංකු අධිපතිගේ වගකීමක් 

 

ඩොලර් මිලියන 500න්  කොටසක් ගෙවා ඉතිරිය ජනතාවගේ කුස ගිනි නිවීමට යොදවනු 

 

නව ව්‍යවස්ථා කෙටුම්පත නිදහස් දිනයේ දී වත් ඉදිරිපත් කරනු 

 

උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අදහස් හාස්‍යට ලක් නොකරනු 

 

ණය ගෙවා මිනිස්සුන්ගේ කුසත් පුරවන හැටි කරූ කියයි 

 

උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ යෝජනා සැලකිල්ලට ගෙන විදේශීය ණය උගුලෙන් රට බේරා ගැනීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මහා බැංකු අධිපතිවරයා වහාම ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

වහාම ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් මිලියන 500 ණය මුදල සම්බන්ධයෙන් රජය මේ දක්වා ස්ථිර විසඳුමකට නොපැමිණීම කණගාටුදායක යැයි පෙන්වා දෙන කරු ජයසූරිය මහතා මේ අවස්ථාවේ දී කළ යුත්තේ මේ ණය මුදලට අදාළ පොලිය පමණක් ගෙවා මුළු ණය මුදල ගෙවීමට ණයකරුවන් සමග සාකච්ඡා කර කාලය ලබා ගැනීම යැයි ද සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී බ්‍රහස්පතින්දා (13) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ බව කියා සිටී දේශබන්දු කරු ජයසූරිය මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියේය.

දේශපාලනයේ දී රාජ්‍ය නායකයෙකුගේ වචන සහ පොරොන්දු ගලේ කෙටූ අකුරක් වගේ ස්ථිර විය යුතු බව පුරවැසියන් බලාපොරොත්තු වීම ලෝක ස්වභාවය යි. එම නිසා ගරු ජනාධිපතිතුමන් විසින් 2020 වර්ෂයේ දී රටට දුන් වැදගත් පොරොන්දු දෙකක් ඉටු කරලීම සඳහා එතුමන් දැනුවත් කිරීම  අපේ ප්‍රධාන පරමාර්ථය යි. එම කාර්ය භාරය අප අපගේ යුතුකමක් ලෙස දකිනවා.

මැතිවරණයෙන් අවුරුදු දෙකක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ජනතාවට ලබා දීමට සහ ද්විත්ව පුරවැසියන්ට සීමා බන්ධන ගෙන එන බවට ජනාධිපතිතුමා උත්තරීතර මහා සංඝ සභා උපදේශක මණ්ඩලය අභිමුඛවනොවළහා පොරොන්දු වූ ආකාරය අපගේ සිහියට නැගෙනවා. 20 වැනි සංශෝධනය නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම විනාශ වී ඇති හෙයින් අන්තර්ජාතික ගෞරවය සහ ලෝක ආයෝජන ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීම ඉතා වැදගත් වනවා. 

ගෞරවනීය සහ ස්වාධීන ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මුළු රටම මේ වන විට වටහා ගෙන සිටිනවා. එමනිසා 2022 පෙබරවාරි 4 නිදහස් දින හෝ ඊට පෙර රජයේ යෝජිත ව්‍යවස්ථා මූලධර්ම ගැන ජනතාව අනිවාර්යෙන්ම දැනුවත් විය යුතුයි. එසේ ජනතාව දැනුම්වත් කිරීම රජයේ යුතුකමක් වනවා. යෝජිත නිර්දේශ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු කමිටුව විසින් දැනටමත් ජනාධිපතිතුමන් වෙත භාරදී ඇති බවට වාර්තා වී තිබෙනවා. රටකට බලපාන ව්‍යවස්ථාව එම රටේ පාර්ලිමේන්තුව සහ ජනතාව විසින් සකස් කළ යුතු අතර, රජයේ පාර්ශවයෙන් කෙරෙන ව්‍යවස්ථා සම්පාදන කෙරෙහි ජනතාවගේ කිසිම විශ්වාසයක් නොමැති බව සඳහන් කළ යුතුයි.එසේ කිරීම ජනතාව දුන් වරම දූෂිත කිරීමක් බව කිව යුතුයි.

අප බලාපොරොත්තු නොවූ ආකාරයට ඉදිරිපත් කළ තනි පුද්ගලයකු වටා අසීමිත බලය පැවරෙන 20 වැනි ව්‍යවස්ථාව වෙනුවට, පාර්ලිමේන්තුව ඔස්සේ ජනතා ආධිපත්‍යය රැක ගැනීමේ ව්‍යවස්ථාවක් බිහි විය යුතුයි. මෙම ජනතා ඉල්ලීම පිටු දකින්න රජයට ඉඩ ලැබෙන්නේ නැහැ. එමෙන්ම සිංහල, ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව අතර සහෝදරත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගෞරවය රැකෙන පරිසරයක් ඇති වන තුරු ජාතික ආගමික සහජීවනයක් මෙරට ඇති වන්නේ නැහැ.

රට ඉදිරියට ගෙන යෑමට නම්, ඩයස්පෝරාව සමග අනවශ්‍ය ගැටලු ඇති නොවීමටත්, එම ප්‍රශ්න ඊළඟ පරපුරට නොපැවරීමටත්, අප අතර දැඩි අන්‍යෝන්‍ය විශ්වාසයක් ඇති විය යුතුයි. අප හමු වන උගත් සහ බුද්ධිමත් ඩයස්පෝරා සාමාජිකයින්ගේ එකම ප්‍රාර්ථනය අප සියලුම ජාතීන් සමගි සම්පන්නව ජාති, ආගම් භේදයෙන් තොරව එක් දේශයක ජීවත් වීමයි. ඒ අපේක්ෂාව මේ රටේ අලුත් ගමනක ආරම්භය විය හැකියි.

අපේ දේශපාලන නායකයින් මේ පණිවිඩය නිසි අයුරින් තේරුම් ගන්නේ නම් අපට නැවතත් ඉන්දියානු සාගරයේ මුතු ඇටය විය හැකියි. මිනිස් ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය වනුයේ මුලික පහසුකම් ඇතිව සැපවත් ජීවිත ගත කිරීමයි. නමුත් අද එවැනි ජීවිතයක් සිහිනයකි. කරුණු එකින් එක ගෙන වාද කර ගන්නවා වෙනුවට අපට කිව හැක්කේ එදිනෙදා ජන ජීවිතය ගත කිරීම අද මහා දුක්බර සටනක් බවට පත්ව ඇති බවයි. තුන් වේල අහිමි පවුල් කොතෙක් ඇද්ද..? රටට සිදු වූයේ කුමක්ද..? 

රටට සැලැස්මක්, දර්ශනයක් සහ විනයක් නැහැ. මහ දවල් රාජ්‍ය සම්පත් කොල්ල කනවා. අද අපට අත්‍යවශ්‍ය ආහාර,  කිරිපිටි සීනි, සිමෙන්ති, ගෑස්, ඖෂධ ආදිය ගෙන ඒමට අවශ්‍ය විදේශ මුදල් නැහැ. අපි රටවලින් මුදල් ණයට ලබා ලබා ගන්නා ආකාරය ගැන ලැජ්ජා විය යුතුයි. ඩොලර් මිලියන 500ක විදේශ ණය ගෙවීම ගැන රජයේ ඉහළ මට්ටමේ හෝ කැබිනට් මණ්ඩලයේ ස්ථිර තීරණයක් තවමත් නැහැ. 

ගෙවුණු දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බුද්ධිමතුන් ඉතා වැදගත් අදහස් සහ යෝජනා රට වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරි දින කිහිපයේ දී ජනාධිපති-අගමැති-මහ බැංකු අධිපති වහා තීරණයක් ගත යුතුයි. තීරණ ගැනීමට ප්‍රමාද වෙන සෑම මොහොතකම නොමැරී මැරෙන්නේ අපේ අසරණ ජනතාවයි.

රටට ආදරය කරන දේශපාලනයෙන් බැහැරව සිවිල් සමාජයේ ක්‍රියාකාරී ආයතනයක් වශයෙන් ලෝකයේ විවිධ රටවල සේවය කරන ශ්‍රී ලාංකික විද්වතුන්ගේ ද අදහස් සලකා බලා රටට වඩා යෝග්‍ය පියවර ලෙස අපි දකින්නේ ණයකරුවන්ගේ ද පූර්ණ එකඟත්වය ඇතිව ගෙවිය යුතු පොලී ප්‍රමාණය පමණක් ගෙවා මූලික ණය පියවීමට සාකච්ඡා ආරම්භ කිරීමයි.

එවැනි පියවර ගත හොත් මුළු ණය මුදලම හෙවත් ඩොලර් මිලියන 500 ම එකවර ගෙවා ජනතාව බඩ ගින්නේ තබනවා වෙනුවට ණය මුදල් කොටසක් යොදවා රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, සීනි, ඖෂධ, ගෑස්, සිමෙන්ති, යන්ත්‍ රසූත්‍ර, කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ලබා ගෙන ජන ජීවිතය රැක ගත හැකියි.

ලෝකයේ මෙවැනි පියවර ගැනීම අස්වාභාවික නොවන බව බලධාරීන් වටහා ගනු ඇතැයි අප පිරිසිදු චේතනාවෙන් විශ්වාස කරනවා. මේ දිනවල රටට හිත කර අදහස් සහ යෝජනා ඉදිරිපත් වන විට ඒවා හාස්‍යයට ලක් කිරීම වෙනුවට බුද්ධිමත්ව සලකා බැලීමෙන් රටටත් ජනතාවටත් සෙතක් වන බව බලධාරීන් වටහා ගත යුතුයි.

Advertiesment