හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කර ඇතැයි කියන දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධ ලිපි ගොනු කිහිපයක් ජනමාධ්‍ය ඔස්සේ රටට-ජනතාවට හෙළිදරව් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අඟහරුවාදා (11) පියවර ගනු ලැබීය.
ඒ කොළඹ තොටළඟ පිහිටි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ දේශපාලන කාර්යාලයේ දී විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වන අතර එම දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් හැකි නම් තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරන බව ද රවී කරුණානායක මහතා එහිදී අවධාරණය කළේය.
ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට හොර රහසේ ලැබී තිබී පසුව අසු වූ ඩොලර් තොගය, ජනාධිපතිවරයා ලෙස ඔහු සිදු කළ යකඩ ජාවාරම සහ ආයථා ලෙස මත්පැන් බලපත් ලබා දීම ඇතුළු දූෂණ, වංචා සහ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් සාක්කි-සාධක ඇතිව කරුණු ඉදිරිපත් කළ රවී කරුණානායක මහතා සුදු පිරුවට ඇඳ ගෙන තමා සුදනා බව මවා පාමින් දේශපාලනය කරන මෛත්‍රීපාල සිරිසේනගේ ඇත්ත පැටිකිරිය පිළිබඳ සියලු තොරතුරු තමා සතුව තිබෙන බව ද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය විනාශ කරමින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වගේම තමාට මෛත්‍රීපාල සිරිසේන මහතා එළව එළවා පහර දුන්නේ මේ දූෂණ, වංචා සහ අක්රමිකතාවලට එරෙහි වූ නිසා බව ද රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වශයෙන් ගුණමකුවෙකු බවට චෝදනා එල්ල කළ රවී කරුණානායක මහතා ඔහු යුද්ධය අවසන් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පන්න පන්නා පළි ගත් අතර ඒ මහතාට වෙඩි නොවදින රථයක් ලබා දීම සම්බන්ධයෙන් ද විරෝධය පළ කළ බව හෙළි කර සිටියේය.
Lanka Newsweek © 2022