Sunday 23rd of January 2022

English Tamil
Advertiesment


ජනපති උගතුන්ට-බුද්ධිමතුන්ට ඇහුම්කන් දුන්නා නම් රට විනාශය වන්නේ නැහැ


2022-01-06 2191

 

ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට රජයට විසඳුම් නැහැ 

 

20 සහ තුනෙන් දෙක විහිළුවක් වෙලා  

 

නව ව්‍යවස්ථාවේ ලුහුඬු පිටපතක් නිදහස් දිනයේ දී ඉදිරිපත් කරනු 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

රටේ උගතුන් සහ බුද්ධිමතුන් ඇතුළු රටට ආදරය කරන පුද්ගලයින්ගේ හඬට ජනාධිපතිවරයා ඇහුම්කන් දුන්නා නම් රටට-ජනතාවට මේ විනාශය අත් වන්නේ නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

විදේශ විනිමය අර්බුදය සහ රටේ උද්ගත වෙමින් පවතින සාගතය ඇතුළු රට-ජනතාව මුහුණ දී සිටින දැවෙන ප්‍රශ්න සඳහා රජයට කිසිදු විසඳුමක් නොමැති අතර නිවැරදි මාර්ගය තෝරා ගැනීමට රජය තවමත් අපොහොසත් වී සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.

රටේ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය සහ ඊට අදාළ විසඳුම් සම්බන්ධයෙන් කරුණු දක්වමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 

නව වසරේ ජනතාව අමතන්නේ අලුත් බලාපොරොත්තු අලුත් ප්‍රාර්ථනා සහ රටේ ජනතාවට වාසනාවන්ත කාලයක් ප්‍රාර්ථනා කරමිනි. 2021 වසරේ දී කොරෝනා වසංගතයත් සමඟ අපේ ජනතාව අසීමිත දුක් කම්කටොලු රාශියකට මුහුණ දුන්නේය. මේවා එකින් එක නැවතත් අවුස්සමින් අතීතයට දොස් කියන්නවත් එකිනෙකාට අපහාස කර ගැනීමටවත් අපි බලාපොරොත්තු වන්නේ නැත. කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය දියත් කළ එන්නත් කරණ ක්‍රියාවළිය සාර්ථක වූ බව අපි සඳහන් කරන්නට කැමැත්තෙමු. ඊට කැප වුණු සියලු දෙනාට අපගේ ගෞරවය පුද කර සිටින්නෙමු.

ඒ හැර අනෙක් සෑම අංශයකින්ම රට විශාල කඩා වැටීමකට ලක් වීම කණගාටුවට කරුණකි. ජීවන වියදම දරා ගත නොහැකි ආකාරයට ඉහළ ගොසින්ය. අඩු ආදායම් ලාභීන් සිය ආහාර වේල පවා සපයා ගන්නේ අමාරුවෙනි. හාල්, සීනි, කිරිපිටි, ගෑස්, බෙහෙත් හේත් වර්ග ආදී එදිනෙදා ජීවිතයට අවශ්‍ය සෑම අංගයක්ම අද හිඟව පවතියි. 

විදේශ විනිමය නොමැතිකම නිසා ජන ජීවිතය පූර්ණ වශයෙන් අවුල් වී තිබේ. රජයේ පාර්ශවයෙන් මේ දැවෙන ප්‍රශ්නවලට මෙතෙක් විසඳුම් ලැබී නොමැත. විවිධ මත පළ කළත් හරි උත්සාහයක් තවම අපිට දකින්නට නොමැත. රජයට නිවැරදි මාර්ගය තවමත් තෝරා ගැනීමට නොහැකි වී තිබේ. 

ගොවියා අද ඉතා අසරණ තත්ත්වයකට පත්වී සිටියි. බොහෝ ප්‍රදේශවල වගා පාළුවට ගිහින්ය. ආහාර නිෂ්පාදනය 40% දක්වා පහළ වැටෙන බවටත්, මහා සාගතයක පෙර නිමිති දැන් ඇති වෙමින් පවතින බවත් විද්වත් මතයයි. වග කිව යුතු රජයකට මේ දුක් අඳෝනාවන්ට කන් නොදී සිටීමට නොහැකිය. සෑම අතින්ම පීඩා විඳින ගොවියා කෝප වී සිටින මෙම අවස්ථාවේ රටේ ලේ වැගිරීම්වලට පවා ඉඩ ඇති බව ජනතා මතයයි. මේ කරුණු රජයේ දැඩි අවධානයට යොමු යොමු විය යුතුයි.

රසායනික පොහොර භාවිතය නැවැත් වූ අවස්ථාවේ ඉන් ඇති වන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දිගින් දිගටම විශාල හඬක් නැඟුවේය. අප ප්‍රකාශ කළේ රටේ ජනතා මතයි. ගොවියාගේ මතයි. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පවා අවසානයේ ගොවි මතයට හිස නැමූ බව අපි දනිමු. ඔහු ගොවි ජනතාවගෙන් සමාව ගත්තේය.

උගතුන් සහ බුද්ධිමතුන් ඇතුළු රටට ආදරය කරන පුද්ගලයින්ගේ හඬට ජනාධිපතිවරයා යම් අවධානයක් හෝ යොමු කළා නම් දැන් ඇති වී තිබෙන මේ මහා විනාශය ඇති නොවේ. ගොවියා දේවත්වයෙන් සැලකිය යුතු කණ්ඩායමක් විනා අද වගේ හිරි හැර විඳිය යුතු කොටසක් නොවේ. අත කණකර ආදිය පවා උකස් කර ඔවුන් ගෙවන දුක්බර ජීවිතය අපි හොඳින්ම දනිමු. 

අලි-මිනිස් ගැටුම් නිසා සිය ගණනක් මිනිස්සුන්ගේ සහ අලින්ගේ ජීවිත විනාශ වෙති. මේ වෙනුවෙන් සැකසුණු වටිනා අන්තර් ජාතික තත්ත්වයේ වාර්තා හුඹස් පෙට්ටියේ පුස් කකා තිබේ. මේ වාර්තා සහ යෝජනා දකින විට අපට ඇති වන්නේ දැඩි කම්පාවකි. මේ සියල්ල විසඳා ගත හැකි ප්‍රශ්නය. ප්‍රශ්නය වන්නේ සඳහා රජයේ තිබෙන කැපවීම සහ උනන්දුවයි. දැන්වත් මේ ගැන අවධානය යොමු කරන්නැයි අපි ඉල්ලා සිටිමු.

රටක ඉදිරි ගමනට ප්‍රජාතන්ත්‍රවාදී උත්තරීතර ව්‍යවස්ථාවක් අවශ්‍යයි. රජය පිහිටුවා අවුරුද්දකින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව තවත් කල් නොහැර ඉටු කළ යුතුයි. ව්‍යවස්ථාව ජනතා සහභාගීත්වයෙන් සිදු විය යුතු අතර, පාර්ලිමේන්තුව සහ ජනතා මුල් වීමක් නොමැතිව ගොඩනගන ව්‍යවස්ථා ජනතාව පිළි නොගන්නා බව රජය වටහා ගත යුතුයි.

මේ රජය බලයට පැමිණ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ දින සිට එමගින් රටට වූ හානිය සහ ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම විනාශ වූ ආකාරය අපි රටටම පෙන්වා දුන්නෙමු. 20 වැනි සංශෝධනයෙන් සහ 3/2 පාර්ලිමේන්තු බලයෙන් රටට සෙතක් වුණා..? අවසානයේ ඒ සියල්ල විහිළුවක් බවට පත් විය. 

හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 20 වන සංශෝධනයේ ආදීනව පෙන්වා දී තිබිණ. වර්තමාන රජයේ හවුල්කරුවකු වෙතින් එවැනි අදහස් ගලා ඒම ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ශක්තියකි. අපි ඒ දහස අගය කර සිටින්නෙමු. තවත් විවිධ හේතු සොයා කල් නොගෙන, පොරොන්දු වූ පරිදි රජයේ ලුහුඬු පිටපත හෝ පෙබරවාරි 4 නිදහස් දිනය දා රටට හෙළි කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. 

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ජනාධිපතිවරයා විසින් රට වැසියාට රාජ්‍යතාන්ත්‍රික පොරොන්දුවක් දී ඇති බවත්, එම දින සීමා ද දැන් අවසාන බව නිහතමානීව මතක් කර දෙමු. මෙම පොරොන්දුව ජනාධිපතිවරයා විසින් අති ගෞරවනීය උත්තරීතර සංඝ සභාවට ද ලබාදී තිබේ. පුරවැසියන් වූ අපි මේ පොරොන්දු ඉටු වන තෙක් විශාල බලාපොරොත්තු ඇතිව සිටින්නෙමු.
 

Advertiesment