Sunday 23rd of January 2022

English Tamil
Advertiesment


අර්බුදයට විසදුම ජාතික එකඟතාවයක් විනා ජාතික ආණ්ඩුවක් නොවේ


2022-01-05 2563

 

කෝටි 22,900 සහන මල්ලෙන් මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා 

 

සල්ලි අච්චු ගස ගසා ඒ සල්ලි බෙද බෙදා රටක් දුවන්න බැහැ 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

රටේ උද්ගත වී දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුදයට විසඳුම ජාතික එකඟතාවයක් ඇති කර ගෙන අනුව සියලු දෙනා කටයුතු කිරීම විනා ජාතික ආණ්ඩුවක් නොවේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයසේකර මහතා පැවැසීය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මේ බව කියා සිටී එම ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයසේකර මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ කීය. 

මේ වසර රටට හෝ ජනතාවට සුභදායි වන බවක් අපට පෙනෙන්නට නැහැ. රට ඒ තරමටම අවුල්ජාලයක් වන ලකුණු පෙනෙන්නට තිබෙනවා. එහි ඇති අවාසනාවන්තම දේ වන්නේ රටේ පවතින සැබෑ අවුල පිළිබදව කිසිවක්ම නොතකා හරිමින් වර්තමාන පාලකයන් කටයුතු කරමින් සිටීමයි.

ඊට හොදම උදාහරණය ආණ්ඩුව දුන් සහන මල්ල සහ එක්තරා රාජ්‍ය ඇමතිවරයෙක් ඉවත් කිරීමයි. රටේ පැහැදිලි ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඒ අර්බුදයට පදනම වී ඇත්තේ අද වන විට ගෙවා ගත නොහැකි තරමට අප රටක් ලෙස විදේශීය ණය කන්දක හිරවී සිටීමයි. ඒ සඳහා මේ පාලකයන් කිසිදු විසදුමක් මේ දක්වාම ඉදිරිපත් කර නැහැ. 

ඒ වගේම අද වන විට රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සේවාවන්හි බරපතළ හිඟයක් ඇති වී තිබෙන අතර එම හිඟය දවසින් දවස වර්ධනය වන බවක් පේනවා. ඒකට විසදුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000ක දීමනාවක් ලබාදීම නොවේ. එවැනි දීමනා ලබාදීමට හිතු හිතු පරිදි මුදල් අච්චු ගසමින් ඉන්නවා. එමගින් අත්විය හැකි ප්‍රතිඵලය වන්නේ මේ අර්බුදය තව තවත් දරුණුවීම පමණයි. කෙටියෙන්ම කියනවා නම් අද කබලක රත් වෙමින් සිටින ජනතාව ලිපට ඇද දැමීම පමණයි.

රටේ කෘෂි කර්මය මුහුණදී ඇති අර්බුදයද එසේමයි.  ඒ නිසා අද වන විට ඉතාමත්ම පැහැදිලිව රට දැවැන්ත අර්බුදයකට තල්ලු වෙලා. ඒ වගේම දේශපාලන අර්බුදයක මුව දොර සිටිනවා. ඒක ඉතාමත්ම පැහැදිලියි. ඒ සමගද දැවැන්ත අති බිහිසුණු සමාජ අර්බුදයක් කරාද ගමන් කරමින් තිබෙනවා. මේ කිසිවකට වත්මන් පාලකයන්ට විසදුම් ඇති බවක් පෙනෙන්නට නැහැ. 

ඒ නිසා මේ බිහිසුණු තත්ත්වය අවබෝධ කර ගෙන අවශ්‍ය නිසි විසඳුම් සොයා ගැනීමට රටේ වගකීමක් ඇති සෑම පාර්ශවයකටම බරපතළ සමාජ වගකීමක් පැවරී තිබෙනවා. මේ සිදු වෙමින් තියෙන විනාශයෙන් රටත්,ජනතාවත් මුදා ගැනීමට නම් පළමුව මේ අර්බුදයේ ගැඹුර නිවැරදිව තේරුම් ගත යුතු වෙනවා. එහිදී මේ රටේ ජනතාව හීන ලෝකවල අතරමං කළ යුතු නැහැ.

ඒ නිසා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශ්වාස කරන අන්දමට මේ දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒමට ඇත්තේ එකම එක මාර්ගයයි. එහි පළමු පියවර විය යුත්තේ රටේ සියලුම දේශපාලන බලවේග එක්සත්ව ඒ සඳහා පෙනී සිටීමයි. ඊට පළමුවෙන්ම ඉදිරිපත් විය යුත්තේ රජයයි. අප මේ කියන්නේ ජාතික ආණ්ඩුවක් කියන පටු අදහසකින් නොවේ. ඒකත් පැහැදිලිව කියන්න ඕන. මොකද මේ වගේ අසීමාන්තික විධායක බලයක් සහිත ජනාධිපතිවරයෙක් යටතේ ජාතික ආණ්ඩුවක් කියන්නේ තවත් එක් මායාකාරී රූකඩයක් පමණයි. නමුත් සියලු දේශපාලන පක්ෂවලට එකට එකතු වෙලා ජාතික එකඟත්වයකට ඒමට හැකියාවක් තියෙනවා. ඒකට අලුතෙන් ආණ්ඩු හදන්නම ඕන වෙන්නේ නැහැ. 

ඒ වගේම රට ඇද වැටී ඇති මෙම අර්බුදය මෙම ක්‍රමය පවත්වා ගෙන යන තෙක්ම වර්ධනය වෙනවා මිසක අවසන් වන්නේ නැහැ. ඒ නිසා ජනතාවට වගකිමක් ඇති ජනතාවගේ බලය නියෝජනය වන පාලන ව්‍යුහයක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යුහයක් පිළිබදව අන් කවරදාකටත් වඩා අප අවධානය යොමු කළ යුතුයි. 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් මහ ජනතාවගේ බලය තම නියෝජිතයන් හරහා පාර්ලිමේන්තුව මඟින් මෙහෙය වන ආණ්ඩු ක්‍රමයක් කරා අප යොමු විය යුතු වෙනවා. මේ අනතුර ගැන ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, සිරිමාවෝ බණ්ඩාරනායක, ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක වැනි කෘත හස්ත දේශපාලන නායකයන් රටට පෙන්වා දුන්නේ 1978 වසරේ සිටමයි. 

මේ රටේ ජනතාව ද ඒ කෙරෙහි අවධානයක් යොමු කරන බවක් ඒ කාලයේ සිටම පෙනෙන්නට තිබුණා. නමුත් බල ලෝභී පටු ආත්මාර්ථකාමී දේශපාලකයන් තමන්ගේ සහ තම පවුලේ බලය සඳහා එය ආයුධයක් කර ගත්තා. අද අප අත්විදින්නේ එහි භායානක ප්‍රතිඵලයි. ඒ නිසා මේ ක්‍රමය වෙනස් නොකර කවදාවත් රටට යහපතක් බලාපොරොත්තු වෙන්න එපා.
 

Advertiesment