Friday 4th of October 2024

English Tamil
Advertiesment


කෝටි 22900 සහන මල්ලෙන් කළ යුතුව තිබුණේ කුමක්ද..?


2022-01-05 14330

 

සුසිල් ප්‍රේමජයන්ත ධූරයෙන් පහ කිරීම නම් නොවේ 

 

කළු කඩ නිසා අහිමි වන ඩොලර් රටට ඇද ගැනීමට එම මුදල් යෙදවීමයි 

 

මුදල් ඇමතිගේ ජනප්‍රිය තීන්දු සහ ජනපතිගේ ජනප්‍රිය නොවන තීන්දු පරස්පරයි 

 

ජනපති කළ යුතුව තිබුණේ කුමක්ද..?

 

 
 (නුවන් මොණරවිළ)

 

රටේ මේ වෙලාවේ තිබෙන ලොකුම අර්බුදය ඩොලර් හිඟය ද, එසේ නම් ඊට අදාළ පිළියම්වලට උපාය තෝරනවද, නොඑසේ නම් රටේ මේ වෙලාවේ තිබෙන්නේ රාජ්‍ය සේවක සේවිකාවන්, විශ්‍රාමිකයින් සහ සමෘද්ධි ලාභීන් විතරක් මුහුණ දෙන ජීවන අර්බුදයක්ද, එසේත් නොමැති නම් රටේ ලක්ෂ 220ක් වන සමස්ත ජනතාව විසින් ලක්ෂ 17ක් විතරක් ජීවත් කර වන්න කැප විය යුතු ද යන්න විමසිය යුතුය.

රජයේ සමස්ත සහන මල්ල රුපියල් කෝටි 22900කි. රටේ විනිමය පාලනය අනුව ඩොලරය වානිජ්‍ය බැංකු හරහා නීත්‍යානුකූලව රටට එවන විට විදේශවල උපයන මිනිස්සුන්ට වන පාඩුව ඩොලර් එකකට රුපියල් 40 විතර වේ. ඉතිං ඒ නිසා මිනිස්සු නීත්‍යානුකූල නෙවෙන උපක්‍රම හරහා කළු කඩයෙන් ඒ මුදල ලබා ගන්න ක්‍රමවලට ඩොලරය මාරු කරති.

විගමනික ශ්‍රමිකයෝ මාසිකව ඩොලර් මිලියන 600ත් 650ත් අතර ප්‍රමාණයක් රටට එවති. කෙසේ නමුත් ගෙවුණු මාස දෙක ඇතුළත ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 250ත්-300ත් අතර ප්‍රමාණයකි. මාසයකට ඉන්ධන සදහා රටට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 300කි. ඩොලර් නොමැති නිසා බොරතෙල් ලබා ගැනීමට නොහැකිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දමා තිබේ. 

ඒ අනුව මේ අවස්ථාවේ දී මුදල් අමාත්‍යංශය සිය උපාය මාර්ග ක්‍රියාත්මක කළ යුත්තේ, පුනරාවර්ථන වියදම වැඩි කර ගන්න මාර්ගවලටද, නොඑසේ නම් ජාතික ආදායමේ අහිමි වන කොටස් රටට ඇදලා ගන්නද කියන තර්කයට මතු වේ. මුදල් අමාත්‍යංශය ගන්න තීන්දු වලින් රට අභ්‍යන්තරයේ ඩොලරයට කළු කඩ මිල නියම වීම නිසා අහිමි වන ඩොලර් ප්‍රමාණය රටට ඇද ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා මේ කෝටි 22900 වියදම් කළා නම්, බංගලිදේශයෙන් ණයට ගත් ඩොලර් මිලියන 200 ගෙවන්න මාස තුනක සහන කාලයක් ඉල්ලන්න අවශ්‍ය නොවේ. 

මේ වෙලාවේ ලක්ෂ 15 වන විගමනික ශ්‍රමිකයන් උපයන මුදල නීත්‍යානුකූලව රටට ඇද ගැනීම සඳහා මෙම කෝටි 22900 සහන මල්ල යොදවනවා ද, නොඑසේ නම් රටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා එම මුදල සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් ඉපයීම සඳහා ඊට යොදවනවා ද, එසේත් නොමැති නම් 2023 අය-වැය ඉදිරිපත් කරන තෙක් රාජ්‍ය සේවකයා පමණක් සතුටු කරනවද යන තීන්දුවලින් රටට-ජනතාවට වඩා වාසි කිනම් තීන්දුව ද යන්න රජය තීරණය කළ යුතුය. රට වෙනුවෙන් ජනප්‍රිය ⁣නොවන තීන්දු ගන්නවා යැයි ජනපති කියන විට මුදල් ඇමති හුදු ජනප්‍රිය කරණයට පමණක් තීන්දු ගැනීම එකිනෙකට පරස්පරය. රජයේ මේ තීන්දු තීරණ කන බත් පතට පවා බදු ගෙවන රටේ සාමාන්‍ය ජනතාවගේ විවේචනයට බදුන් වේ.   

රුපියල් 5000ක් වැඩි කළත් ඊට සාපේක්ෂව භාණ්ඩ සහ සේවා මිල ගණන් තවත් වටයකින් ඉහළ යන තත්ත්වය හමුවේ ඊළඟ අය-වැය කිට්ටු වන විට ජීවන වියදමට සරිලන වැටුප් වැඩි වීම් ඉල්ලා උද්ඝෝෂණ සහ වර්ජන රැල්ල යළිත් වතාවක් මහා මඟට පැමිණෙනු ඇත.

 

 

Advertiesment