Sunday 23rd of January 2022

English Tamil
Advertiesment


ආණ්ඩුව මහා මුරුගසන් වර්ෂාවට අසු වෙලා 


2022-01-04 2720

 

පිස්සු නටන්නේ ඒ නිසයි..! 

 

කෝටි 22,900ක් අච්චු ගසා බෙදනවා කියන්නේ මැතිවරණයක් ළඟ ළඟම එනවා කියන එකයි 

 

කෘෂිකර්ම "Fail" කිව්වා විතරයි සුසිල් ප්‍රේමජයන්ත පැන්නුවා  

 

 

මේ ආණ්ඩුව කල්ප අවසානයේ වහිනවා කියන මහා මුරුගසන් වර්ෂාවට අසුව ඇතැයි ද, නායකයින්, ඇමතිවරුන් සහ නිලධාරීන් පිස්සු නටන්නේ ඒ නිසා යැයි ද දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මේ බව කියා සිටී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.
 
මේ රට අද කල්පාවසානයේ වහිනවා කියන මහා මුරුගසන් වරුසාවට අහු වෙලා වගේ. මහා මැරුගසන් වැස්නට අහු වුණාම මිනිස්සුන්ට පිස්සු හැදෙනවාලු.  ළඟ ඉන්න මිනිහා පෙනෙන්නේ සතෙක් වගේ ලු. සාහිත්‍ය කතාවල කියනවා, මහා මුරුගසන් වැස්ස වැටිලා පිස්සු හැදුණට පස්සේ එකිනෙකා මාරා ගෙන ඒ රටේ-ලෝකයේ සතා සිව්පාවා සහ ගහ කොළ පවා විනාශ වෙනවාලු.

මේ ආණ්ඩුවත් මේ වන විට මහා මුරුගසන් වරුසාවට අහු වෙලා වගේ. විශේෂයෙන්ම කෘෂිකර්ම කේෂ්ත්‍රයට අදාළ සියලුම දෙනා මහා මුරුගසන් වැස්සට අහුවෙලා පිස්සුවැටිලා වගේ වැඩ කරන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය කියන්නේ පිස්සන් කොටුවක්. එහි සිටින ඇමතිලා සහ ලේකම්ලා දන්නේ කෘෂිකර්ම ප්‍රශ්නයට උත්තර සොයන මිනිස්සු සහ නිලධාරින් එළවන්නයි. ඒ අයගේ රස්සාව නැති කරන්නයි විතරයි. රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය "Fail" කිව්වා විතරයි ජනාධිපති ඔහුගේ ඇමතිකම ගැලෙව්වා. 

රසායන පොහොර වෙනුවට කාබනික පෙහොර ආදේශනය කරන්න කිව්වා. ඒ අනුව මේ වන විට වැව්වල රොන්මඩ, කසල තේ, කිරි මැටි සහ වැලි පස් කවලම් කරලා පොහොර කියලා විකුණනවා. පළිබෝධ නාශක කියන්නේ වානිජ්‍ය කෘෂිකර්මයට අත්‍යවශ්‍ය රසායන ද්‍රව්‍ය වර්ගයි.  ශ්‍රී ලංකාවේ කාබනික පළිබෝධක නාශක කියලා නිල පිළි ගැනීමක් තියෙන්නේ එකම එකකට විතරයි. වාණිජ්‍ය වගාවේ කෘමි හානි වළක්වන්න කාබනික උපක්‍රමයක් නෑ.  කාබනික වල් නාශක කියලා ජාතියක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරලා නෑ.  කාබනික දිලීර නාශක කියලා ජාතියක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරලා නෑ. 

රට පුරාම ගොයම් වගාව බලා ගෙන ඉද්දී වල් නාශක නැතිව විනාශ වෙනවා. කාබනික වල් නාශක නෑ කියලා, කවුරුවත් තවම ජනාධිපතිට සහ කෘෂිකර්ම ඇමතිට කියලා නෑ. සෑම එළවළු, පළතුරු, මල් වගාවක්ම කෘමි හානියකට ලක් වෙනවා. කාබනික කෘමි නාශක කියලා ජාතියක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරලා නෑ කියලා ජනාධිපති දන්නෙත් නෑ. ඇමති දන්නේත් නෑ. රටේම භෝග වගා ටික පණුවෝ, කුඩුස්සෝ සහ පිපියෝ කාලා විනාශ කරනවා. මහවැලි කලාපයම දුඹුරු පැල කීඩෑ උවදුරට ලක්වීමේ අවදානමකට ලක්ව තිබෙනවා. 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අත්පොත්වල තියෙනවා දුඹුරු පැල කීඩෑ උවදුර නිසා උපරිම වශයෙන් වගා අස්වැන්නෙන් 80% ක් දක්වා විනාශ වෙනවා කියලා.  මහවැලි එච් සහ සී කලාපවල වගේම නැගෙනහිර පළාතේ වගාව දුඹුරු පැල කීඩෑ උවදුරට ලක් වුණොත් බත් කාලා ඉවරයි. තුන් වීලා කන්න බතල සහ කිරි අල ආදිය හදා ගන්න වෙයි. 

දිලීර නාශක නැති නිසා තමයි අද එළවළු පළතුරු මිල අහස උසට ගිහින් තියෙන්නේ. උඩරට එළවළු හැදෙන නුවරඑළිය, වැලිමඩ, බදුල්ල, හපුතලේ සහ හාලිඇළ පැතිවල ගිහින් බලන්න.  හැදෙන බෝංචි කරල වත්තේ කුණු වෙනවා. අල වර්ග හැදෙන්නේ නැත්තේ දිලීර රෝග නිසා. නමුත් මහා මුරුගසන් වැස්සට තෙමිච්ච දේශපාලනඥයින් සහ නිලධාරින් දන්නේ නෑ කාබනික දිලීර නාශක කියලා ජාතිකයක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරලා නෑ කියලා. 

ගොවිතැන් කරනවා කියන්නේ විද්‍යාවක්. ඒ කෘෂි විද්‍යාව මේ වන විට පාලනය කරන්නේ කල්ප විනාශ වැස්සට අහු වෙලා පිස්සු හැදුණු කණ්ඩායමක්. 
ආය අලුතෙන් රටට සාගතයක් එන්න දෙයක් නෑ. මේ වන විටත් සාගතය ඇවිත් ඉවරයි. ආණ්ඩුව රුපියල් 5000 බැගින් බෙදන්න යනවා. රුප[රුපියල් 5000ක් කියන්නේ මොකක්ද..?  එළවළු කිලෝ 10ක මිල. මාළු කිලෝ පහක මිල. හතර දෙනෙක් ඉන්න පවුලකට දවසකට හාල් කිලෝ  1 ½ ක් අවශ්‍යයි. මාසෙකට හාල් කිලෝ 45 යි. අද තියෙන මිලට හාල් විතරක් වත් ගන්න බෑ. 

මේ ආණ්ඩුව කරන්නේ සල්ලි අච්චු ගහලා බෙදන එක විතරයි. සල්ලි අච්චු ගැහීම ගැන ව්‍යවහාරික සංකල්පය තමයි, එක රුපියලක් අච්චු ගැහුවාම රුපියල් 8ක් හුව මාරුවට එකතු වෙනවා කියන එක. මේ ආණ්ඩුව බලයට එද්දී, රටේ රුපියල් අර්බුදයක් තිබුණේ නෑ.  2021, ගිය අවුරුද්දට විතරයක් රුපියල් බිලියන 278 ක් අච්චු ගහලා තියෙනවා. 2020 ජනවාරි සිට මේ දක්වා මාස 24 ට රුපියල් බිලියන  1,342 ක් අච්චු ගහලා තියෙනවා.   

සල්ලි අච්චු ගැහුවාම එකේ බලපෑම උද්ධමනයට-රටේ ආර්ථිකයට දැනෙන්න මාස 7-10 ක් අතර කාලයක් යනවා. අද මේ බඩු මිල ඉහළ යන්නේ පසු ගිය මහ මැතිවරණ සමයේ බෙදපු රුපියල් 5000 කොළවලින් ඇති කරපු උද්ධමනය නිසයි. එසේ නොමැතිව ගිය අවුරුද්දේ අච්චු ගහපු සල්ලිවලින් ඇති කරපු උද්ධමනය නිසා නෙවෙයි. ආණ්ඩුව සඳුදා (03) කෝටි 22,900 ක සහන පැකේජ් එකක් නිවේදනය කළා. මේ සල්ලි ලැබෙන ක්‍රමයක් ගැන අය වැයේ නෑ. ආදායම් උපයන්නේ නැතිව සල්ලි බෙදනවා කියන්නේ ඒ සල්ලිත් අච්චු ගහන්න ඕනි කියන එකයි. ආණ්ඩුව සල්ලි බෙදන්න හදනවා කියන්නේ ඡන්දයක් ළඟ ළඟ ම එනවා කියන එකයි. 
 

Advertiesment