Sunday 23rd of January 2022

English Tamil
Advertiesment


පාර්ලිමේන්තු ක්‍රමයක ස්වාධීන කොමිෂන් සභා


2022-01-02 1199

 

රොහාන් සමරජීවගෙන් වික්ටර් අයිවන්ට පිළිතුරක්..!  

 

 
(මහාචාර්ය රොහාන් සමරජීව) 

 

බොහෝ දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා රචනා ලියමින් යෝජනා ඉදිරිපත් කළ ද, ඍණාත්මක හෝ ධනාත්මක හෝ කිසිදු ප්‍රතිචාරයක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වේ. බොහෝ ප්‍රතිචාර මතු කර ගැනීමට අපගේ යෝජනාවන්ට හැකි වීම පිළිබඳව  සාධාරණ සමාජයක්  සඳහා වන ජාතික ව්‍යාපාරයේ අපි තෘප්තිමත් වෙමු. පාර්ලිමේන්තු ක්‍රමයේ මූලික ලක්ෂණ තේරුම් ගැනීමට නොහැකි මෝඩයන් ලෙස හඳුන්වනු ලැබීම ප්‍රසාදජනක නොවුව ද, නොතකා හැරීමට වඩා එවන් ප්‍රතිචාර පවා හොඳය.

පත් කිරීමේ සහ අනුමත කිරීමේ අධිකාරියේ බහුතර සාමාජිකත්වය, ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදෙන තැනැත්තන්ගෙන් සැදුම්ලත් ව්‍යවස්ථා මණ්ඩලයක් සමග, ස්වාධීන කොමිසන් සභා පත් කිරීම ගැන ඔවුන් දක්වන අමනාපය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කරන මෙම ප්‍රතිචාරය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ යෝජනා සම්බන්ධයෙන් වික්ටර් අයිවන් මහතාගේ විවේචනය සම්බන්ධයෙනි.

ස්වාධීන කොමිසන් සභා පිළිබඳ වික්ටර් අයිවන් මහතාගේ විවේචනය කොටස් දෙකකින් යුක්ත ය. පළමුවැන්න නම්, පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ සංවරණ සහ තුලන ක්‍රම ලෙස ඒවා නොගැලපේය යන්න යි. දෙවැන්න නම්, 17 වැනි සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ එම කොමිෂන් සභා අසාර්ථක වූ බව යි.

 
පාර්ලිමේන්තුව තුළින් වගවීම ප්‍රමාණවත් නැත 

 

පළමුවන විවේචනය පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ යම් පරමාදර්ශී සංකල්පයක් මත පදනම් වී ඇති බව පෙනී යන අතර එමගින් අදහස් කරන්නේ, පාර්ලිමේන්තුවට අගමැති සහ කැබිනට මණ්ඩලය වග වීමට යටත් කිරීම මගින් අමතර අතිරික්ත සීමා කිරීම් ඇති කරන බව පමණක් නොව, එම තත්ත්වය හානි කර බව යි. 

නියාමන ආයතනවල සාමාජිකයින් පත් කිරීම සහ ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ සහ කැබිනට් මණ්ඩලයේ බලය සීමා කළ අවස්ථා බොහෝ  රටවල ඇති  බැවින්, මෙම ප්‍රකාශය පුදුමයට හේතු වී ය. මගේ මුලික විශේෂඥතාවය ඇති ක්ෂේත්‍රය වන්නේ මහජන උපයෝගිතා නියාමනය සම්බන්ධයෙන් ආණ්ඩුවලට උපදෙස් දීම සහ ඉගැන්වීම යි.

මෙම පරමාදර්ශී සංකල්පය පැමිණියේ කොහෙන්දැයි මම පුදුම වෙමි. එක් පාර්ලිමේන්තුවකට අනාගත පාර්ලිමේන්තුවක් බැඳීමකට ලක් කළ නොහැකි බවටත්, ඇමතිවරුන්ගෙන් පත් කිරීම් ලැබූවන් එම කැමැත්ත ඇතිතාක් පමණක් සේවය සලසන බවටත්, 1970 ගණන්වල උගත් දෑ සහ කියවූ පොත් මගේ මතකයට එයි. නමුත් අන් සැම දේ වගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා න්‍යාය සහ භාවිතය ද එක තැන පල් වන්නේ නැත. එම න්‍යාය සහ භාවිතය ද ගතික ලෙස වෙනස්වේ.

විශේෂ තත්ත්වයන් යටතේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හැරුණු විට කල් තබා මැතිවරණ පැවැත්වීමට ඉඩ නොදීම මගින්, 2011 ස්ථාවර කාල පාර්ලිමේන්තු පනත මගින්, පාර්ලිමේන්තු ක්‍රමයේ මාතාව ලෙස සලකන බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුව විසින් අනාගත පාර්ලිමේන්තුවල අත් බැඳ දමනු ලැබී ය. පාර්ලිමේන්තුවට වගවීම දිගටම තිබියදී, ඇමතිවරුන්ගේ සහ කැබිනට් මණ්ඩලයේ අභිමතයට සීමා පනවමින්, එක්සත් රාජධානිය සහ කැනඩාව රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට කරන පත්කිරීම් නියාමනයට කාර්යාල පිහිටු වනු ලැබී ය.

ශ්‍රී ලංකාවේ 1991 විදුලි සංදේශ පනත අනුව, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය කැමැත්ත ඇති තාක් පමණක් සේවය කරන අතර (එනම්, ඔහු හෝ ඇය හේතුවක් නොදක්වා ඉවත් කිරීමේ හැකියාව ඇත) කොමිසමේ අනිකුත් සාමාජිකයින් ඉවත් කළ හැක්කේ සුවිශේෂී හේතු යටතේ පමණකි. 2003 මහජන උපයෝගිතා කොමිසම ස්ථාපිත කළ පනත අනුව, අනම්‍ය පත් කිරීම් ක්‍රියාවලියක් සහ බහුතරයකගේ සහය හිමි වන පාර්ලිමේන්තු ප්‍රකාශයකින් කූඨ ප්‍රාප්ත වන දැඩි ඉවත් කිරීමේ ක්‍රියාවලියක් යන දෙක ම විශේෂිත ලෙස ඇතුළත් වී ය.

විදුලි සංදේශ, විදුලිය සහ එබඳු යටිතල පහසුකම් සේවා ස්වාධීන නියාමනයට යටත් කිරීම පාර්ලිමේන්තු ක්‍රම ඇති රටවල දශක ගණනාවක් තිස්සේ සිදු වෙමින් පවතියි. මෙම ප්‍රාග්ධන සුක්ෂම අංශවල නියාමකයින් ගන්නා තීරණ, සියලු පුරවැසියන්ට නොවේ නම්, බහුතරයකට බලපාන නිසාත් ආයෝජන තීරණ කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරන නිසාත් පත් කිරීමේ ක්‍රියාවලියේ දී අභිමතයේ බලපෑම් සීමා  කරමින් සහ පත් කළ පසුව ඔවුන් ඉවත් කිරීම දුෂ්කර බවට පත් කරමින්, නියාමකයින්ට ස්වාධීනත්වය සඳහා විශාල ඉඩකඩක් ලබාදීම සාමාන්‍ය පිළිවෙතකි. ඊට හේතුව නම්, රිසි පරිදි ඔවුන් ඉවත් කිරීමට හැකියාව ඇත්නම්, දේශපාලකයින්ගේ කෙටි කාලීන ලැදියාවන්ට සේවය කිරීමේ දිරි ගැන්වීමක් නියාමකයින්ට ඇති විය හැකි බැවිනි. මෙම අභිමතානුසාරී අධිකාරය, සම්භාව්‍ය පාර්ලිමේන්තු ක්‍රමයකින් සපයන ව්‍යාකූල සම්බන්ධතා මගින් නොව, ක්‍රියා පටිපාටිමය නීති සහ විනිවිදභාවය මගින් සීමා විය යුතු ය.

ඒ අනුව ප්‍රශ්නය වන්නේ විදුලි ගාස්තු තීරණය කිරීමට සහ සංඛ්‍යාත බෙදා දීමට වග කිව යුතු අයට සම්මතයක් වී ඇති ක්‍රියා පටිපාටි සහ ආරක්ෂණ ආදිය මැතිවරණ පැවැත්වීම, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ප්‍රසිද්ධියට පත් කළ යුතු තොරතුරු මොනවාද යන්න තීරණය කිරීම සහ එවැනි වෙනත් දේ ගැන වග කිව යුතු අයට ද භාවිතා නොකරන්නේ කුමක් නිසාද යන්න යි. අපගේ විවේචකයා ද සඳහන් කරන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගුණාත්මක තත්ත්වය හොඳ මදි බවයි. එම යථාර්ථය සැලකිල්ලට ගත් විට, පාර්ලිමේන්තු වගවීම පිළිබඳ පරමාදර්ශී සහ යල් පැන ගිය සංකල්ප මත රඳා පැවැත්ම ප්‍රඥාගෝචර නොවේ. ශ්‍රී ලංකාවේ පවතින යථාර්ථය පිළිබඳ එම අවබෝධය සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව වර්ධනය වන සංකල්ප, ස්වාධීන කොමිසන් සභා පිළිබඳ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ යෝජනාවලට තාර්කිකත්වය ගොඩනගයි.

 
ස්වාධීන කොමිසන් සභා අත්හදා බලා අසාර්ථක වී තිබේ ද..?
 

වික්ටර් අයිවන් මහතාගේ දෙවැනි විවේචනය නම් 17 වැනි සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ ස්වාධින කොමිසන් සභා අත්හදා බලා අසාර්ථක වී ඇති බව යි. මෙම නිගමනයට ඇති පදනම කුමක් ද..?  2004 දී මා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ සිටිය දී, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කිරීමට අදාළ ඇමතිවරයාගේ පළමු නාමිකයින්ගේ ලිපි ගොනු මා විසින් සකස් කරනු ලැබ ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන ලද්දේ, නුසුදුසු තැනැත්තකු ලෙස මට පෙනීගිය අයකුගේ ද ලිපි ගොනුවක්ද සමග ය. 

පැහැදිලිව ම නුසුදුසු බව මා සැලකු තැනැත්තා හැර අන් සියලු දෙනා පත් කිරීමට ලැබුණු තීරණයෙන් මම තෘප්තියට පත්වීමි. මෙම ප්‍රයෝගික මැනීම අනුව ක්‍රමය සාර්ථක ය. දුර්වලතාවය වන්නේ 17 වැනි සංශෝධනය යටතේ ව්‍යවස්ථා සභාව යනු රබර් මුද්‍රාවක් ය යන අනුමානයට ඉඩ තබමිහ්, ප්‍රතික්ෂේප කළ ප්‍රමාණයන් ප්‍රසිද්ධියට පත් නොකිරීම යි. එමෙන් ම, ව්‍යවස්ථා සභාව හුදු රබර් මුද්‍රාවක් පමණක් නම්, මෙම අනුමත කිරීමේ ක්‍රියාවලියට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ තරම් විරුද්ධ වුයේ ඇයි..? 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම ව්‍යවස්ථා සභාව අහෝසි කළේ ඇයි..?

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇතැම් නාම යෝජනා ව්‍යවස්ථා සභාවෙන් අනුමත නොවූ බව ප්‍රසිද්ධ කාරණයකි. එසේ නම්, ව්‍යවස්ථා සභාවේ පත් කිරීම් ක්‍රියා පටිපාටි දෝෂ සහිත බවට හෝ ස්වාධීන කොමිසන් සභා අසාර්ථක වූ බවට කරන ප්‍රකාශවලට ඇති පදනම කුමක් ද..? ඊට හේතුව පත්වීම් ලද අයට වික්ටර් අයිවන් මහතාගේ පෞද්ගලික අනුමැතිය නොලැබීම ද..?  2004 දී මහජන උපයෝගිතා කොමිසන් සභාවට කළ සියලු පත් කිරීම් ගැන මම පෞද්ගලිකව කැමති නොවුයෙමි. එසේ වුව ද, ක්‍රියා පටිපාටිය දෝෂ සහිත බව එමගින් අදහස් නොවේ. එම ක්‍රියා පටිපාටිය දෝෂ සහගත විය හැක්කේ අදාළ නීති මගින් පනවා ඇති නිර්ණායක සපුරාලීමට පැහැදිලිව ම අපොහොසත් තැනැත්තන් තේරී පත් වුවහොත් පමණකි. විවිධ විචාරකයන්ගේ අනුමැතිය හිමිවීම හෝ නොවීම නිර්ණායකයක් නොවේ.

 
විවේචනය වලංගු ද..?

 

ස්වාධීන කොමිසන් සභා පිහිටුවීමේ යෝජනාව සහ ව්‍යවස්ථා සභාව කේන්ද්‍ර කර ගත් පත් කිරීමේ පටිපාටිය සම්බන්ධ විවේචනයට වටිනාකමක් නැති බව පෙනෙන්නට තිබේ. කිසිදු රටක් ජනාධිපති ක්‍රමයකින් පාර්ලිමේන්තු ක්‍රමයකට ගමන් කොට නැති බවට සහ ඉහළ තනතුරුවලට සුදුසු පත් කිරීම් සහතික කිරීමට දෙවැනි මන්ත්‍රණ සභාවකට හැකියාව ඇතැයි වැනි ප්‍රකාශ මගින් කෙරෙන විවේචන පෙන්නුම් කරන්නේ එම විවේචන පදනම් වී ඇත්තේ දැනුම අඩුකම හෝ අවුල් මානසිකත්වය මත බව යි.

අපගේ අසල්වැසියකු, ණය හිමියෙකු සහ "SAARC" සංවිධානයේ සහෝදර සාමාජිකයකු වන බංග්ලාදේශය, 1975 දී පාර්ලිමේන්තු ක්‍රමයක සිට ජනාධිපති ක්‍රමයකට ගිය අතර 1991 දී ආපසු පාර්ලිමේන්තු ක්‍රමයකට ගියේ ය. ඕනෑම කෙනෙකුට මෙම තොරතුරු පහසුවෙන් අන්තර්ජාලයෙන් ලබා ගත හැකි ය. කෙසේ වෙතත් මේ තත්ත්වයෙන් මතු කරන තර්කය කුමක් ද..? කලින් කිසිවකු එම පරිවර්තනය නොකළ නිසා අපි පැහැදිලිව ම අක්‍රිය ජනාධිපති ක්‍රමය දිගට ම පවත්වා ගෙන යා යුතු බව ද..? 

මධ්‍යම ආණ්ඩුව සහ පළාත් අතර සහසම්බන්ධතාවය දියුණු කිරීම සඳහා අප යෝජනා කළ, පළාත් සභාවලින් තේරී පත්වූ තැනැත්තන්ගෙන් සැදුම්ලත් දෙවන මන්ත්‍රණ සභාව, ඉහළ තනතුරුවලට ගුණාත්මක බවින් යුතු පත්වීම් සහතික කළ හැකි ආයතනය ලෙස සලකන්නේ කුමක් නිසාද යන්න කුතුහලය දනවන සුළු ය. ස්වාධීන කොමිසන් සභා යෝජනා කිරීම ගැන අපට දොස් පැවරීමෙන් පසුව වික්ටර් අයිවන් මහතා කියන්නේ "ඵලදායි සෙනෙට් මණ්ඩලයක් පවතින්නේ නම්, මැතිවරණ, රාජ්‍ය සේවය, අධිකරණය, විගණනය සහ දුෂණ විරෝධී පරීක්ෂණ ආදී ක්ෂේත්‍ර කිහිපයකට පමණක් නිත්‍ය ස්ථාවර කොමිෂන් අවශ්‍ය වනු ඇත. අනෙක් කොටස් සියල්ල සෙනෙට් මණ්ඩලයට ආවරණය කළ හැකි ය." යනුවෙනි. එමගින් ඔහු විසින් ඔහුගේම තර්කය නිශේධ කරනු ලබයි. 

පළමුවැන්න, වැදගත් සංවිධානවල, තීරණ ගන්නා ජ්‍යෙෂ්ඨ තනතුරුවලට සුදුසුකම් ඇති සහ අපක්ෂපාතී තැනැත්තන් පත් කිරීම සහතික කිරීමට, පළාත් සභා මගින් පත් කරනු ලැබූ දෙවන මන්ත්‍රණ සභාවකට ඇති විශේෂ හැකියාව කුමක්ද..?  දෙවැන්න, "නිත්‍ය ස්ථාවර කොමිසන් සභා" නම්‍යශීලී පාර්ලිමේන්තු ක්‍රමයක් සමග ගැළපෙන්නේ සහ අප යෝජනා කරන ස්වාධීන කොමිසන් සභා නොගැළපෙන්නේ ඇයි..? මෙම කොමිසන්වලට පත් කිරීම් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහි දී මතු නොවන්නේද..? ඒවා පත් කරන්නේ (ඔහුගේ අවබෝධය අනුව පාර්ලිමේන්තුවට සම්පුර්ණයෙන් වග කියන) කැබිනට් මණ්ඩලය ද..? 1972 සහ 1978 ව්‍යවස්ථා යටතේ කළ කැබිනට් මණ්ඩල පත් කිරීම් ඉහළම අයුරින් කෙරුණාද..?  මෙම ක්‍රමය අත්හදා බලා අසාර්ථක වී නැද්ද..? ව්‍යවස්ථා සභාව වැනි ඉහළ ම පත් කිරීමේ සහ අනුමත කිරීමේ අධිකාරීයක අවශ්‍යතාවයට වටයක් කරකැවී ආපසු එන්නට මෙමගින් සිදු නොවන්නේ ද..? 
 

Advertiesment