Monday 20th of January 2025

English Tamil
Advertiesment


කුරුඳු තෙල් කර්මාන්තයත් කපෝතියි 


2021-12-20 14376

 

කුරුඳු කියන්නේ රටට ඩොලර් පොම්ප කරන කර්මාන්තයක් 

 

කුරුඳු ආශ්‍රිත රැකියා අහිමි වෙලා 

 

රසායනික පොහොර ප්‍රශ්නය හේතුවයි 

 
 
(ජයකාන්ත ලියනගේ)  

 

කුරුඳු කොළ සපයා ගැනීමේ අපහසුතාවය හේතුවෙන් කුරුඳු තෙල් කර්මාන්තය පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයට පත්ව තිබෙන අතර මේ හේතුවෙන් කුරුඳු තෙල් නිෂ්පාදනයේ නියැලී සිටි විශාල පිරිසකට රැකියා අහිමිවන තත්ත්වයක් උදා වී තිබේ.

මෙතෙක් කුරුදු වගාවට යොදනු ලැබුවේ රසායනික පොහොර බව පවසන කුරුදු වගා කරුවෝ රසායනික පොහොර නොමැති කමින් කාබනික පොහොර වෙනුවට කුරුදු කොළ යෙදීමට පුරුදුව සිටින බව කියා සිටිති. මේ හේතුවෙන් කුරුදු වතු හිමියන් කුරුදු තෙල් නිශ්පාදය සදහා කුරුඳු කොළ නොදෙන බවත් ඔවුහු කියති.

රටේ ඩොලර් හිඟයක් තිබෙන වර්තමානයේ රටට ඩොලර් ගෙනෙන කර්මාන්තයක් වන කුරුඳු කර්මාන්තය රැක ගැනීම සාමූහික වගකීමක් බව කුරුදු තෙල් නිශ්පාදකයෝ කියති. කුරුඳුවල අතුරු නිෂ්පාදනයක් වන්නේ කුරුඳු තෙල්, කුරුඳු කොළ සහ කට්ට පතුරු තැම්බීමෙන් නිපදවන බවද ඔවුහු කියති. කුරුදු තෙල් නිශ්පාදකයෝ සිය පවුල්වල අයගේ කන කර උකස් තබා ආරම්භ කර ඇති තෙල් මෝල් මේ දිනවල පාලුවට ගොස් තිබේ. 

මේ නිසාම එම මෝල්වල සේවය කළ විශාල පිරිසකට සිය රැකියා අහිමි වී ඇත. ඒ අතර කොළ එකතු කරන්නන්, කොළ  ප්‍රවාහනය කරන්නන්, කොළ මිටි බදින අය සහ කොළ තම්බන අයද සිටිති. රුපියල් විසි දහසකට (20,000/-) පමණ මිල දී ගත් අක්කරයක කුරුඳු කොළ මිල ද මේ වන විට වැඩි වී තිබෙන බවත් පොහොර ප්‍රශ්නය වී වගාවට පමණක් නොව සෑම වගාවකටම බලපාල තිබෙන බවත් පවසන කුරුදු තෙල් මෝල් හිමියෝ ඔවුන්ට යම් සහනයක් සලසන ලෙසද රජයෙන් ඉල්ලා සිටිති.

මේ පිළිබදව අදහස් දැක් වූ කුරුදු තෙල් මෝල් හිමියෙක් වන ඌරගස්මංහන්දිය, පොල්අතුපළාතේ පදිංචි හේවගේ බන්දුලරත්න මහතා (49) මහතා මෙසේ පැවසීය.

"මම විවාහකයි. එක දරුවෙක් ඉන්නවා. මම කාලයක සිට කුරුඳු තෙල් කර්මාන්තයේ යෙදෙනවා. ඉස්සර බොහොම හොඳට මේ කර්මාන්තය කර ගෙන ගියා. අපි කුරුඳු කොළවලින් තෙල් හිඳින්නේ. රසායනික පොහොර කුරුඳුවලට නොදෙන නිසා වත්තට පොහොර නැහැ. එහෙම කියල කුරුඳු කොළ දෙන්න වතු හිමියෝ කැමති නැහැ. ඉස්සර ඕන තරම් කුරුඳු කොළ ගන්න පුළුවන්කම තිබුණා. මේ තෙල් මොල් අපි හදල තිබෙන්නේ අතේ සල්ලි තිබිල නොවෙයි. බැංකුවලින් ණය ලබා ගෙන. මාසයකට රුපියල් හතළිස් පන් දහසක් ණය වාරික වශයෙන් ගෙවන්න තිබෙනවා. 

අපි ළඟ හතර පස් දෙනෙක් වැඩ කරනවා. මේ ප්‍රශනය නිසා ඒ අයටත් රැකියා නැති වෙනවා. අපට වෙන රක්ෂාවක් පුරුදුත් නැහැ. මේ වන විට කුරුඳු තෙල් බෝතලයක් රුපියල් දෙදහස් නවසීයට යනවා. මීට පෙර තෙල් බෝතලයක් වුණේ රුපියල් එක් දහස් තුන්සියයි. රසායනික පොහොර ප්‍රශ්නය නිසා තෙල් මිල ඉහළ ගියා. ඉස්සර කොළ තිබුණට තෙල්වලට ඉහළ මිලක් තිබුණේ නැහැ. මේ වන විට තෙල් මිළ ඉහළයි. නමුත් කොළ නැහැ. ඒ කාලයේ ඒ තරම් ලාභයක් තිබුණේ නැහැ. 

කාබනික පොහොරවලින් කුරුඳු වගාව කරන්න බැහැ. අක්කරයකට හය මාසයකට වරක් පොහොර හොන්ඩර් හතරක් දමන්න ඕනෑ. මේ වන විට අවුරුද්දක් තිස්සේ ඉඳල පොහොර නැහැ. කුකුළු පොහොරවල වැඩිපුර තිබෙන්නේ දහයියා. කොම්පොස්ට් පොහොර කියල දෙන්නේ ලි කුඩු, තේ කුඩු සහ දහයියා. කොළ මිටියක් ගන්නේ රුපියල් දෙසිය පනහකට. අක්කරයක් බැගින් ගන්නවා නම් රුපියල් විසි දහසක් වෙනවා. කොළ මිටි ගහන අයට, මිටි බඳින්න අයට සහ ප්‍රවාහනයට ගියාම රුපියල් දෙසිය පනහක් ගන්න කොළ මිටිය තෙල් මෝලට එන විට රුපියල් අටසියයක් විතර වෙනවා" 

 

Advertiesment