අද වන විට රටේ සමස්ත "ණය" ප්‍රමාණය රුපියල් කෝටි දාහත් ලක්ෂ හැට දහස ඉක්මවයි. තමා සපුරා වග කිව යුතු ඕනෑම වරදක් සහ අපරාධයක් කිසිදු හිරිකිතයකින් තොරව අනුන්පිට පවරා දෑත් සෝදා ගැනීම "රාජපක්ෂ අයියලා- මල්ලිලා-පුතාලාගේ ජන්ම පුරුද්දයි. දේශපාලන බලය ඩැහැ ගැනීමටත්, එකී දේශපාලන බලය පවත්වා ගෙන යාමටත් රාජපක්ෂලා මෙතෙක් රට හමුවේ තබා ඇති බොරු කන්ද මෑත කාලයේ පුපුරා විදාරණය වූ මීතොටමුල්ල කුණු කන්දටත් වඩා විශාල ය.
එම බොරුවල මහා දුර්ගන්ධය මේ වන විට රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. එමගින් ගලා යන ඕජස් රට පුරා ගලා යමින් පවතී. රටේ ජාතික ආරක්ෂාව බිංදුවට වැටී ඇතැයි ඒත්තු ගන්වමින් සිය "බල වියරුව" සාක්ෂාත් කර ගනු පිණිස දියත් වූයේ යැයි, වැඩිමනක් ජනතාව විශ්වාස කරන "පාස්කු දින" ප්‍රහාරය ද ඉහත ණය බර සේම කවුරුන්ගේ හෝ පිටින් යැවීමට මේ වන විට විවිධ කුමන්ත්‍රණය සිදු වෙමින් තිබේ.
"Verité Research" ආයතනය මෑතකදී එළි දක්වා ඇති ශ්‍රී ලංකාවේ වත්මන් ණය අර්බුදය පිළිබද සුපරීක්ෂණ වාර්තාව ඇසුරෙන් ජනමාධ්‍යවේදී තරිදු උඩුවෙගෙදර ඉදිරිපත් කළ වීඩියෝ වැඩ සටහන සහ පාර්ලිමේන්තු අය වැය විවාදයේ දී පැන නැගුණු සංඛ්‍යා ලේඛන මේ සටහනට ඉවහල් කර ගතිමි.
යහ පාලන රජයේ අවසන් වසරේ මැද භාගයේදී එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කළේ 2015 ජනවාරි 08 බලයෙන් ඉවත් වන විට, එනම් 2014 වසර අවසන් වන විට රටේ පැවති මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 7.39 ක් හෙවත් රුපියල් කෝටි හත් ලක්ෂ තිස්නව දාහසක් බවයි.
ඉහත ණය ප්‍රමාණය 2019 ජූලි මාසය වන විට රුපියල් ට්‍රිලියන 12.64 ක් හෙවත් රුපියල් කෝටි දොළොස් ලක්ෂ හැට හතර දහසක් පමණ වැඩිවී ඇතැයි ද, එම ණය ප්‍රමාණය තමාගේ කාලයේ තිබූ මුළු ණය ප්‍රමාණය වට වඩා සියයට 71% කින් ඉහළ ගොස් ඇති බවකි. මහින්ද රාජපක්ෂගේ නිවේදනයට අනුව රුපියල් කෝටි හත් ලක්ෂ තිස් නව දහස , රුපියල් කෝටි දොළොස් ලක්ෂ හැට හතර දහසක් දක්වා වැඩිවීම යනු රුපියල් කෝටි පන් ලක්ෂයකට එහා ගිය වැඩි වීමකි.
මේ තරම් විශාල ලෙස ණය බර ඉහළ ගියද තමාගේ කාලයේ වගේ යෝධ සංවර්ධන ව්‍යාපෘති කිසිවක් ඉදි නොවූ බවත්, එසේ නම් එම මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳවත් මහින්ද රාජපක්ෂ ඇතුළු "අයියා-මලෝ- පුතාණෝලාත් ඔවුන්ගේ සියලු සට්ටැඹයනුත් පතුරු ගසන්නට වූහ. ඒ වන විට යහ පාලන රජයේ අගමැති සහ ජනාධිපති අතර පැවැති මහා විරසකය සේම "සජිත්-රනිල්" විරසකය නිසා මහින්ද රාජපක්ෂගේ ව්‍යාජ හෙළිදරව්වට නිසි පිළිතුරු දෙන්නට කිසිවකු සිටියේ නැත. එහෙයින් මහින්ද රාජපක්ෂගේ පට්ටපල් බොරු නිවේදනය ඉතා තදින් සමාජගත විය. 2019 ජනාධිපතිවරණ වේදිකාවේ ද මේ ණය බර කතාව පාස්කු දින ප්‍රහාරයේ කතාව සේම රැව්පිළි රැව් දුන්නේ ය.
"Verité Research" පරීක්ෂණ වාර්තාවට සහ විගණකාධිපති වාර්තාවලට අනුව මහින්ද රාජපක්ෂ පාලන සමය අවසන් වන විට තිබූ ඇත්ත විදේශ ණය ප්‍රමාණය ට්‍රිලියන 7.39 ක් නොව, ට්‍රිලියන 10.00 ට ආසන්නවී ඇත. එනම් රුපියල් කෝටි ලක්ෂ දහයට ආයන්න මුදලකි. මහින්ද රාජපක්ෂගේ නිවේදනයට අනුව එදා මහා භාණ්ඩාගාරයේ සටහන් කර තිබූ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 7.39 ක් වුවද, මහා භාණ්ඩාගාර ගිණුම්වල සදහන් නොකළ වෙනත් විශේෂ ව්‍යාපෘති සදහා ගත් ණය මුදල් ඒ ඒ ආයතනවල ගිණුම්වලට බැර කර සගවා තබා ඇත.
උදාහරණයක් ලෙස නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම සදහා චීනයේ Exim බැංකුවෙන් ඉහළ පොළීයකට ලබා ගෙන ඇති ඩොලර් මිලියන 828 ක (රුපියල් කෝටි 16,500) මුදල් ලංකා විදුලි බල මණ්ඩලයේ ගිණුම්වලට බැරකර තිබේ. තවත් උදාහරණයක් ලෙස හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා චීනයේ Exim බැංකුවෙන් ඉහළ පොළීයකට ලබා ගෙන ඇති ඩොලර් මිලියන 951 ක් හෙවත් රුපියල් කෝටි දහනව දහස ඉක්මවූ මුදල ගිණුම් ගත කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ නොව ශ්‍රි ලංකා වරාය අධිකාරියේ ගිණුමකය.
ඉහත ආකාරයෙන් ව්‍යාපෘති ගණනාවක් සදහා ලබා ගෙන ඇති විදේශ ණය, රාජ්‍ය භාණ්ඩාගාරයේ ගිණුම්ගත නොකොට සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රටේ ජනතාවගෙන් වසන් කර අපේ ණය ප්‍රමාණය මෙපමණකැයි බොරු පුරාජේරු ගැසීම ගැන හොදම උදාහරණය ඉහත කූට නිවේදනය යි. රටේ සමස්ත ණය ප්‍රමාණය මහා භාණ්ඩාගාරයේ ණය ප්‍රමාණයට එකතු නොකොළ තවත් මහා පරිමාණ සුදු අලි ව්‍යෘපෘති ලෙස සූරිය වැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට අන්තර් ජාතික සම්මන්ත්රණ ශාලාව සහ හම්බන්තොට ටෙලි සිනමා ගම්මානය විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයට ද භාජනය වී තිබේ.
ඒ අනුව වර්ෂ 2014 අවසන් වන විට එකතු වී තිබූ සමස්ත ණය ප්‍රමාණය මහින්ද රාජපක්ෂගේ බොරු නිවේදනයට අනුව රුපියල් ට්‍රිලියන 7.39 ක් නොව ට්‍රිලියන 9.95 ඉක්මවා ඇත. එනම් රුපියල් කෝටි දස ලක්ෂයකට ආසන්න ය. යහ පාලන ආණ්ඩුවේ ණය බර ඇත්තටම ඉහළ ගොස් ඇත්තේ 71% කින් නොව , 42% කින්ය.
2015-2019 අවසන් වන විට යහ පාලන රජය ලබා ගෙන තිබූ ණය ප්‍රමාණය රුපියල් කෝටි හාර ලක්ෂ විසි අට දහසකි. එම මුදලින් 89.8% වැය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ රජයේ ඉහත ණය වාරික සහ පොළී වාරික ගෙවීම සදහාවන අතර ඉතිරි 10.2% ක් වැය වී ඇත්තේ රජයේ වියදම් සදහා ය.
රටේ කිසිවෙකුත් නොදැන සිටියාට යහපාලන රජය ණය කළමනාකරණය සදහා විධිමත් වැඩ පිළිවෙළක් සකස්කර ඇත. ඒ රනිල් වික්‍රමසිංහ, ආචාර්ය හර්ෂද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ මංගල සමරවීර යන අයගේ එකතු වෙනි. පෙර සදහන් පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයේ ගිණුම්වල ගිණුම්ගත නොකොළ, වෙනත් ආයතනවල ගිණුම් ගත කර තිබූ සියලු ණය භාණ්ඩාගාරයේ ගිණුම්වලට ඇතුළත් කර ණය සහ පොළී ගෙවීමට ඇති කාල වකවානු සදහා විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
2020 වසරේ ණය ගෙවීම සදහාත්, විදේශ සැපයුම් ලබා ගැනීම සඳහාත් ඩොලර් මිලියන 07 ක විදේශ මුදල් සංචිතයක්ද සුරක්ෂිත කර තිබී ඇත. යහ පාලනයේ උන් උන් අතර වූ කුකුල් කා ගැනීම නිසා මේ කිසිවක් රට දැන සිටියේ නැත.
විදේශ ණය ගෙවීම පිණිස තිබූ සැළසුම් වෙනස් කළා පමණක් නොව, විශේෂයෙන් ගජ මිතුරන්ගේ උවමනාවන් සපුරමින් එතෙක් තිබූ බදු වර්ග 14 ක් පමණ කපා හරින ලදී. දේශීය බදු ආදායම් දෙපාර්තමේන්තුව වරක් ප්‍රකාශ කළ පරිදි එම කපා හැරීම නිසා රටට අහිමි වූ බදු මුදල මුළු රාජ්‍ය ආදායමින් 30% ක් පමණ වේ.
ඔවුන්ගේ සංධානයේම ඩිව් ගුණසේකර ප්‍රසිද්ධියේ කියා සිටියේ මැතිවරණ අරමුදලට මුදල් වැය කළ අයට එම බදු සමා සළසා දුන් බවයි. ඊට අමතරව සීනි බදු වංචාව සහ පොල් තෙල් බදු වංචාව වැනි වංචාවලින් රටට සිදු කර ඇති පාඩුව රුපියල් කෝටි දස දහසකට ආසන්න ය. රට ඉදිරියට ගෙන යාමට පැහැදිලි දැක්මක් සහ උවමනාවන් නැති, එදා වේල සරි කර ගැනීමට නොහැකි අසරණ ජනතාව ගැන අබමල් රොණක තැකීමක් නැති චෞර පාලකයන් නිසා රට වැටෙමින් තිබෙන අගාධයේ කෙළවරක් නැත. බලව මිනිසුනි..! නිදි ගැට හැරපිසා..!! උන් මේ රටට කරන මහා වින්නැහිය..!!!
Lanka Newsweek © 2024