Sunday 23rd of January 2022

English Tamil
Advertiesment


ප්‍රෙහෙළිකාව ජය ගැනීම


2021-12-17 2443

 

(වික්ටර් අයිවන්)

ශ්‍රී ලංකාව මේ වන විට තිබෙන්නේ විසඳා ගැනීම ඉතා දුෂ්කර සංකීර්ණ ප්‍රහේලිකාවක තත්ත්වයකය. එහි ප්‍රධාන ලක්ෂණ සමහරක් මෙසේය. රට තිබෙන්නේ ඉතා වේගයෙන් විශාල විනාශයක් කරා ගමන් ගන්නා බිහිසුණු තත්ත්වයකය. රට මුහුණ දී තිබෙන අර්බුදය තනිකර මේ ආණ්ඩුවේ නිර්මාණයක් ලෙස සැළකිය නොහැකිය. එම අර්බුදය දීර්ඝ කාලයක් තිස්සේ එක දිගට විටින් විට ශ්‍රී ලංකාව පාලනය කළ විවිධ ආණ්ඩුවලද, විරුද්ධ පක්ෂවල ද බලවත් විරෝධයකින් සහ නිවරදි කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වා ගෙන ගිය වැරදි නිසාද විනාශකාරි, කොල්ලකාරී, දූෂිත සහ අමන ප්‍රතිපත්ති නිසා ද ඇතිවී තිබුණ විශේෂ අර්බුදයක් ලෙස සැළකිය හැකිය. 

එම අර්බුදය නිසා ඇති වන විනාශය මුළුමනින් වැළකීමේ හැකියාවක් ආණ්ඩුවට තිබුණේ නැතත් අර්බුදයට ගිය ක්‍රමය ප්‍රතිනිර්මාණය කර ගැනීමට හේතු වන ව්‍යූහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට දොරටු විවෘත කරන අතර අර්බුදය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරන වැඩ සටහනක් මගින් රටට සිදු වන හානිය කිසියම් විශාල ප්‍රමාණයකට අවම කර ගැනීමේ හැකියාව තිබුණි.

 
දැක්මේ සීමාසහිත කම්

 

එහෙත් බලයට පත්වන්නට පෙර ජනාධිපතිවරයා රට මුහුණ දී තිබෙන අර්බුදය කල් තියා තේරුම් ගැනීමට අසමත්ව තිබුණා පමණක් නොව බලයට පත්වීමෙන් පසුවද අර්බුදය ප්‍රමාණවත් තරමේ ගැඹුරකින් තේරුම් ගැනීමටද අසමත් විය. ඒ නිසා අර්බුදය කළමණාකරණය කෙරුණේ ප්‍රශස්ත අකාරයකට නොව තිබෙන අවුල් උග්‍ර කිරීමට සහ ඇති වන්නට නියමිත විනාශය විශාල කිරීමට හේතු වන ආකාරයටය. 

දේශපාලනය හෝ රාජ්‍යය පාලනය ගැන කිසිදු පළපුරුද්දක් නැති ජනාධිපතිවරයා අතට පත් වූයේ හොදට තිබෙන පහසුවෙන් පාලනය කළ හැකි රටක් නොව පළපුරුදු දක්ෂ පාලකයෙකුට පවා පාලනය කිරීමට පහසු නැති අවුලෙන් අවුලට ගිය රටකි. අනෙක් අතට ජනාධිපති බලයට ආවේ අන් ජනාධිපතිවරුන් සේම ගජ මිතුරන් විශාල ගණනක් සමග ඇති කර ගත් අවබෝධතා ගිවිසුම් විශාල ගණනක් සාක්කුවේ දමා ගෙනය. 

වෙනත් ජනාධිපතිවරුන්ට වෙනස්ව මේ ජනාධිපත්වරායාගේ ජනාධිපතිවරණ වැඩ සටහන දීර්ඝ කාලීන එකක් වීම නිසා වෙනත් ජනාධිපතිවරුන්ගේ ජනාධිපතිවරණ වියදමට වඩා විශාල වියදමක් මේ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ වැඩ සටහන වෙනුවෙන් ගජ මිතුරන්ට දරන්නට සිදුවී තිබුණි. ක්‍රමයේ ඇතිවී තිබුණ කඩා බිද වැටීම නිසා නොපළපුරුදු ජනාධිපතිවරයාට මෙම අර්බුදය සමග වැඩ කරන්නට සිදු වූයේ ක්‍රමයෙන් පරිබාහිරව හිතුවක්කාරී අකාරයකටය. 

ජනාධිපතිවරයා මුලදී කල්පනා කළේ ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන අර්බුදය තමා ආරකෂක ලේකම් වශයෙන් මුහුණ දුන් අවසන් අභ්‍යන්තර යුද්ධයට වඩා පොඩි දෙයක් ලෙසය. ශ්‍රී ලංකාවේ අර්බුදය දැක්කේද ආරක්ෂක හමුදාවල සහාය ඇති නම් ඉතා පහසුවෙන් ජය ගත හැකි සරල අර්බුදයක් ලෙසය. එම තක්සේරුව ජනාධිපතිට වැරදුණ එක බලවත් තැනක් ලෙස සැළකිය හැකිය. නොපළපුරුදු ජනාධිපතිවරයා පළපුරුදු දක්ෂ උගත් නිලධාරින් කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා කරනවා වෙනුවට තමා දන්නා නොපළපුරුදු මතු පිටින් බලන විට ලස්සන මනෝරාජික අදහස් දරන න්‍යායවාදීන් කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා කිරීම ජනාධිපතිවරයා වරද්දාගත් තවත් වැදගත් තැනක් ලෙස සැළකිය හැකිය. 

රසායන පොහොර සහ කෘෂි රසායන තහනම සේම ඒ ආශ්‍රයෙන් කෘෂි කර්මයේ ඇතිවූ මහා අවුල ඒ සදහා දැක්විය හැකි හොදම නිදර්ශනය ලෙස සැළකිය හැකිය. ආර්ථිකයේ විශාල කඩා වැටීමක් ඇතිව තිබියදී සහ එහි පීඩනය ජනතාවට දරා ගත නොහැකි තත්ත්වයක තිබියදී එම තත්ත්වය නොසළකා සිය ගජ මිතුරන්ට උපරිම ලෙස ගසා  කෑමට ඉඩ දෙන ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යාමට ජනාධිපතිවරයාට සිදු විය. එම තත්ත්වය රටේ අර්බුදය උග්‍ර කිරීමට හේතු වුණා සේම ජනාධිපතිවරයා කෙරෙහි පැවති මහජන විශ්වාසය පළුදු කිරීමට හේතු වන වැදගත් සාධකයක් ලෙසද ක්‍රියා කළේය.

 

ප්‍රශ්න අවුල් කර ගැනීම

  
එම කඩා බිඳ වැටීම සිදු වනු ඇත්තේ කවදාද..? ඒ කඩා වැටීම ජනාධිපතිවරණයට පෙර අද සිට සමහර විට වසරකට අඩු හෝ වැඩි කාලයක දී සිදු විය හැකිය. එවැනි තත්ත්වයක් ඇති වුව හොත් ඊට ආණ්ඩුවට මුහුණ දීමට තිබෙන හැකියාව තේරුම් ගැනීම අමාරු නැත. එවැනි තත්ත්වයක් ඇති වුව හොත් ඊට මුහුණ දීම සදහා වන ඉදිරි දැක්මක් විරුද්ධ පක්ෂවලට තිබෙනවාද..? මැතිවරණයක් නැතිව බලය ගන්න යන්නේ කවර ආකාරයකටද..? මේ මොහොතේ විරුද්ධ පක්ෂවල පූර්ණ අවධානය යොමුවී තිබෙන්නේ අර්බුදය හෝ එම අර්බුදය ඇති කරන්නට නියමිත ප්‍රතිඵල ගැන නොව ඉදිරි ජනාධිපතිවරණය ගැනය. එහිදී ද ජනාධිපතිවරණය ජය ගත හොත් තමන් ඇති කරන්න යන ප්‍රතිසංස්කරණ මොනවාද යන්න ගැන ඒ කිසිවෙක් විධිමත් ලෙස කථා කරන්නේ නැත. 

ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන පිළිවෙත කුමක්ද..? ඒ ක්‍රමය පවත්වා ගෙන යනවා නම් අඩුම වශයෙන් මේ වන විට නීතියට ඉහළින් සිටින ජනාධිපති නීතියට යටත් තත්ත්වයකට පත් කරන්නේද..? ඒ මගින් ජනාධිපතිවරයෙකුගේ ක්‍රියා නීති විරෝධී වන අවස්ථාවලදී එවා අවලංගු කිරීමේ බලය අධිකරණයට ලබා දෙන්නේද..? ජනාධිපති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු එකට කල්ලී ගැසී විවිධ ක්‍රමවලට පවත්වා ගෙන යන නිතියට පටහැනි පොදු දේපළ කොල්ලය අවසන් කිරීම සදහා ක්‍රියා කරන්නේද..? ඒ සදහා ඇති කරන්නට යන ප්‍රතිපත්ති සහ විධිවිදාන මොනවාද..? පක්ෂ අරමුදල් සහ මැතිවරණ අරමුදල් පාලනයට නීති ඇති කරන්නේද..? පක්ෂවල අභ්‍යයන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම සදහා නීති ඇති කරන්නේද..? බිඳ වැටී තිබෙන ජාතික සමගිය ඇති කරන්නට යන්නේ කවර ආකාරයටද..? මෙවැනි මූලික ප්‍රශ්න ගැන කල්තියා මහජනයා දැනුවත් කිරීමේ වගකීමක් විරුද්ධ පක්ෂවල තිබෙනවා නොවේද..?

 
ප්‍රෙහෙළිකාව විසඳා ගැනීම

 

විසඳා ගැනීමට පහසු නැති දේශපාලන ප්‍රෙහෙළිකාව සැදී තිබෙන්නේ ඊළග ජනාධිපතිවරණයට පෙර මැතිවරණයක් පවා පැවැත්වීමට නොහැකි ආකාරයට සමස්ථ ක්‍රමයේ කඩා බිඳ වැටීමක් ඇති වුව හොත් කරන්නේ කුමක්ද යන ප්‍රශ්නයෙනි. මේ වන විට ශ්‍රී ලංකාව තිබෙන්නේ එවැනි බරපතළ අවදානමක් ඉදිරියේය. එහෙත් මේ වන විට උද්ගත වී තිබෙන අර්බුදය පවා කල් තියා දකින්නට අසමත්වූ ශ්‍රී ලංකාව වඩා සංකීර්ණ එම අර්බුදයද  කල් තියා දකින්න්ට සමත් වනු ඇතැයි සිතිය නොහැකිය. 

මේ අනුව රටේ ආර්ක්ෂාව සදහා කළ හැකිව තිබෙන හොදම දේ වනුයේ රට තිබෙන්නේ ලොකු අනතුරක මුව විට බව  පිළි ගනිමින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළකීම සදහා අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සදහා ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂ අතර පොදු එකගතාවයක් ඇති කර ගැනීමය. ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන තැනකට යනවාද නැති නම් මුළුමනින් වෙනස් කිරීමට හේතූ වන ලෙස ප්‍රතිනිර්මාණයක් කර ගන්නවාද යන්න තීරණය කිරීමේ බලය ජනමත විචාරණයක් මගින් මහජනායාට දිය හැකිය. 

සරල ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට සේම ක්‍රමය මුළුමනින් වෙනස් කිරීමට හේතු වන ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් සදහා වුවද ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථා සම්පාදනයක් අවශ්‍ය වේ. ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ද නැති නම් නව ව්‍යවස්ථාවක් ද යන්න මහජයාගෙන් විමසිය හැකිය. එසේම ඉල්ලා සිටින්නේ නව ව්‍යවස්ථා සම්පාදනයක් නම් එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව මුල් කර ගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින්ද එසේ නැති නම් ව්‍යවස්ථා සම්පාදනය සදහාම තෝරා ගත් මහජන නියෝජිතයන් මුල් කර ගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකින් සිදු විය යුතුද යන ප්‍රශ්නයද ජනමත විචාරණයකට යොමු කළ හැකිය. ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවෙන් නොවේ නම් ව්‍යවස්ථා සම්පාදනය සහ ප්‍රතිසංස්කරණ ඇති කිරීම සදහා බලය අතුරු ව්‍යවස්ථාවක් මගින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත පැවරිය හැකිය.

එවිට ඊළග මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ අර්බුදය ජය ගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ ද ඇති කර ගැනීමෙන් පසුවය. එවැනි මහජන වැඩ සටහනකට අවශ්‍ය දැනුම සහ ශිෂණය ශ්‍රී ලංකාවේ ජනතාවට නැතැයි කියා විශ්වාස කරන අයද රටේ සිටිති. ඒ සදහා යොදා ගන්නා සුලභ නිදර්ශනය වන්නේ පසුගිය ජනාධිපතිවරනයේදී ඡන්දය පාවිච්චි කළ අකාරයයි. ඊට පෙර 2015 ජනාධිපතිවරණයේදී පරාජය කළ නොහැකි බව කී මහින්ද රාජපක්ෂව පරාජය කළේද එම ජනතාවය. 

යහපාලන ආණ්ඩුවේ අසාර්ථකභාවය ඔවුන් අතර ලොකු කලකීරීමක් ඇති කිරීමට හේතුවී තිබුණ අතර පාස්කු ප්‍රාහාරය ඔවුන් මානසිකව හිරි වැටුණ තත්ත්වයකට පත් කිරීමට හේතු වී තිබුණි. ගෝඨාභය රාජපක්ෂ ලැබූ ජයග්‍රහනය කොතරම් විශාල වුවද ජනාධිපතිවරයා අනුගමනය කරන ප්‍රතිප්ත්ති යහපත් නොවන බව පෙනෙන විට ජනතාව සිය පක්ෂපාත භාවය අතහැර බලවත් ලෙස විරෝධය ප්‍රකාශ කරන තැනකට ගියේය. කෝවිඩ් ප්‍රශ්නයේදී සෞඛ්‍ය සේවයේ සමහර නිලධාරින් සේම කෘෂි පොහොර ප්‍රශ්නයෙදී කෘෂිකර්මයේ සමහර උසස් නිලධාරීන් පෙන්නුම් කළ නිර්භීත භාවය සැලකිය හැක්කේ සදා අමරණීය දේවල් ලෙසය. සාර්ථක මහජන ව්‍යවස්ථා සම්පාදනයන්ට හෙවත් සහභාගි ව්‍යවස්ථා සම්පාදනයන්ට යොමුවූ බොහෝ රටවල්වල ජනයා ශ්‍රී ලංකාවේ ජනයාට වඩා නූගත්‍ ය. සමහර රටවල් වගුරුවා තිබෙන ලේවල පරිමාවද විශාලය. ශ්‍රී ලංකාවටද මුහුණ දෙන්න්ට සිදු වී තිබෙන අර්බුද ජය ගැනීම සදහා තෝරා ගත හැකි හොදම මාර්ගය මහජන ව්‍යවස්ථා සම්පාදනයකට රට යොමු කිරීමය. 

 

Advertiesment