ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පෙරේදා ජනප්රිය නොවන තීන්දු ගැනීමට සිදු වන බව කියා සිටියේය. මේ ආණ්ඩුවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද ජනප්රිය නොවන තීන්දු ගැනීමට සිදු වන බව අය වැය ඉදිරිපත් කිරීමට පෙර කීවේය. මහ බැංකු අධිපත නිවාඩ් කබ්රාල් ද එම තනතුර ලබා ගත් දින එසේම කීවේය. ඇතැම් ඇමතිවරු ද ජනප්රිය නොවන තීන්දු ගැනීමට සිදු වන බව නිතර දෙවේලේ කියා සිටිති. ජනප්රිය නොවන තීන්දු ගැනීම මේ ආණ්ඩුවේ ප්රතිපත්තිය බවට පත්ව තිබෙන බව මේ අනුව පෙනේ.
මේ ආණ්ඩුව බලයට පත් වුණේ ජනප්රිය නොවන තීන්දු ගැනීමට දැයි ප්රශ්න කිරීමට සිදු වන තරමටම රජය ජනප්රිය නොවන තීන්දුවලට ඇලුම් කරයි. රජයක කාර්යභාරය වන්නේ ජනතාව සතුටින් තැබීම යැයි විද්වතෙකුගේ අදහසක් උපුටා දක්වමින් මහාචාර්ය එම් ඕ ඒ සොයිසා පෙර දිනෙක සටහනක් තබා තිබුණි. එසේ නම් මේ රජයට එම කාර්යභාරය අමතක වී තිබේද..? ජනප්රිය තීන්දු ගැනීමට තිබිය දී එම තීන්දු පසෙක ලා ජනප්රිය නොවන තීන්දු ගන්නේ කුමක් නිසා දැයි අනික් අතට ප්රශ්න කිරීමට සිදුව තිබේ.
ජනප්රිය නොවන තීන්දු යනු ජනතා අප්රසාදයට පත් වන තීන්දුය. ආණ්ඩුවේ ජනප්රියතාව නැති කර ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාවද..? එමගින් ආණ්ඩුව ලබන ප්රයෝජනය කුමක්ද..? ගෙවුණු වර්ෂ දෙක ඇතුළත දී මේ ආණ්ඩුව එකදු ජනප්රිය තීන්දුවක්වත් නොගත් බවත් ගත් සියලු තීන්දු ජනප්රිය නොවන තීන්දු බවත් මහ ජනයා දනිති. ඒ නිසාම ආණ්ඩුව ද දැඩි මහ ජන අප්රසාදයට ද පත්ව තිබේ.
එබැවින් මේ ම්හොතේ ආණ්ඩුව කළ යුත්තේ තවත් ජනප්රිය නොවන තීන්දු ගැනීමට පෙළඹීම නොව ජනප්රිය තීන්දු ගැනීමට පෙළඹීමය. මා හිතන පරිදි ආණ්ඩුවට වඩාත්ම ජනප්රිය තීන්දුවක් ගත හැකිය. එම තීන්දුව හැට නව ලක්ෂය නොව පමණක් නොව දෙකෝටි විසි ලක්ෂයම ප්රිය කරන තීන්දුවකි. ඒ වනාහි ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමය. එම පුවත ඇසීමට ලක්ෂ 220ක ජනයා ප්රිය කරති. ඉන් ඔබ්බෙහි වෙසෙන තිස්තුන් කෝටියක් වූ මේ සිරිලක ආරක්ෂා කරන දෙවි දේවතාවුන්ගේ ද ජනප්රියත්වයට (දේව ප්රියත්වයට) එම තීන්දුව පත් වනු නොඅනුමානය. මෙම තීන්දුව අකණිටා බඹ ලොව ද කම්පිත කර වනු ඒකාන්තය.
එබැවින් තව දුරටත් ජනප්රිය නොවන තීන්දු ගැනීමට පාරම් බානවා වෙනුවට අංක එකේ ජනප්රිය තීන්දුව ගැනීමට රජයට ශක්තිය සහ ධෛර්යය ලැබේවායි ප්රාර්ථනය කරමි. එමතුද නොව ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් ඉක්මනින් කැඳවීමට රජය ක්රියා කරන්නේ නම් එම තීන්දුව ද අතිශය ජනප්රිය තීරණයක් වනු නොඅනුමානය. "වියත් මඟ" වියතුන්ට මේ ජනප්රිය තීන්දුව පිළිබඳ ඥානය පහළ වී එම තීන්දුව රජයට ඒත්තු ගැන්වීමට හැකි වේවා..! හේතු වාසනා වේවා..!
Lanka Newsweek © 2024