Monday 24th of March 2025

English Tamil
Advertiesment


මුදල් ඇමතිකම් කරන හැටි රවීගෙන් ඉගෙන ගන්න..! 


2022-03-11 14376

බැසිල් "Fail" වෙලා රවී "Pass" වුණේ මෙහෙමයි 

 

ආණ්ඩුවට ආර්ථික දැක්මක් නොමැති බව අය-වැයෙන් ඔප්පු වුණා 

 

මේ අයවැය සහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අතර වෙනසක් නැහැ 

 

රටේත් ජනතාවගේත් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නැහැ 

 

විදේශ විනිමය උපයා ගැනීම කිසිම සැලැස්මක් නැහැ 

 

ඉතිහාසයේ දුර්වලම අයවැය-රටට අනාගතයක් නම් නැහැ 

 

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කරති

 

බැසිල්ගේ සහ රවීගේ අයවැය ගැන සංසන්දනයකි  

 

 
(අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝද්‍යා, හේමන්ත තුසිත කුමාර සහ නිලන්ති මානෙල්)  

 

මුදල් අමාත්‍යවරයාගේ කාර්යභාරය රටක දියුණුවට අතිශයින් වැදගත් වේ. රටෙහි ආර්ථිකය සාධනීය මාවතකට ගෙන යාමට මුදල් අමාත්‍යවරයා සතුව සුවිශේෂි දැක්මක් පැවතිය යුතුය. සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යවරයාගේ වගකීම් ඔහුගේ සෙසු කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට වඩා වෙනස් වූවකි. සමස්ත අයවැය අරමුණු ඉටු කර ගැනීම ඔහුගේ ප්‍රධාන කාර්යයකි. 

අයවැය ක්‍රියාවලිය සංවිධානය කිරීම මත පදනම්ව මුදල් අමාත්‍යවරයාගේ කාර්යභාරය ක්‍රියාවට නැංවීමත්, ඒවා අධීක්ෂණය සහ බලාත්මක කිරීමත් මත රජයක පැවැත්ම තීරණය වන ආකාරයක් හඳුනා ගත හැකිය. සෙසු කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගෙන් නැගෙන වියදම් පීඩනයන්ට සාර්ථකව මුහුණ දීමට ද මුදල් අමාත්‍යවරයාට සිදු වේ. පුළුල් පරාසයක කටයුතු කරන, අයවැය පිළිබදව පුළුල් දැක්මක් සහ ආර්ථිකය හැසිරවීම පිළිබදව මනා අවබෝධයක් මුදල් අමාත්‍යවරයාට පැවතිය යුතුමය.

නමුත් 2022 අයවැය යෝජනාවලිය දෙස අවධානය යොමු කිරීමේදී එවැනි කාලීන විසඳුම් දැක ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි. 2022 අයවැය ගැන දැනටමත් ආණ්ඩුව පැත්තෙන් දේශපාලන පුරාජේරු ඇසෙමින් තිබේ. එහෙත් ඒ බොහෝමයක් සාහිත්‍යමය ප්‍රශස්ති ගායනා විනා ආර්ථික විද්‍යාත්මක පැතිකඩකින් කරන විග්‍රහ නොවේ. විශේෂයෙන්ම කලක් තිස්සේ සිදු වුණ වැරදි ප්‍රතිපත්තිමය එළඹුම් නිසා මුළුමනින්ම කඩා වැටී තිබුණු රටේ ආර්ථිකය COVID-19 හේතුවෙන් තව තවත් අගාධයටම ඇද වැටුණු නමුත් කිසිවෙකු ඒ ගැන කතා නොකරයි. එනිසා අයවැය ගැන ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටියකින් යථාවාදී මැන බැලීමක් කිරීම මේ අවස්ථාවේ කාලෝචිතය. 

විදේශ විනිමය යනු මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රමුඛ ප්‍රශ්නයකි. ආනයන පාලනය ඉතා දැඩි ලෙස යොදා ගෙන භාණ්ඩ හිඟ තත්ත්වයක් ද නිර්මාණය කර ගෙන සිටින ශ්‍රී ලංකාව මේ වන විට පාලනය වන්නේ අනෙක් රටවල්වලින් අත මාරුවට සල්ලි ඉල්ලා ගෙනය. මේ ප්‍රශ්නයට අදාළව අත්‍යවශ්‍ය වන්නේ අඩුම තරමින් තවත් වසර දෙක තුනකින්වත් ප්‍රතිලාභ ලැබෙන පරිදි විදේශ විනිමය ඉපයීම සඳහා අඩිතාලමක් දමා ගැනීමය. එසේ නම් අපනයන සංවර්ධනයට, විදේශ ආයෝජන කැඳවා ගැනීමට, සංචාරක ව්‍යාපාරය පණ ගැන්වීමට ආණ්ඩුවට නිසි වැඩ සටහනක් තිබිය යුතුය. එහෙත් මේ අයවැයෙන් එවැනි යෝජනා ඉදිරිපත් කර නොමැත. ආණ්ඩුව පවසන්නේ ආයෝජන මණ්ඩලය යටතේ දිරි දීම් ප්‍රමාණවත් නැති බවය. ඒවායෙන් ආයෝජන කැඳවා ගැනීමට නොහැකි බවය. එහෙත් ආණ්ඩුව ඊට විකල්පයක් ද යෝජනා කර නොමැත.

කෙසේ නමුත් එදා මෙවැනිම විශාල මුල්‍යමය අර්බුදයකට රට-ජනතාව මුහුණ දී සිටි අවස්ථාවකදී එවකට මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා ගනු ලබූ ක්‍රියාමාර්ග පිළිබඳව සිහිපත් කිරීම ඉතා වැදගත්ය. ඔහු කෙටි කාලීනව වගේම දිගු කාලීනව ක්‍රියාත්මක කළ හැකි ඉතාම ප්‍රයෝගික යෝජනා ඉදිරිපත් කළ අතරම ඔහු මුදල් අමාත්‍ය ධූරය දැරූ කෙටි කාලයේ දී ඒවා විශාල වශයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලැබුවේය. ඔහු ගනු ලෑබූ රැඩිකල් තීන්දු තීරණ කිහිපයක් පමණක් මෙලෙස ගෙන හැර දැක් විය හැකිය.

සාර්ථක මුදල් අමාත්‍යවරයෙකුගේ කාර්ය භාරය වන්නේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමයි. මෙහිදී රවි කරුණානායක මහතා නිළධාරීන්ගේ උපදෙස් මත යැපෙනවා වෙනුවට නිර්මාණශීලිත්වයෙන් යුතුව සිය ධූරයේ වගකීම් ඉටු කළ අතර ඔහු ප්‍රායෝගිකත්වය වඩා හොදින් අවබෝධ කර ගෙන මෙම තීරණය කෙරෙහි යොමු වූ බව හඳුනා ගත හැකිය. 

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිම ප්‍රමාණයකින් ඉහළ දැමීම සිදු වන්නේ 2015 වසරේදී ය. මාසිකව රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීමක් සිදු කළ අතර ඒ අනුව එක රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් වාර්ෂිකව රපියල්120,000කින් ඉහළ ගියේය. මෙම වැටුප් වැඩි කිරීම නිසා 2014 වර්ෂයේදී පැවති රාජ්‍ය සේවක වැටුප් බිල රුපියල් බිලියන 455 සිට රුපියල් බිලියන 580ක් දක්වා ඉහළ ගියේය. 

යහ පාලන ආණ්ඩුව නියෝජනය කළ ඇතැම් පිරිස් පසු කාලීනව මෙම වැටුප් ඉහළ දැමීම ගැටලුකාරී බවත්, සමස්ත රාජ්‍ය වියදම් ඉහළ යෑමට එම තත්ත්වය  දැඩි බලපෑමක් ඇති කරන බවත් පැවසූ නමුත් කරුණු විමසා බැලීමේදී එසේ නොවන බව පෙනේ. එනම් නිෂ්පාදන බද්දට ඇතුළත් මත්පැන් බදු මගින් රුපියල් බිලියන 36ක් පමණ ඔහු උපයා ගත් අතර වැඩි වූ වැටුප් බිල පියවා ගැනීම වෙනුවෙන් එම මුදල් යොදා ගැනීමට රවී කරුණානායක මහතා සමත් විය. 

2014 වර්ෂයේදී නිෂ්පාදන බදු ආශ්‍රිත මත්පැන් බදු රුපියල් බිලියන 69ක් වූ අතර 2015 වර්ෂයේදී දී එම මුදල රුපියල් බිලියන 105ක් දක්වා වැඩි වී ඇති බව වගු අංක (01) දක්වා ඇත. එමෙන්ම 2014 වර්ෂයේදී සිගරට් ආශ්‍රිත බදු රුපියල් බිලියන 57ක් වූ අතර 2015 වර්ෂයේදී එම බදු මුදල රුපියල් බිලියන 80ක් වුණි. එමගින් ද රුපියල් බිලියන 23ක අමතර ආදායමක් උපයා ගැනුණි. මෙම ප්‍රයෝගික තීන්දු තීරණ හේතුවෙන් බිලියන 60ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වූ අතර වැඩි වූ වැටුප් බිලෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මූල්‍යමය කෙරිණි.

 
වගු අංක (01) 2010 සිට 2019 දක්වා රජයේ මූල්‍ය මෙහෙයුම්.
 
 
-මූලාශ්‍රය - 

 
ශ්‍රී ලංකා මහ බැංකුව - විවිධ වාර්ෂික වාර්තා

රජයේ බදු ආදායම දෙස අවධානය යොමු කිරීමේදී 2014 වර්ෂයේදී රුපියල් බිලියන 1050 ක් වූ බදු ආදායම 2015 වර්ෂයේදී රුපියල් බිලියන 1355 ක් දක්වා එනම්, රුපියල් බිලියන 305කින් (30%කින් පමණ) ඉහළ නංවා ගැනීමට රවී කරුණානායක මහතාට හැකි වූ බවද ඉහත වගුවෙන් පැහැදිලි වේ. 2014 වර්ෂයේදී දී රුපියල් බිලියන 256ක් වූ නිෂ්පාදන ආශ්‍රිත බදු 2015 වර්ෂයේදී රුපියල් බිලියන 497ක් දක්වා එනම්, රුපියල් බිලියන 241 දක්වා ඉහළ  නංවාගැනීමට රජය සමත් විය. මෙහිදී සාමාන්‍ය ජනතාවට බදු බර නොපටවා රාජ්‍ය සේවක වැටුප ඇඟට දැනෙන අයුරින් ඉහළ දැමීමට රජය සමත් වූයේ මුදල් අමා‍‍ත්‍යවරයාගේ හැකියාව මතය. 

රජයේ බදු ආදායම දෙස අවධානය යොමු කිරීමේදී 2014 වර්ෂයේදී රුපියල් බිලියන 1050 ක් වූ බදු ආදායම 2015 වර්ෂයේදී රුපියල් බිලියන 1355 ක් දක්වා එනම් රුපියල් බිලියන 305කින් (30%කින් පමණ) ඉහළ නංවා ගැනීමට හැකි වූ බවද ඉහත වගුවෙන් පැහැදිලි වේ. 2014 වර්ෂයේදී රුපියල් බිලියන 256ක් වූ නිෂ්පාදන ආශ්‍රිත බදු 2015 වර්ෂයේදී රුපියල් බිලියන 497ක් දක්වා එනම්,රුපියල් බිලියන 241 කින්ඉහළ නංවා ගැනීමට රජය සමත් විය. මෙහිදී සාමාන්‍ය ජනතාවට බදු බර නොපටවා රාජ්‍ය සේවක වැටුප ඇඟට දැනෙන ආකාරයෙන් ඉහළ දැමීමට රජය සමත් වූයේ එවකට මුදල් අමා‍‍ත්‍ය රවී කරුණානායක මහතාගේ හැකියාව මතය. 

ප්‍රස්තාර සටහන 01 
-දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට අනූව රජයේ ආදායම-
 
 
-මූලාශ්‍රය- 
https://www.statista.com/statistics/797372and Central Bank of Sri Lanka, (Various) Annual Reports  

 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතයේ හැසිරීම ප්‍රස්තාර සටහන් (01) හි දක්වා ඇත. රජයේ ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය දශක ගණනාවක් මුළුල්ලෙහි පහළ අගයක් ගැනුණු අතර එම අනුපාතය දිගින් දිගටම අඩු වෙමින් පැවතුණි. ඊට හේතු වූයේ රජයේ ආදායම පහළ යාමයි. 

2000 වර්ෂයේදී 17.2%ක් සහ 2014 වර්ෂයේදී 11.6%ක් දක්වා එම අගය පහළ වැටුණි. කෙසේ නමුත් 2015 වර්ෂයේදී රජයේ ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 13.3%ක් ලෙස ඉහළ නංවා ගැනීමට රවී කරුණානායක මහතා සමත් වූ අතර 2016 වර්ෂයේදී එම අනුපාතය 14.1%ක්ව පැවතුණි. කෙසේ නමුත් රජයේ ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය නැවත පහළ යමින් තිබේ.

2015-2016 අතර රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවා තිබියදීත් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට හැකියාවක් ලැබී ඇත. මේ අනුව රාජ්‍ය ආදායම මගින් රාජ්‍ය වියදම පියවා ගැනීමට ද හැකියාවක් ලැබුණි. ප්‍රාථමික ගිණුම පිළිබඳ අවධානය යොමු කිරීමේදී ද 2015-2016 කාලපරිච්ඡේදයේ දී ප්‍රාථමික ගිණුමේ ශේෂයද ධන අගයකට ගෙන ඒමට හැකි වුණි.  

පශ්චාත් යුද සමයේ පැවති ආර්ථික වෘද්ධි වේගය ඉහළ මට්ටමක රදවා ගැනීමට 2014ට පෙර පැවති රජයට හැකියාව නොලැබුණි. ප්‍රස්තාර සටහන අංක (02) හී එම තත්ත්වය පැහැදිලිව දැක්වේ. එවකට පැවති ගෝලීය ආර්ථික අර්බුද සහ රට අස්ථාවරවීම මධ්‍යයයේ වුවත් 2015-2016 වර්ෂවල ආර්ථික වෘද්ධියේ සාමාන්‍ය අගය 5% ක මට්ටමකින් පවත්වා ගැනීමට හැකි වුණි. කෙසේ නමුත් මේ වන විට 4% කට වඩා අඩු ආර්ථික වෘද්ධියක් වාර්තා වේ. 2019 වර්ෂය මෙසේ සංසන්දනය කිරීම ප්‍රයෝගික නොවන්නේ එහි පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑම පවතින නිසාය. එමෙන්ම 2020 ආර්ථික වෘද්ධියේ දී COVID-19 ගෝලීය වසංගතයේ ආර්ථික බලපෑම ඇතුළත්ව තිබෙන නිසාය.

වර්තමාන තත්ත්වයේ දී රජයේ පුනරාවර්තන වියදම පියවා ගැනීමටවත් රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවේ. දේශීය වශයෙන් උපයන ආදායම රාජ්‍ය සේවය නඩත්තු කර ගැනීමටවත් ප්‍රමාණවත් නොවේ. එහෙත් 2015-2016 දී එවකට සිටි මුදල් අමාත්‍යවරයා බදු දැල ප්‍රසාරණය කරමින් බදු ගෙවීමක් කිරීමට හැකි පුද්ගලයින් බදුකරණයට හසු කර ගැනීමටත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා බදු කාර්යක්ෂමව ඒකරාශී කර ගැනීමටත් සමත් වුණි.

වර්තමාන තත්ත්වය සැලකීමේදී විදේශ විනිමය ලබා ගැනීම ප්‍රධානතම ගැටලුව බවට පත්ව තිබෙන නමුත් ඒ සඳහා කිසිඳු මැදි කාලීන හෝ දිගු කාලීන විසඳුමක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අයවැය යෝජනාවලියේ දැක ගත නොහැක. අනෙක් අතට අපනයන අංශය ගත්තත් අලුත් අපනයනකරුවන් හඳුන්වාදීමට හෝ අපනයනවල තරඟකාරිත්වය වැඩි කිරීමට හෝ කිසිදු පියවරක් යෝජනා කර නැත. ඒ වෙනුවට ඇඟලුම් සහ අපනයන ක්‍ෂේත්‍ර ඉලක්ක කර ගෙන යම් යෝජනා කිහිපයක් පමණක් ඉදිරිපත් කර ඇත. 

එහෙත් පවතින සන්දර්භයෙහි අප අපේක්ෂා කළේ අපනයන දශකයක් වැනි සංකල්පයක් හරහා අපනයන කේන්ද්‍රගත ආර්ථිකයකට විශාල ප්‍රමුඛත්වයක් දෙනු ඇත කියාය. නිදසුනකට අපනයන අංශය ප්‍රවර්ධනයට මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට විශාල කාර්යභාරයක් පවරනු ඇත කියාය. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. එමෙන්ම කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ද නිසි වැඩ පිළිවෙළක් යෝජනා කර නැත. විශේෂයෙන්ම ඒ යටතේ මානව සම්පත සංවර්ධනය කිරීම, නවාතැන් ඇතුළු ස්ථානවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සහ තොරතුරු තාක්ෂණය වැනි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැඩි බරක් තැබිය හැකිව තිබිණි. එහෙත් එවැනි අංශ ගැන කල්පනාවටවත් ගෙන ඇති බවක් මේ අයවැයෙන් නොපෙනේ.  

දෙවැනි කරුණ නම් අයවැය පරතරයයි. ආණ්ඩුව මෑතකදී එක දිගට මුදල් අච්චු ගසන තැනට වැටුණේ ද රජයේ ආදායම සහ වියදම අතර පරතරය පියවා ගැනීමටය. අයවැය මගින් වියදම් පාලනය සඳහා යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කර තිබෙන්නේ ඒ නිසාය. එහෙත් බැලූ බැල්මටම පෙනී යන්නේ මෙම යෝජනා වියදම් පාලනයට ඉදිරිපත් කළ සිල්ලර ගණයේ ජනප්‍රිය යෝජනා බවය. 

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සැකසෙන කාලය වසර දහය දක්වා දීර්ඝ කිරීම, රාජ්‍ය ආයතනවල විදුලි පරිභෝජනය අඩු කිරීම, මන්ත්‍රීවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ දුරකථන සහ ඉන්ධන භාවිතය අඩු කිරීම ඊට නිදසුන්ය. ඉන්ධන කපා හැර ඇති ප්‍රමාණය ගත් කල ඒ පියවර ගෙන තිබෙන්නේ වියදම් කළමනාකරණය කිරීම සඳහා බව පැහැදිලිය. 

ආණ්ඩුව යථාර්ථය පිළි ගන්නේ නම් කළ යුතුව තිබුණේ පාඩු ලබන රාජ්‍ය ආයතනවලට කුමක් කරන්නේදැයි සිතීමය. රාජ්‍ය ආයතන මහා පරිමාණයෙන් පාඩු ලබමින් පවත්වා ගෙන යෑම අද අප මුහුණ දෙන ප්‍රමුඛ අභියෝගයකි. 2025 වන විට අයවැය හිඟය සියයට 4.8 දක්වා අඩු කර ගන්නා බව රජය කියා සිටිය ද එසේ කරන්නේ කෙසේදැයි හෝ ඒ කුමන වැඩ පිළිවෙළකින්දැයි නිශ්චිතව කියා නැත. 

තවත් වැදගත් කරුණක් නම් බදු පිළිවෙතයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩු කාලයක් තිස්සේ රාජ්‍ය ආදායම සරි කර ගන්නේ සාමාන්‍ය ජනයා මත පට වන වක්‍ර බදුවලිනි. ඒ නිසාම ආණ්ඩුවල එක් පොරොන්දුවක් වන්නේ මෙම වක්‍ර බදු ප්‍රතිශතය අඩු කර සෘජු බදු වැඩි කිරීමය. මේ වන විට ශ්‍රී ලංකාවේ සෘජු බදු සියයට 20ක පමණ පරිමාණයේ පවතිද්දී, වක්‍ර බදු සියයට 80ක් වැනි විශාල අගයක් ගනී.

යහ පාලන ආණ්ඩු එදා කියා සිටියේ මේ අනුපාතය සෘජු බදු සියයට 40 සහ වක්‍ර බදු සියයට 60ක පමණ අනුපාතයකට ගෙන එන බවය. එහෙත් වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන බදු දෙස බැලූ විට මේ පිළිවෙත දකින්නට නැත. නිදසුනකට GST බද්ද ගත්තත් බැංකු සහ මූල්‍ය ආයතනවලට ඉදිරිපත් කළ බදු, VAT බද්ද, සමාජ ආරක්ෂණ දායක අරමුදල ලෙස නම් කර ඇති COVID-19 බද්ද සහ රිය අනතුරුවලට පනවා ඇති බදු දෙස බැලුවත් ඒ බදු අයත් වන්නේ  වක්‍ර බදුවලටය. 

එම බදු ගෙවන්න සිදු වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනයාටය. දුම්වැටි සහ මත්පැන්වලට පන වන බදු වුව ද එසේය. මේ බදු ගෙවන්නේ බොන මිනිසුන් යැයි කතාවට කිව්වත් අවසන එහි බර පැට වෙන්නේ ද ගෙදර වියදමටය. දැනෙන්නේ කුස්සියටය. රුපියල් මිලියන 2000ට අධික ආදායමක් ඇති ව්‍යපාර ඉලක්ක කර ගෙන සියයට25 ක බදු ආදායමක් ලැබීමට කර ඇති යෝජනාව වුව එසේය. බදු ආදායම් සොයා ගැනීමට ආණ්ඩුව පියවර ගැනීම නරක නැත. එහෙත් මේ බදු අය කිරීම් නැවතත් දිශානුගත වී තිබෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනයාටම වීම කණගාටුදායකය. අනෙක් අතට පසුගිය අයවැයවලදී සෘජු බදු වැඩි කර වක්‍ර බදු අඩු කරන බව කතාවට හෝ කීවේ නම් මෙවර අයවැයේ විශේෂත්වය වන්නේ ඒ ගැන සඳහනක්වත් නැති වීමය. එමගින් පෙනෙන්නේ ආණ්ඩුව ඒ සඳහා මැදිහත්වීමක් නැති බවය. 

මෙවර අයවැයෙන් බොහෝ දෙනකු අපේක්ෂා කළ තවත් කරුණක් නම් කොරෝනා වසංගතයට මුහුණ දී සිටින පාර්ශ්ව කෙටි කාලීනව හෝ ආරක්ෂා කිරීමට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරනු ඇත කියාය. බස් රථ හිමියන්ට, පාසල් වෑන් රථ හිමියන්ට, ත්‍රිරෝද රථ හිමියන්ට, විනෝද කර්මාන්තයේ නියැලෙන්නන්ට අදාළව යෝජනා කීපයක් ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුව විය යුතුය.

එහෙත් එම යෝජනාවල යථාර්ථය විමසා බලද්දී නැවත සිතෙන්නේ මේ කර ඇත්තේ ඉලක්කම් සෙල්ලමක්ද කියාය. නිදසුනකට ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියැදුරෝ 5,44,804ක් සිටිති. ඔවුන් වෙනුවෙන් වෙන් කළ බව කියන රුපියල් මිලියන 600 බෙදා බැලුව හොත් අපට පෙනෙන්නේ කුමක්ද..? එක් රියැදුරෙකුට ලැබෙන මුදල රුපියල් 1000ක් බවය. රියැදුරන් ලක්ෂ පහ දෙකහමාරක් යැයි උපකල්පනය කළත් රුපියල් 2000කි. 

ශ්‍රී ලංකාවේ ඇතැයි කියන පෞද්ගලික අංශයේ බස් රථ 19,000 අතරෙහි රුපියල් මිලියන 1500ක් බෙදී යද්දීත් සිදු වන්නේ මේ තත්ත්වයයි. බස් රථ හිමියකුට ලැබෙන්නේ රුපියල් 80,000කි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍,ර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ 10,19,681ක් වෙති. ඔවුන් සඳහා වෙන්කළ රුපියල් මිලියන 5000 බෙදා බැලූ විට එක් පුද්ගලයකුට ලැබෙන්නේ රුපියල් 5,000කි. විනෝද කර්මාන්ත අංශයේ 50,000 ක් පමණ වෙති. එවිට එක් අයකුට ලැබෙන්නේ රුපියල් 10,000ක් වැනි මුදලකි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුව 2021 නොවැම්බරය වන විට ලියාපදිංචි වූ පාසල් බස් සහ වෑන් රථ 7000කි. එහෙත් සමස්තය 15,000ක් පමණ වේ. ඒ අනුව එක් අයෙකුට ලැබෙන්නේ රුපියල් 27,000ක් වැනි මුදලකි. 

එහෙත් අනතුරක් වුව හොත් වන්දියක් ගෙවීම යටතේ මේ මුදල රක්ෂණ වාරිකයකටවත් ප්‍රමාණවත් නැත. අනිවාර්යයෙන්ම ඉදිරියේදී රක්ෂණ වාරිකය වැඩිවේ. එවිට හාස්‍ය ජනක ලෙස ආණ්ඩු කරන්නේ අයවැයෙන් දෙන මුදලට වඩා මුදලක් නැවත අය කර ගැනීමය. මේ අංශවල ඇතැමුන් මේ ගණන් හිලව් ගැන උද්‍යෝගයෙන් අදහස් දක්වා තිබෙනු අපි දුටිමු. එහෙත් යථාර්ථයේදී අප විමසිය යුත්තේ මේ වෙන් කරන මුදල්වලින් හරවත් යමක් කළ හැකිද කියාය. 

විශේෂයෙන්ම සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු වූවන්, ආනයන පාලනය නිසා අපහසුවට පත්වූ වූවන්, රැකියා අහිමි වූවන් ආදී විශාල පිරිසක් සිටියේ අයවැයෙන් කුමක් කියවේද කියාය. එහෙත් ඔවුන් ගැන ඉලක්කයක් මෙහි නැත. නිදසුනකට අයවැයට පෙර සිටම අප අවධාරණය කළ පරිදි සහන සැලසීම වශයෙන අප අදහස් කළේ රැකියා අහිමි වූවන්ට රජයේ රැකියාදීමක් නොවේ. පෞද්ගලික අංශවලම රැකියා කළ හැකි පරිදි රජයෙන් කිසියම් ගෙවීමක් සිදු වන පරිදි රැකියා ගත කිරීමකි. වසංගතය හමුවේ ලොව වෙනත් රටවල් එවැනි පියවර අනුගමනය කර ඇත. එහෙත් ආණ්ඩුව කර ඇත්තේ ඊට වඩා ජනප්‍රිය වැඩය. 

විහාරස්ථාන සඳහා රුපියල් ලක්ෂ 50,000ක් වෙන් කිරීම ද එවැන්නකි. ශ්‍රී ලංකාවේ පවතින ගම් 14,000 ඇතුළත එක් පන්සලක් තිබේ යැයි උපකල්පනය කළ හොත් එක පන්සලකට ලැබෙන්නේ ද රුපියල් 25,000ක් වැනි මුදලකි. එවැනි මුදලකින් පන්සලකට ඇති වැඩක් ද නැත. ආණ්ඩුව සැබැවින්ම කළ යුතුව තිබුණේ පන්සල්වලට සල්ලි බෙදීම නොව පන්සල් රැක බලා ගන්නා මිනිසුන් රැක බලා ගැනීමය. රටේ ආර්ථික සංවර්ධනයට දායකවන්නෝ ඒ මිනිස්සුය. අවසාන විග්‍රහයේදී මෙබඳු පියවරවලින් සිදුව ඇත්තේ ආණ්ඩුව ඉලක්කයක් නොමැතිව සෑම පාර්ශ්වයක්ම සතුටු කරන්නට ගොස් කිසිවක් සිදු නොවන තැනට වැඩ කිරීමය. 

COVID-19 සමාජ ආරක්ෂණ බද්ද හරහා රුපියල් බිලියන 100ක් වැනි මුදලක් උපයන්නට අපේක්ෂා කරන බව ආණ්ඩුව කියයි. ප්‍රශ්නය වන්නේ සමාජ ආරක්ෂණ අරමුදල නමින් ඒවා අය කරන්නේ නම් වැය කරන්නේ කවුරුන්ට ද කියාය. වාච්‍යාර්ථය අනුව නම් එම මුදල් වැය කළ යුත්තේ COVID නිසා අසරණභාවයට පත් වූවන් වෙනුවෙනි. එහෙත් අපට පෙනෙන්නේ ආණ්ඩුව කිසියම් මුදලක් වැය කර ඊට වැඩි මුදලක් ඒ හරහා උපයා ගැනීමට තැත් දැරීමකි. 

අයවැයෙන් පෙන්නුම් කෙරෙන අනෙක් විශේෂම කරුණක් වන්නේ ආණ්ඩුවේ ආර්ථික දැක්ම පිළිබඳ ප්‍රශ්නයයි. අයවැයෙන් අප දකින්නේ ග්‍රාමීය ආර්ථිකයට විශාල වශයෙන් වියදම් කිරීම හරහා ජාතික ආර්ථිකයට යම් පණක් දිය හැකිය වැනි මතයකි. ගම සමඟ පිළිසඳර ඇතුළු ග්‍රාමීය කටයුතුවලට වැඩි මුදලක් වෙන් කර ඇත්තේ ඒ නිසාය. එහෙත් ග්‍රාමීය තරුණ ප්‍රජාවට හෝ නිෂ්පාදනයට ඉල්ලුමක් ලැබෙන්නේ ජාතික ආර්ථිකය ඉදිරියට තල්ලු වුව හොත් පමණක් බව අප අමතක කළ යුතු නැත.

ජාතික ආර්ථිකය ඉදිරියට තල්ලුවීමට නම් එම ආර්ථිකය ලෝක ආර්ථිකය සමග එකට ගැට ගැසිය යුතුය. රැකී රක්ෂා උත්පාදනය වන්නේ, ගමේ භාණ්ඩ සහ සේවාවලට ඉල්ලුමක් ඇති වන්නේ ඒ හරහාය. එවැනි වැඩ පිළිවෙළක් නොමැතිව ගමට සල්ලි පොම්ප කිරීමෙන් පමණක් සංවර්ධනයක් ඇති නොවේ. යම් පිබිදීමක් ඇති වුණත් එම තත්ත්වය තිරසර සංවර්ධනයක් නොවේ. මන්ත්‍රීවරයාට සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ආදී වශයෙන් කීවත් ඒ මුදල් ද අවසන යොදන්නේ පාරවල්, බෝක්කු සහ ඇවිදින මංතීරු ආදියටය. එවැනි වැඩවලින් මේ වැටී තිබෙන ආර්ථිකය ගොඩ ගන්නට නොහැකිය. 

මුදල් ඇමැතිවරයා සේම අමාත්‍යාංශ ලේකම්වරයා ද පැවසුවේ විනිමය අර්බුදය හමුවේ වාහන ආනයන කිරීම ගැන දැන්ම සිතන්නට නොහැකි බවය. රාජ්‍ය සේවය රටට බරක් යැයි කියන්නේ මුදල් ඇමැතිවරයාමය. එහෙත් මේ කියන ගැටලුවලට ඔවුන් ඉදිරිපත් කර ඇති විසඳුම කුමක්ද..? රාජ්‍ය අංශයේ විශ්‍රාම වයස ද තවත් ඉහළ දමා පවත්වා ගෙන යෑමය. රාජ්‍ය අංශය බරක් නම් අඩුම තරමින් තවත් ඊට බැඳෙන්නට දිරි නොදී එහි ශ්‍රම බලය අඩු කරන පියවරකට යා යුතුය. ආණ්ඩුව ඒ වෙනුවට කර ඇත්තේ රාජ්‍ය සේවකයා විශ්‍රාම ගැන්වීමේ කාලය දීර්ඝ කර පාරිතෝෂික ආදිය ගෙවීමට ඇති අපහසුවෙන් බේරෙන්නට මගක් සෙවීමය. මේ ක්‍රියාව හරියට අපායට Interval සෙවීමක් වැනි වැඩකි. Interval එක අවසන් වූ පසුව පුපුරා යන්නේ බෝම්බයකි. 

මේ වන විට ඉන්ධන ප්‍රශ්නය විසින් ශ්‍රී ලංකාවේ සියලු යාන්ත්‍රණ සිර කරනු ලබන තැනට ප්‍රශ්නය උග්‍ර කර තිබේ. ඉන්ධන මිලදී ගැනීමටවත් විදේශ විනිමය නැතිවීම ඊට හේතුව වී තිබේ. ඖෂධ ආදී අත්‍යවශ්‍ය දේ වරායට පැමිණ සිර වී තිබෙන්නේ ද නිදහස් කර ගැනීමට ඩොලර් නැති බැවිනි. ආණ්ඩුවේ අයවැයේ මේ බැරෑරුම් ප්‍රශ්න ආමන්ත්‍රණය කර තිබෙන්නේ කොතැනද..? 

මේ අයුරින් විමසා බැලීමේදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙස අපට අනුව නම් මේ අයවැයෙන් පෙනෙන ලොකුම අවුල වන්නේ ආණ්ඩුවේ ආර්ථික දැක්ම පිළිබඳ ප්‍රශ්නයයි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට යෝජනා කරන විසඳුමක් ගැන අයවැයේ සඳහන් නොවේ. ආනයන ආදේශක කාර්මීකරණයක් ගැන කතා කරන ආණ්ඩුව ඒ ඔස්සේ යා හැකි දුර ගැන නොසිතීම ඊට කදිම නිදසුනකි. 

ආණ්ඩුවට ආනයන ආදේශ කළ හැකි සීමාවක් තිබේ. නිදසුනකට මෝටර් රථ එකලස් කරන්නෝ එම වැඩ කටයුතු කරන්නේ සියලු දේ ආනයනය කිරීමෙනි. එමගින් සිදු වන්නේ අපනයන අංශය අධෛර්යවත් කිරීමකි. නිෂ්පාදකයන්ට අපනයනයට වඩා දේශීය පාරිභෝගිකයාටම විකිණීමෙන් වැඩි මුදලක් උපයා ගත හැකිය. එහෙත් ආණ්ඩුව සිය අයවැය සකසා ඇත්තේ මේ කරුණු ගැන සැලකිලිමත් වීමෙන් නොවේ. ඒ අර්ථයෙන් ගත් කල 2022 අයවැය සමාන කළ හැක්කේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයකටය. සමස්තයක් වශයෙන් ගත් කල මේ යෝජනාවලිය අසාර්ථක අයවැයකි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දී ඇති ප්‍රධානතම ප්‍රශ්නවලට ප්‍රමාණවත් පරිදි විසඳුම් දීමට මේ අයවැයට හැකියාවක් ලැබී නැත.

මේ වාතාවරණය අනුව මතු කළ හැකි තර්කය වන්නේ "The Banker" සඟරාව පවසන පරිදි රටෙහි ඇති විය හැකි මූල්‍ය අර්බුදය වළක්වා ගැනීමටත්, රටේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමෙන් රාජ්‍ය වියදම පියවා ගැනීමටත් 2015-2016 වසරවලදී මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා සමත් වූ බවයි. වඩා වැදගත් වන්නේ මෑත ඉතිහාසයේ පහළ වූ අකාර්යක්ෂම ම භාණ්ඩාගාර ලේකම්වරයා තබා ගෙන මේ තරම් සක්‍රීය සහ සාධනීය ක්‍රියා කලාපයන් සහ තීරණ කෙරෙහි යොමු වීමට ඔහුට හැකි වූ බවයි. 

මෙම තීරණ සඳහා හේතු වූයේ රවි කරුණානායක මහතා පෞද්ගලික අංශයේ ක්‍රියා කිරීම නිසා ලබා ගන්නා ලද කාර්යක්ෂමතාවය බව පැහැදිලිව කිව හැකිය. දිවා රෑ නොතකා භාණ්ඩාගාරයේ ගත කරමින් සහ සාකච්ඡා පවත්වමින් ඔහු සිදු කළ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස එම තත්ත්වය  පෙන්වා දිය හැකිය.

යුරෝපයේ මුදල් ඇමතිවරුන්ගේ පෞද්ගලික චරිත ලක්ෂණ පිළිබඳ දත්ත භාවිතා කරමින් (1980 - 2010) මාක්-ඩැනියෙල් මොයිසින්ගර් (2012) පෙන්වා දුන්නේ ද මුදල් ඇමතිවරයකුගේ පෞද්ගලික ගති ලක්ෂණ ඔහුගේ හෝ ඇයගේ සමස්ත කාර්ය සාධනයට බලපාන බවයි. ඇත්තටම රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් කළ මෙහෙවර සහ ඔහුගේ දේශපාලන-ආර්ථිකය ගැන අපට කරන්න කිසිම තක්සේරුවක් ඉතිරි වී නොමැත.1926 සිට ගෝලීය මූල්‍ය පිළිබඳ ප්‍රමුඛතම මාසික සඟරාව වන ලොව ප්‍රකට "Financial Times" සමූහයට අයත් "The Banker" සඟරාව විසින් 2017 සඳහා ආසියා-පැසිෆික් කලාපයේ "හොඳම මුදල් ඇමති" සම්මානය රවී කරුණානායක මහතාට පුද කරමින් ජාත්‍යන්තරය ඒ තක්සේරුව ඉහළින්ම කර තිබේ.

ආර්ථිකවේදීන් ලෙස මෑත දේශපාලන ඉතිහාසයේ අප දුටූ හොඳම අය-වැය යෝජනාවලිය වන්නේ මුදල් ඇමතිවරයා වශයෙන් 2015 දී රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ අය-වැයයි. ඒ අනුව රවී කරුණානායකගේ කකුලෙන් නොඇද එම අය-වැය යෝජනාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඔහුට එදා ඉඩ දුන්නා නම් රට මේ වන විට විශාල දියුණු මට්ටමක පවතින අතර එසේ වුණා නම් තවමත් බලයේ සිටින්නේ යහ පාලන ආණ්ඩුවයි.

ඒ වගේම මාරාන්තික COVID-19 නව කොරෝනා වසංගතය හමුවේ රටක්-ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටී සිටින මේ මොහොතේ රවී කරුණානායක මහතා මුදල් ඇමතිවරයා වශයෙන් සිටියා නම් වත්මන් ආණ්ඩුව වගේ මුදල් අච්චු ගැසීමට රජයට සිදු නොවේ. 

මෙවැනි බරපතළ සහ හදිසි තත්ත්වයකදී මුදල් අච්චු ගසා රටේ ආර්ථිකය තව තවත් අර්බුදයකට තල්ලු නොකර ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මුල්‍ය ප්‍රතිපාදන රැස් කිරීමට සේම අර්බුදය අවසන් වන තුරු එම ප්‍රතිපාදන කළමනාකරණය කිරීමට රවී කරුණානායක මහතාට හැකියාවක් තිබේ. ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ආයතනයේ නිත්‍ය සාමාජිකයෙකු වන රවී කරුණානායක මහතා, මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අත්දැකීම් සහ හැකියාවන් බහුල පුද්ගලයෙකු බව කිව යුතුයි. එවැනි අත්දැකීම් සහ හැකියාවන් සහිත වෘත්තීයවේදීන් ජාතික දේශපාලනයේ සිටින්නේ ඉතා අතලොස්සයි. රට ගොඩනැගීමට නම් රවී කරුණානායකලා වැනි ප්‍රායෝගික දේශපාලකයින් ජාතික දේශපාලනයට වැඩි වැඩියෙන් අන්තර් ග්‍රහණය කර ගත යුතුය. 

 


 

Advertiesment