Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


ජනපතිගේ කූඨ ව්‍යවස්ථාව පරාජය කරමු


2021-11-28 14336

 

ව්‍යවස්ථා සම්පාදනය මහා ජන සහභාගීතුවයෙන් යුතුව කරනු 

 

රට ගොඩ ගැනීම සඳහා මහා ජන නඩුකරයක් ඕනෑ 

 
 
(වික්ටර් අයිවන්) 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ජීවිතය, නිදහස සහ දේපළ පිළිබදව පුරවැසියන්ගේ අයිතිවාසිකම් නිර්ණය කරන උත්තරීතර නීතිය වනවා සේම රාජ්‍යය තන්ත්‍රයේ ආකෘතිය සහ කාර්යයන් ද, ඒවා පාලනය වන සිද්ධාන්ත ප්‍රකාශ කරන නෛතික වශයෙන් පාරිශුද්ධ ලියවිල්ල ලෙසද සැලකිය හැකිය. පරණ මධ්‍ය කාලීන ලෝකය, නූතන ලෝකයක් බවට පරිවර්ථනය වීමත් සමග රාජ්‍යය භුක්ති විඳින පරමාධිපත්‍යය බලයේ ප්‍රභවය ලෙස සැලකෙන්නේ රජු නොව ජනතාවය. රාජ්‍යය බලය හැම විටම මහ ජන කැමැත්තට යටත්ය යන සිද්ධාන්තය ඇති වී තිබෙන්නේද ඒ අනුවය. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වුවද ජන රජයේ පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහ ජනතාවටය. එම බලය අත් හළ නොහැකි බලයකි. රාජ්‍යය බලය පමණක් නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැලකෙන්නේද ජනතාවගේ හිමිකමක් ලෙසය. සම්භාව්‍ය ලිබරල් අර්ථ කථනය අනුව "ව්‍යවස්ථාව ලෙස සැලකෙනුයේ තමා පාලනය විය යුතු ආකාරය පිළිබදව සමාජය පාලකයන් සමග ඇති කර ගන්නා ගිවිසුමටය"

ව්‍යවස්ථා සම්පාදනයේ පරිචයන් ද සියවස් දෙකකටත් වැඩි කාලයක් තිස්සේ වෙනස් වෙමින් පවතී. උගත් තෝරා ගත් ප්‍රභූ සුළු පිරිසකට හෝ ව්‍යවස්ථාදායකයේ නියෝජිතයින්ට සීමාවූ ව්‍යවස්ථා සම්පාදන ක්‍රමය මේ වන විට යල් පැනගිය ක්‍රමයක් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. මහ ජන සහභාගී ව්‍යවස්ථා සම්පාදනය, 21 වන සියවසේ පිළි ගත් ව්‍යවස්ථා සම්පාදන මාදිලිය බවට පත්ව තිබේ. සහභාගි ව්‍යවස්ථා සම්පාදන ආකෘතීන් පිළිබඳව විවිධ රටවල කර තිබෙන අත්හදා බැලීම් සංඛ්‍යාව විශාලය.

ව්‍යවස්ථා සම්පාදනයකට ක්‍රියාකාරි ලෙස සම්බන්ධ වීමට මහ ජනයාට තිබෙන අයිතිය එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර සම්මුතීන් මගින්ද පිළි ගෙන තිබෙන අයිතියකි. එක්සත් ජාතින්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 25 වැනි වගන්තියේ සඳහන් "පොදු කටයුතුවලට සහභාගි වීම" යන යෙදුමට මානව හිමිකම් කමිටුවේ පාඨමය බල අධිකාරිය 1996 ජූලි 12 වනදා ලබා දී තිබෙන අර්ථ කථනය අනුවද ව්‍යවස්ථා සම්පාදනයකට සහභාගී වීමේ අයිතිය මහජනයාට හිමිය. එම අයිතිය ජාත්‍යන්තර නීතියෙන්ද පිළිගනී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ කමිටුවක් යොදා ගනිමින් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් තිබෙන්නේ ව්‍යවස්ථා සම්පාදනයේ දී මහ ජන සහභාගිත්වයට අදාළ පිළි ගත් නීති සහ සම්ප්‍රදායන් උල්ලංඝනය කෙරෙන අකාරයටය. ව්‍යවස්ථා සම්පාදනය මහ ජනයාගේ අයිතියක් ලෙස සලකනවා වෙනුවට එම ක්‍රියවලිය ආණ්ඩුවේ කාර්යක් ලෙස සලකා ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව පෙනේ. ආණ්ඩුවේ එම ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සහාය සැඟ වුණු සහ අයහපත් අරමුණු සහිත කූඨ ව්‍යවස්ථා සම්පාදනයක් ලෙස සැළකිය හැකිය.

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අපිද පිළි ගනිමු. තිබෙන ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් හොඳ ව්‍යවස්ථාවක් නොවනවා සේම එම ව්‍යවස්ථාව  මේ වන විට තිබෙන්නේ දිගින් දිගට කරන ලද කෙළසීම් නිසා හොඳටම විකෘති වූ, බෙලහීන වූ සහ සුජාත භාවය අහිමි කර ගත් අබල දුබල තත්ත්වයකය. 

විශේෂයෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජය ගැනීමට අවශ්‍ය කරන ව්‍යවස්ථාමය ප්‍රතිපත්ති සහ ව්‍යුහයන් ඇති කිරීමේ හැකියාව ඊට නැත. ඒ නිසා අපට නව ව්‍යවස්ථාවක් අවශ්‍යය. එහෙත් එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සිදු විය යුත්තේ මහ ජනයා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කර ගන්නා විවෘත සහ ප්‍රජාතන්ත්‍රවාදී අකාරයකට විනා හොර රහසේ හිතුවක්කාරී ලෙස හදන ලියවිල්ලක් ලෙස නොවේ. එසේම ව්‍යවස්ථා සම්පාදනය සහ භාවිතය පිළිබදව ශ්‍රී ලංකාවේ අපට ඇත්තේ සතුටු විය හැකි යහපත් ඉතිහාසයක් නොවන බවද කිව යුතුය. අපට ඇත්තේ පසුතැවිලි විය යුතු අයහපත් ඉතිහාසයකි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අත්දැකිම් අනුව ද පෙනෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් හැදීමේ අභිලාෂය යහපත් ප්‍රජාතන්ත්‍රවාදී අරමුණකින් කරන ක්‍රියාවක්  නොවන ලෙසය. රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වී තිබෙන්නේ පාලකයාගේ ඒකාධිපති බලතල තව තවත් තර කිරීමට නොවේ. එවැනි නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජය ගැනීම සහ ඉන්පසු නීතියේ පාලනයක් සමග තිරසාර සංවර්ධනයක් පවත්වා ගෙන යාම සදහාය.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ ස්වභාවය මෙසේ පිඩු කළ හැකිය. සමස්ථ සමාජ ක්‍රමයම තිබෙන්නේ පරිපූර්ණ බිඳ වැටීමකය. සමාජ ක්‍රමයේ තිබිය යුතු සමගිය සහ ඒකාග්‍රතාව තිබෙන්නේ මුළුමනින් කඩා බිඳ වැටුණ තත්ත්වයකය. වර්ග-කුල සක ආගම් අතර ගැටුම් ප්‍රචණ්ඩ අරගල බවට පත්වී සමාජ ක්‍රමය ඒකාග්‍ර කරන වියමන මුළුමනින් කඩා බිද දැමීමට හේතුවී තිබේ. රටේ වැඩ කරන ජනයා ද, වෘත්තීයවේදීන් ද, ව්‍යවසායකයින් ද සිටින්නේ ඔවුන්ගේ එදිනෙදා ජීවිත, ජීවන මාර්ග සහ ව්‍යාපාර පවත්වා ගෙන යාමට නොහැකි ඉතා දුෂ්කර සහ අවුල් සහගත තත්ත්වයකය. 

රාජ්‍යය සහ එහි ආයතන ක්‍රමයද (ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය) තිබෙන්නේ දූෂණයෙන් කුණුවූ උපරිම මට්ටමකට ජරාජීර්ණ වූ සහ බංකොලොත් භාවයට යමින් තිබෙන තත්ත්වයකය. රාජ්‍යයේ කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය තරම් ආදායම් නොමැති ප්‍රශ්නය කෙරෙහි 1978 සිට ක්‍රියාත්මක වන පාලක පක්ෂය විසින් පොදු වස්තුව අයථා ලෙස හිමි කර ගැනීමේ දූෂිත ක්‍රම වේදයද වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන්නේ යැයි කිව හැකිය. 

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වී තිබෙන හේතුන් අතර තිබෙන වැදගත්ම හේතුව වනුයේ ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී තිබෙන අර්බුදය ජය ගැනීම සදහා අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිපත්ති සහ ව්‍යුහයන් ඇති කර ගැනීමය. එම ඓතිහාසික කාර්‍යභාරය මහ ජනයාට විනා සම්ප්‍රදායී දේශපාලකයින්ට කළ නොහැකිය.

ශ්‍රී ලංකාව මෙවැනි මහා විනාශයකට පත් කිරීමේ ප්‍රධාන වගකීම යන්නේ එම සම්ප්‍රදායී දේශපාලකයින්ට ය. ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ජරාජීර්ණභාවය සහ අසමත්කම ඔවුන්ගේ අසමත් කමේ අග්‍ර ඵලයක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාව අසමත් කිරීමට හේතුවූ පිරිසකගෙන් ශ්‍රී ලංකාව සමත් කිරීමට හේතු වන හොඳ ව්‍යවස්ථා සම්පාදනයක් අපේක්ෂා කළ හැක්කේ කෙසේද..? නීති සම්පාදනයේදී ව්‍යවස්ථාදායකය පෙන්වා තිබෙන අසමත්භාවයේ තරම අති විශාලය. ප්‍රාදේශිය සභා මැතිවරණ නීතිය සංශෝධනය කරන්නට ගොස් නීති සම්පාදනය අවසන් වූයේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව දෙගුණ කිරීමට හේතු වන අකාරයටය. එමගින් රටට ඇති කළ අනවශ්‍ය වැය බරේ ප්‍රමාණය අති විශාලය. නීති සම්පාදන විෂයේදී ව්‍යවස්ථාදායකයේ ඇතිවී තිබෙන පරිහානියේ තරම ඉන් හොඳින් පෙන්නුම් කළේය.

ඉහත දක්වන ලද කරුණු අනුව මේ මොහොතේ ශ්‍රී ලංකාව තිබෙනුයේ හැම අතකින්ම අතිශයින්ම බැරෑරුම් සහ තීරණාත්මක තත්ත්වයකය. ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට අත ගැසීම රටේ වර්තමානය සහ අනාගතය නිර්ණය කිරීම සදහා පියවර ගන්නා ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සැළකිය හැකිය. එවැනි බරපතළ වගකීමක් රහසිගතව ලියා ගත් ලේඛනයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මගින් හෝ ඊට පාර්ලිමේන්තුවේ අත එස වීම මගින් හෝ ඉටු කර ගත හැකි කාර්යයක් ලෙස සැලකිය නොහැකිය. එවැනි ක්‍රියාවලියක් සැලකිය හැක්කේ විකාර රූපී ක්‍රියාවක් ලෙසය. එවැනි ක්‍රියාවලින් විය හැක්කේ සිදු වී තිබෙන විනාශය තව තව උග්‍ර කිරීමය. ඒ නිසා රටේ පොදු යහපත පිණිස ආණ්ඩුවේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩ පිළිවෙළ පරාජය කිරීම අත්‍යාවශ්‍යය. 

ඒ සමග ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන අර්බුදය ජය ගැනීමට පුළුවන්කම ලබා දෙන මහ ජන සහභාගි ව්‍යවස්ථා සම්පාදනයක් ද දිනා ගැනීමද අවශ්‍ය වන්නේය.
රාජ්‍යයට සම්බන්ධ කාරණාවලදී මහ ජනයා ඍජු ලෙස මැදිහත් වන්නේ මෙවැනි ඉතාමත් විශේෂ අවස්ථාවලදී පමණය. අනෙකුත් අවස්ථාවලදී ඔවුන් කරන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පරමාධිපත්‍යය බලය අභ්‍යාස කිරීමය. එහෙත් නව ව්‍යවස්ථාවක් හදා ගැනීම පිළිබද ප්‍රශ්නයකදී සියලු ජන කොටස් ඍජු ප්‍රාජාතන්ත්‍රවාදී ක්‍රමයට පරමාධිපත්‍යය බලය අභ්‍යාස කරන අවස්ථාවක් ලෙස සැළකිය හැකිය. එම කාර්‍යභාරය සම්පූර්ණ කිරීමෙන් පසු ජනතාව ඍජු ප්‍රජාතන්ත්‍රවාදී අංග ද ඇතුළත් වන ලෙස නව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නැවත ප්‍රති නිර්මාණය කොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඉඩ දී වේදිකාවෙන් ඉවත්ව යනු ඇත.

ව්‍යවස්ථාව නිර්මාණය කරන අවස්ථාව ජනතාව තමන්ට හිමි පරමාධිපත්‍ය‍ය බලය උපරිම ලෙස අභ්‍යාස කරන අවස්ථාව ලෙස සැළකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු තව දුරටත් හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් සංස්ථාපනය කරන ක්‍රියාවලියක් නොව මහ ජනයා ක්‍රියාකාරී ලෙස සහභාගී කර ගන්නා විවෘත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඔස්සේ සකස් කර ගත යුතු ලියවිල්ලකි.

රටේ පොදු යහපත පිණිස ආණ්ඩුවේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩ පිළිවෙළ පරාජය කිරීම අවශ්‍ය වනවා සේම ශ්‍රී ලංකාවේ අර්බුදය ජය ගැනීමට අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිපත්ති සහ ව්‍යූහයන් ඇති කර ගැනීමට පුළුවන්කම ලබා දෙන මහ ජන සහභාගී ව්‍යවස්ථා සම්පාදන වැඩ පිළිවෙළක් දිනා ගැනීමද අත්‍යාවශ්‍යය. 

ව්‍යවස්ථාව සහ රටේ අර්බුදය අතර තිබෙන අන්තර් සම්බන්ධය තේරුම් ගැනීම ඉතා වැදගත්‍ ය. ඉතා හිතුවක්කාරී අකාරයකට සිදු කරන ලද රසායන පොහොර තහනම සහ යුද්ධයේදී උතුරෙන් පවරා ගත් ඉඩම් ආපසු පවරා නොදීම වැනි ක්‍රියා ඉන්දියාවේ හෝ දකුණු අප්‍රිකාවේ සිදු කළ නොහැකිය. හේතුව ඒ රටවල් දෙකේ තිබෙන ව්‍යවස්ථාවන් අනුව කොතරම් විශාල මැතිවරණ ජයග්‍රහණයන් ලබා ගත්තද පාලකයන්ට එවැනි හිතුවක්කාර ක්‍රියාකාරකම් කළ නොහැකි ප්‍රතිපත්ති සහ විදි විධාන එම ව්‍යවස්ථා දෙකට ඇතුළත්ව තිබෙන නිසාය. 

මෙම ලියවිල්ලේ අපේක්ෂාව වන්නේ ආණ්ඩුවේ හිතුවක්කාරී ව්‍යවස්ථා සම්පාදනයට විරුද්ධ වෙමින් එම ක්‍රියාවලිය පරාජය කරන අතර සහභාගී ව්‍යවස්ථා සම්පාදන රාමුවක් දිනා ගැනීමේ අවශ්‍යතාව මහ ජනයාටද, මහ ජන සංවිධානවලටද, දේශපාලන පක්ෂවලට සහ දේශපාලන කණ්ඩායම්වලටද පැහැදිලි කර දීමය.

ආණ්ඩුවේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහන පරාජය කිරීම සදහා සහ මහ ජන සහභාගී ව්‍යවස්ථා සම්පාදන වැඩ පිළිවෙළක් දිනා ගැනීම සදහා මහ ජන උද්ඝෝෂණ වැඩසටහනක් රටට අවශ්‍යය. ඒ සමග එම අරමුණු දෙක ඉලක්ක කර ගත් විශාල මහ ජන සහභාගිත්වයක් ඇති මහ ජන නඩුකරයක්ද කරලියට ගැනීම ද රටේ ආරක්ෂාව සදහා ඉතා අවශ්‍යය. එම නඩුකරය ආණ්ඩුවේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහනට එරෙහිව නියෝග ලබා ගැනීමේ අරමුණින් සහ සහභාගී ව්‍යවස්ථා සම්පාදනයකට අවශ්‍ය නියෝග සේම මඟ පෙන්වීම් ලබා ගැනීමේ අරමුණින් ආරම්භ කරන මහ ජන නඩුකරයක් විය යුතුය. 

එසේම එම නඩුකරය සියලු වර්ග, ආගම්, ලිංගික, සංස්කෘතික සහ පීඩිත ජන කණ්ඩායම්වලද කම්කරු, ගොවි, ධීවර, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන් වගේම  ව්‍යාපාරික අභිලාෂ වෙන් වෙන්ව සහ පොදුවේ පෙන්නුම් කරන මහ ජන නඩුකරයක් විය යුතුය. මෙම සටහනින් අවධාරනය කරන මෙම මුලික ප්‍රශ්නය කෙරෙහි බැරෑරුම්ව අවධානය යොමු කරන ලෙස සියලුම වාර්ගීක, ආගමීක, ලිංගික සහ සංස්කෘතික ජන කණ්ඩායම්වලින්ද, වෘත්තීය සමිතිවලින්ද, ගොවි සහ ධීවර ඇතුළු වෙනත් මහ ජන සංවිධානවලින්ද වෘත්තීයවේදි සංවිධානවලින් වගේම වාණිජ සහ ව්‍යාපාරික සංවිධානවලින්ද, දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලින්ද ඉල්ලා සිටිමු.

ඉහත සටහන මා විසින් ආසියානු මානව හිමිකම් කොම්සමේ බැසිල් ප්‍රනාන්දු සහ අතුරුදහන්වුවන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් හඬ නගන ප්‍රධාන නියමුවකු ලෙස සැලකිය හැකි බ්‍රිටෝ ප්‍රනාන්දු සමග සාකච්ඡා කොට ව්‍යවස්ථාව ආශ්‍රයෙන් ඇතිවී තිබෙන ප්‍රශ්නය ගැන මහ ජන සංවිධාන දැනුවත් කිරීම සදහා ලියන ලද්දකි. මේ ලියවිල්ලේ සදහන් අරමුණු දෙක වෙනුවෙන් මහ ජන නඩුකරයක් ගොඩනැගීම සඳහා මහ ජන සංවිධාන විශාල ගණනක් එකට එකතු කිරීමට මේ වන විටත් හැකි වී තිබේ. එම මහ ජන නඩුකරයේ කොටස් කරුවන් වීමට කැමති මහ ජන සංවිධාන හෝ පුද්ගලයින් සිටී නම් (077 3184532) හෝ (0773601343) යන ජංගම දුරකථන අංක අමතා කථා කරන්න.

Advertiesment