Sunday 23rd of January 2022

English Tamil
Advertiesment


ජනමාධ්‍ය ආචාර ධර්ම ඔබට වැදගත් වන හැටි මෙන්න..!


2021-11-26 20637

ශ්‍රී ලංකාවේ කර්තෘ සංසදය මගින් හඳුන්වා දී ඇති වෘත්තිය ප්‍රතිපත්ති මාලාවත්, මාධ්‍ය සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් පිළිගත් ආයතන, අධිකාරීන්, සංවිධානයන් මගින් ඉදිරිපත් කොට ඇති මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශනයන් පරිශීලනය කොට, එසේ විවිධ මූලාශ්‍ර ඔස්සේ ලබාගත් අසම්පූර්ණ මාධ්‍ය ආචාරධර්ම ලැයිස්තුවක්, එක් මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශනයක් ලෙසින් සම්පිණ්ඩනය කිරීම අප විසින් සිදුකර ඇත.

මාධ්‍ය ආචාර ධර්ම යනුවෙන් මෙහිදී හැඳින්වෙන්නේ, මාධ්‍යකරණයේදී පිළිපැදීමට දිරිගැන්වෙන යම් ප්‍රතිපත්ති හා සම්මතයන් වේ. මෙවන් මාධ්‍ය ආචාර ධර්මයන් පැවතීමේ අවශ්‍යතාවය වන්නේ, යම් පාර්ශවයන්ට හෝ පුද්ගලයින්ට හෝ පුද්ගල කණ්ඩායම් වලට හෝ පොදුවේ මහජනතාවට මාධ්‍යකරණය ඔස්සේ අගතීන් හෝ කොන් කිරීම් සිදුවීම වැළැක්වීමටත්, මාධ්‍යකරණයේ වෘත්තිය ගෞරවය ආරක්ෂා කිරීමටත් වේ. මාධ්‍ය මගින් වාර්තාකරණයේදී මෙම මාධ්‍ය ආචාර ධර්මයන්ට අනුකූල වීම අතිශයින්ම අවශ්‍ය කරුණක් වන්නේත් එනිසායි.

මෙම මාධ්‍ය ආචාරධර්ම මාර්ගෝපදේශන සම්පාදනය, මාධ්‍ය වෘත්තිකයින් හටත්, මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුව සහ අදාළත්වය ඇති විද්‍යාර්ථීන් හටත්, පාඨක ප්‍රජාව හටත් එකසේ වැදගත් වනු ඇතැයි අපි සිතමු. ඒ ඔස්සේ වඩාත් යහපත්, වඩාත් ආචාර ධාර්මික මාධ්‍යකරණයක් ශ්‍රී ලංකාව තුළ ඇතිවනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරමු.

Ethics Eye යනු, ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය ආචාර ධර්මයන්ට අනුකූල වූ මාධ්‍ය සංස්කෘතියක් පෝෂණය කිරීම උදෙසා කටයුතු කරනා, පර්යේෂණ මත පදනම් වූ පර්යන්තයකි. ශ්‍රී ලංකාවේ එදිනෙදා වාර්තාකරණය තුළ දක්නට ලැබෙනා මාධ්‍ය ආචාර ධාර්මික උල්ලංඝනයන් හා ඊට අදාළව සැලකිලිමත් විය යුතු කරුණු විෂයෙහි මාධ්‍ය ක්ෂේත්‍රය සමගත්, පොදුජනයා සමගත් සම්බන්ධ වන්නට හා ඔවුන්ව දැනුවත් කරන්නට අපි කටයුතු කරමු.

 
පුවත්පත් මාධ්‍ය ආචාරධර්ම මාර්ගෝපදේශන සම්පාදනය
වැරදි පුවත් වාර්තාකරණය 

 

පුවත්පත් සෑමවිටම සාවද්‍ය, නොමඟ යවන සුළු හෝ විකෘති කළ තොරතුරු (ඡායාරූපද ඇතුළත්ව) ප්‍රකාශයට පත් නොකිරීමට වග බලා ගත යුතුය. 

 
නිවැරැදි කිරීම් හා සමා අයැදීම-පිළිතුරු දීමට අවස්ථා

 

යම් කිසි පළවූ වාර්තාවක් කරුණු අතින් වැරැදියැයි කර්තෘට පෙනී යන අවස්ථාවකදී එය නිසි ප්‍රමුඛතාවක් ඇතිව සහ යෝග්‍ය වන්නේ නම් සමා අයැදීමක් ද ඇතිව, එම නිවැරැදි කිරීම හා සමා අයැදීම පීඩිත පාර්ශවයේ කැමැත්තට පටහැනි වන අවස්ථාවකදී හැර, අනෙක් හැම විටෙකදීම වහාම පළ කොට එය නිවැරැදි කළ යුත්තේය. 

කරුණු අතින් සාවද්‍ය ප්‍රකාශන නිසා පුද්ගලයන්ගේ හෝ සංවිධානවල හෝ කීර්තියට ගෞරවයට, නම්බුවට, හැඟීම්වලට පෞද්ගලිකත්වයට හා නිලයට හානි සිදුවන්නේ නම්, ඒ ප්‍රකාශනවලට පිළිතුරු දීම සඳහා සාධාරණ හා යුක්ති සහගත අවස්ථාවක් ඒ පුද්ගලයනට හෝ සංවිධානවලට හෝ දිය යුත්තේය. එම පිළිතුරු සිය කරුණු පැහැදිලි කිරීම සඳහා  පැමිණිළිකරු/පැමිණිළිකාරිය කරන ප්‍රකාශයට සීමා විය යුතු අතරම, සිදුවිණැයි කියන වරද නිවැරැදි කිරීම පිණිස අවශ්‍ය ප්‍රමාණයට වඩා එය දීර්ඝ ද නොවිය යුත්තේය. 

වරද ගැන සමාව අයැදීම හෝ කනගාටුව පළ කිරීම වෙනුවට පැමිණිළිකරු-පැමිණිළිකාරියගේ පිළිතුරට ප්‍රතිචාර දක්වන කතුවරු හෝ පුවත්පත් කලාවේදියෝ ඊට පිළිතුරු දීමේ තවත් අවස්ථාවක් අතෘප්ත පාර්ශවයට නැවත ප්‍රතිචාර දැක්වීමට අවකාශය සැලසිය යුතුය.  

 
 පුවත්පත් වාර්තාවක-ලිපියක මූලාශ්‍ර පළ කිරීම සහ රහස්‍ය මූලාශ්‍ර

 

තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා කළ යුතු මූලාශ්‍ර, එය අනාවරණය කිරීමේ අවසරය ඒ මූලාශ්‍රයෙන්ම නොලැබෙන තෙක් හෙළිදරවු නොකිරීමේ සදාචාරත්මක වගකීමක් සෑම පුවත්පත් කලාවේදියකුටම/වේදිනියකටම ඇත්තේය.  

 
මුලාශ්‍ර සඳහන් නොකර සිටිය හැකි අවස්ථාවන් වන්නේ

 

පුවතට අවැසි  කරුණ තොරතුරක් මිස මතයක් හෝ අනුමානයක් නොවන අවස්ථාවක සහ එම කරුණ පුවතට අත්‍යාවශ්‍ය වන විට.

මුලාශ්‍රය තොරතුරු ලබාදෙන්නේ එම මුලාශ්‍රයේ අනන්‍යතාවය හෙළි නොකර සිටින්නේ නම් පමණක් යැයි කොන්දේසියක් පනවන අවස්ථාවක.

මුලාශ්‍රය විශ්වාසනීය සහ නිවැරදි තොරතුරු ලබාදීමට සමත් වනවිට.  

 
 අපරාධ -සමාජ ප්‍රශ්ණ පිළිබඳ පුවත් පළ කිරීමේදී

 

 කම්පන හෝ හිත් වේදනා ඇති කරන ආකාරයේ සමාජ ප්‍රශ්න, එනම්, කෲරත්වය, ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය අපයෝජනය, දුෂ්ටත්වය, පරපීඩා/කාමුකත්වය, ලිංගික පීඩනය හා අශිෂ්ටත්වය ද යනාදිය පිළිබඳ කරුණු වාර්තා කිරීමේ දී ඊට සම්බන්ධ ඡායාරූප හා චිත්‍ර, අවශ්‍ය සංවේදීතාවෙන් හා විචාර බුද්ධියෙන් යුතුව මෙන්ම පොදුජන යහපත උදෙසා කරුණු ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ තමන්ගේ වගකීමට යටත්ව ද ඉදිරිපත් කිරීමට පුවත්පත විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තේය. 

 අපරාධ හා අපරාධ නඩු පිළිබඳ තොරතුරු හා වාර්තා කිරීමේ දී ප්‍රකාශන නීතියෙන් හා පොදු ජන යහපත පිළිබඳ සාධකයෙන් ද යන දෙවිදියෙන්ම අවසර ලැබෙතොත් විනා එසේ නොවේ නම්: ලිංගික අපරාධවලට ලක්වූවන්ගේ නම-අනන්‍යතාවය හෙළිදරවු නොකළ යුතුය. අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා හෝ දඬුවම් හෝ ලැබූ පුද්ගලයකුගේ ඥාතීන්ගේ අනන්‍යතාව සාමාන්‍යයෙන් ඔවුන්ගේ කැමැත්ත නැතිව හෙළිදරවු නොකළ යුත්තේය.  

 
ආගමික-ජනවාර්ගික පුවත් පළ කිරීමේදී
 

 පුවත්පත් කලාවේදියෙක් දැන දැනම හෝ හිතාමතා හෝ ජනවාර්ගික හෝ ආගමික අසමගියට හෝ ප්‍රචණ්ඩත්වයට අනුබල නොදිය යුත්තේය.  

 
දිවි අහිමි කර ගැනීම  සම්බන්ධ පුවත් පළ කිරීමේදී 

 

දිවි අහිමි කර ගැනීම් නුවුමනා ලෙසින් සංවේගය-උද්වේගය ඇති කරනා ආකාරයෙන්, දිවි අහිමි කර ගැනීම් උත්කර්ෂයට නංවමින්, හෝ එය සුළු කොට දක්වමින් වාර්තා නොකළ යුතුය. එමෙන්ම දිවි අහිමි ගැනීමේ ක්‍රියාව හා එය තැත් කරන පුද්ගලයන්ව ගර්හාවට ලක් නොකළ යුතුය. 

දිවි අහිමි කරගැනීම් පිළිබඳ පුවත් ප්‍රමුඛත්වයෙන් පළ නොකළ යුතුය. පුවත්පත තුල මෙවැනි වාර්තා පළ විය යුත්තේ ඇතුල් පිටුවක පහළ කොටසට වන්නට මිස, මුල් පිටුවේ හෝ ඇතුල් පිටුවක උඩ කොටසේ නොවේ. දිවි අහිමි කර ගත් ආකාරය දීර්ඝ ලෙස විස්තර නොකළ යුතුය. 

දිවි නසා ගැනීම-දිවි තොර කර ගැනීම යන්න සිරස්තලයෙහි සඳහන් නොකළ යුතුය. එමෙන්ම ක්‍රමය හෝ ස්ථානය පිළිබඳ පැහැදිලි සඳහනක් සිරස්තලයෙහි නොදැක්විය යුතුය. සිරස්තලය ප්‍රධාන පුවත ලියන කතුවරයා මිස වෙනත් මාධ්‍ය වෘත්තිකයෙක් විසින් ලියනු ලැබේ නම්, එම වෘත්තිකයා කතුවරයා සමග සාකච්ඡා කොට සුදුසු සිරස්තලයක් තෝරා ගත යුතුය. 

ඉංග්‍රීසි පුවත්පත් වාර්තාකරණයේදී committed suicide වෙනුවට died by suicide/ took his/her life/killed him/herself යෙදිය යුතුය. දිවි අහිමි කර ගැනීමක් සිදු වූ ස්ථානයක ඡායාරූප, වීඩියෝ දර්ශන හෝ සමාජ මාධ්‍ය සබැඳි, විශේෂයෙන් ස්ථානය හෝ ක්‍රමවේදය පිළිබඳ නිශ්චිත තොරතුරු, පළ නොකළ යුතුය. සියදිවි හානි කර ගත් පුද්ගලයා ලියූ ලිපි  පළ නොකළ යුතුය. දිවි අහිමි කරගන්නා පොදු ස්ථාන පිළිබඳව සඳහන් කිරීම, එවැනි ස්ථාන තිබෙන බව හැඟවීම, සහ එම ස්ථාන වල තොරතුරු ප්‍රවර්ධනය කිරීම නොකළ යුතුය.  

සිය දිවි නසා මිය ගිය පුද්ගලයෙකුගේ පින්තූර භාවිතා කිරීමේදී විශාල ප්‍රවේශම් වීමක් අවශ්‍ය වේ. පින්තූර භාවිතා කරන්නේ නම්, පවුලේ සාමාජිකයන්ගෙන් පැහැදිලි අවසරයක් ලබා ගත යුතුය. එමෙන්ම මෙම පින්තූර කැපී පෙනෙන ලෙස ස්ථානගත නොකළ යුතු අතර දිවි අහිමි කරගත් පුද්ගලයාට හෝ දිවි අහිමි කරගැනීමට පාඨක ආශක්තභාවය ලැබෙන ලෙසින් ඒවා පළ නොකළ යුතුය. සිය දිවි හානි කර ගත් හේතුව ඉතා සරලව නොදැක්විය යුතු අතර උපකාරක අංකයක් (උදාහරණ ලෙස සුමිත්‍රයෝ 0112696666-CCC line: 1333 -National Institute of Mental Health: 1926 ) පිළිබද ලිපිය තුළ සදහන් කිරීම යෝග්‍ය වේ. 

 
පෞද්ගලිකත්වය -පෞද්ගලික තොරතුරු පළ කිරීමේදී 

 

පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිත ඔවුන්ගේ ගේ-දොර, සෞඛ්‍යය හා සහසම්බන්ධතා ද ඩිජිටල් සන්නිවේදනය කෙරෙහි ගෞරවයක් දැක්වීමෙහිලා පුවත්පත් විශේෂ සැලැකිල්ලකින් ක්‍රියා කළ යුත්තේය. පෞද්ගලිකත්වයට ඇති මේ අයිතිය අදාල පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කළ හැක්කේ පොදුජන සුබ සිද්ධිය ඒ සියල්ල ඉක්මවා යන්නේ නම් පමණකි. 

පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අපේක්ෂාවක් සහිතව පොදු හෝ පෞද්ගලික ස්ථානයන්හි සිටිනා අයවලුන්ව, ඔවුන්ගේ අනුමැතියකින් තොරව ඡායාරූපගත කිරීම පිළිගත නොහැකි වේ.  

 
කොන්කිරීම්-වෙනස්කොට සැලකීම්/අගතිසහගත සහ අවඥාසහගත සදහන් කිරීම්

 

පුද්ගලයකුගේ වර්ගය, වර්ණය, ආගම, ලිංගික නැඹුරුතාවය, ලිංගිකත්වය (ස්ත්‍රී/පුරුෂ භාවය) පිළිබඳවත් ශාරීරික වෙනස්කමක් හෝ මානසික රෝගාබාධ පිළිබඳවත් අගති සහගත හා අවඥාසහගත කරුණු සඳහන් කිරීමෙන් පුවත්පත් වැළැකිය යුත්තේය. ඉහත කරුණු පාදක කරගනිමින් වාර්තාවක් හෝ ලිපියක් තුළ වෙනස් ලෙසින් සැලකීම නොකළ යුතුය.  

පුද්ගලයකුගේ වර්ගය, කුලය, ආගම, ලිංගික නැඹුරුතා, ශාරීරික වෙනස්කමක් හෝ මානසික රෝගාබාධ  පිළිබඳ විස්තර, පුවතට සෘජුවම අදාළ වන්නේ නම් විනා, එසේ නැතිව ප්‍රකාශයට පත් කිරීමෙන් වැළැකිය යුත්තේය.  

 
 බාලවයස්කරුවන් සම්බන්ධ වාර්තා කරණයන්  

 

සාපරාධී වරදක් සම්බන්ධයෙන් චෝදනා ලත් වයස අවුරුදු 16 ට අඩු හා පෙර දඬුවම් නැති කිසිදු බාලවයස්කරුවෙකුගේ නම, අනන්‍යතාවය හෙළි කරගත හැකි කරුණු දැන දැනම අනාවරණය නොකළ යුතුය. 
 

ලිංගික අපරාධයකට-අපයෝජනයකට ලක්වූ බාලවයස්කරුවෙකු සම්බන්ධ අවස්ථාවක ඕනෑම මාධ්‍ය වාර්තාවක බාලවයස්කරු හඳුන්වා දිය යුතු නොවේ. වැඩිහිටියාගේ අනන්‍යතාවය හඳුන්වා දිය හැක. බාලවයස්කාර වින්දිතයෙකු හඳුනාගත හැකි තැන “ව්‍යභිචාරය” (Incest) හෝ වෙනත් ඊට සමාන වචන භාවිතා නොකළ යුතුය. චූදිතයා සහ බාලවයස්කරු අතර ඇති සම්බන්ධය පිළිබඳව කිසිවක් වාර්තාවේ ඇඟවුම් නොකිරීමට වගබලා ගත යුතුය.  

සිය පාසල් සමය අනවශ්‍ය අත පෙවීම්වලින් තොරව සම්පූර්ණ කර ගන්නට බාලයනට නිදහස තිබිය යුතුය. වයස අවුරුදු 16 ට පහළ බාලවයස්කරුවන්ගෙන්, ඔවුන් හෝ වෙනත් බාලවයස්කරුවෙකුගේ සුභසාධනය සම්බන්ධ කරුණු පිළිබඳව සම්මුඛ සාකච්ඡාවන් ඔස්සේ තොරතුරු විමසීම හෝ ඡායාරූපගත කිරීම, ඔවුන්ගේ භාරකාර දෙමාපියන් හෝ ඒ හා සමාන වගකීම් සහගත වැඩිහිටියෙකුගේ අවසරය ඇතිනම් මිස නොකළ යුතු වේ.

බාලවයස්කරුවෙකුගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කරුණු අවසර ලබාගැනීමකින් තොරව ප්‍රකාශයට පත් කිරීම, බාලවයස්කරුගේ හෝ බාලවයස්කාරිනියගේ දෙමාපියන්ගේ කීර්තිය හෝ අපකීර්තිය හෝ තත්ත්වය මගින් හුදුවේ සාධාරනීකරණය කළ නොහැක. 
අර්ථ නිරූපණය 

 
මහජන යහපත යනු
 

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ජනතාව විසින් තෝරාපත්කර ගනු ලැබූ නියෝජිතයින් ගේ සහ රජයේ ක්‍රියාකලාප පිලිබදව ජනතාව දැනුවත් කිරීම.

එසේම මහජන යහපත-මහජන බැඳියාව යනු මහජන අභිරුචියට තුල්‍ය වූවක් නොවේ. මහජන යහපත මගින් බලාත්ප්‍රවේශයක් සාධාරණීකරණය කෙරෙන්නේ නම්, එය බරපතළ, යථායෝග්‍ය මහජන යහපතක් වනු විනා, හුදු කුතුහලය නොවිය යුතුය. පුද්ගලයින් තමන් දරණ හෝ අපේක්ෂා කරන මහජන භූමිකාවන් හි ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට හෝ යෝග්‍යතාවයට බලපෑම් කරන අවස්ථාවන්හිදී හැරෙන්නට, පුද්ගලයෙකු මහජන ජීවිතයකට ඇතුළු වීම ඔස්සේ ඔවුන් තම පෞද්ගලික කටයුතු සඳහා ඇති පුද්ගලිකත්වයේ අයිතියට නුසුදුස්සන් නොකෙරෙනු ඇත.

 
මහජන යහපත-මහජන බැඳියාව යනු

 

(O1). මහජන යහපතට-මහජන බැඳියාවට මතු දැක්වෙන කරුණු ඇතුලත් වන අතර, එසේ වුවත් එම කරුණුවලට සිමා වී නොමැත.

(02) අපරාධයක් හෝ අපරාධයක තර්ජනයක් නැතිනම් බරපතළ අනිසිතාවයක් සොයාගැනීම හා හෙළිදරවු කිරීම.

(O3) මහජන සෞඛ්‍යය සහ මහජන ආරක්ෂාව රැක ගැනීම.

(O4) පුද්ගලයෙකු හෝ සංවිධානයක් මගින් කරන යම් ප්‍රකාශනයකින් හෝ ක්‍රියාවකින් මහජනතාව නොමඟ යැවීමෙන් ආරක්ෂා කිරීම.

(O5) පුද්ගලයෙකු හෝ සංවිධානයක් විසින් ඔවුන් යටත් වන ඕනෑම නෛතික බැදීමකට අවනත වීමට අපොහොසත් වීම හෝ අපොහොසත් වීමට ඇති හැකියාව අනාවරණය කිරීම.

(O6) යුක්තිය අවගමනය වීමේ අවස්ථාවක් අනාවරණය කිරීම.

(07) බරපතළ අනිසිතාවයන්, සදාචාර විරෝධී හැසිරීම් හෝ මහජනතාවට අදාළ කරුණු පිළිබඳ අකාර්යක්ෂමතාව-නොහැකියාව යන කරුණු ඇතුළත්ව මහජන සංවාදයක් ඇති කිරීම හෝ එවැන්නකට දායකත්වය ලබාදීම.

(08) ඉහත දැක්වෙන ඕනෑම කරුණක් සම්බන්ධයෙන් කරුණු සැඟවීමක් හෝ සැඟවීමට තැත් කිරීමක් අනාවරණය කිරීම.

(10)ප්‍රකාශනයේ නිදහස තුළමද මහජන බැඳියාවක් තිබේ.

(11). තොරතුරු, මහජන විෂයට දැනටමත් අයත් වන හෝ ඉදිරියේදී අයත් විය හැකි විස්තාරය පිළිබඳව නියාමකයා විසින් සලකා බලනු ඇත.

(12) මහජන යහපත අදාළ කොට ගන්නා පුවත්පත් කලාවේදීන්/ කතුවරුන් විසින්, ප්‍රකාශනයක් හෝ ප්‍රකාශනය කිරීමේ අදහසින් සිදුකරනු ලැබූ ජනමාධ්‍යවේදී ක්‍රියාකාරකමක්,  මහජන යහපතට යටත් වනට හා සමානුපාතික වන බවට සාධාරණව විශ්වාස කරන බව පෙන්වා දීමත්, එම මොහොතේදී එම තීරණයට ඔවුන් පැමිණි ආකාරයද පැහැදිලි කිරීමත් අවශ්‍ය වේ. 5. වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සාමාන්‍යයෙන් පරම වන ලැදියාවන් අභිබවා යාමට නම්, සුවිශේෂී මහජන ලැදියාවක් තිබීම අවශ්‍ය වේ.

 
සැළකිය යුතුයි 

 

අප විසින් දක්වා ඇති ඉහත මාධ්ය ආචාර ධර්ම මාර්ගෝපදේශන මාලාව සම්පාදනය කෙරී ඇත්තේ ශ්‍රී  ලංකාවේ සහ ජාත්‍යන්තරව පවත්නා, ජනමාධ්‍ය ආචාර ධර්මයන් සම්බන්ධයෙන් කටයුතු කරනා පිළිගත් ආයතනයන් ඔස්සේ ඉදිරිපත් කොට ඇති ජනමාධ්ය ආචාර ධර්ම මාර්ගෝපදේශනයන් මූලාශ්ර ලෙසින් ගනිමිනි. එම ආචාර ධර්ම මාර්ගෝපදේශනයන් වෙනස් වීම් සහ යම් යම් මාධ්ය ආචාර ධර්මයන් සම්බන්ධයෙන් ලෝකයේ සිදුවෙමින් පවත්නා කතිකාවන්ගේ වර්ධනයන් ඔස්සේ සිදුවන සංශෝධනයන් හෝ එකතු කිරීම් ඔස්සේ, අප විසින් එක් රැස් කොට සම්පාදනය කර ඇති ඉහත මාධ්ය ආචාර ධර්ම මාර්ගෝපදේශන මාලාවද සංස්කරණයන්ට ලක් විය හැකි බව කරුණාවෙන් සලකන්න.

-Verité Research-
ETHICS EYE

 

Advertiesment