Monday 7th of October 2024

English Tamil
Advertiesment


ක්ෂණික Noodles ඔබට මරු කැඳ වන හැටි මෙන්න..! 


2021-11-22 14348

ක්ෂණික නූඩ්ල්ස් කියන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රධාන ආහාරයක් බවටත් අද වන විට මේ ක්ෂණික නූඩ්ල්ස් පත් වෙලා ඉවරයි. විවිධ රසවලින් වෙළෙඳ පොළේ තියන මෙම ක්ෂණික නූඩ්ල්ස්වලට කුඩා දරුවන් වගේම කාර්ය බහුල වැඩිහිටියනුත් අද වන විට ඇබ්බැහි වෙලා ඉවරයි. අද මම කියන්න හදන්නේ ක්ෂණික නූඩ්ල්ස්වල ගොඩාක් අය නොදැකපු පැත්තක් ගැන. 

සාමාන්‍ය නූඩ්ල්ස්වලින් ක්ෂණික නූඩ්ල්ස් වෙනස් වන ප්‍රධාන සාධකය තමයි ඒවාගෙ අඩංගු වෙන රස කාරක පැකට්. ක්ෂණික නූඩ්ල්ස්වල රස කාරක පැකට් දෙකක් හෝ කිහිපයක් අඩංගු වෙනවා. ක්ෂණික නූඩ්ල්ස්වල අලුත්ම සාමාජිකයා තමයි කප් නූඩ්ල්ස් කියන්නේ. කාර්ය බහුල ගෘහණියන් බොහෝ වෙලාවට කුඩා පාසල් දරුවගේ කෑම පෙට්ටියට පිසින ලද ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් දාන්න පුරුදු වෙලා තියෙනනේ උදේට ගෘහණියන්ගේ කාර්ය බහුලත්වය නිසා වගේම කුඩා ළමුන්  ක්ෂණික නූඩ්ල්ස්වලට දක්වන දැඩි කැමත්ත නිසා.  

ක්ෂණික නූඩ්ල්ස් මේ තරමටම අපේ ජීවිතවලට සමීප වුණ නිසා නොදැනුවත්වම අපිට සමීප වුණ නරක ප්‍රතිඵලත් එමටයි.  අද වන විට විවිධ ඒ ඒ රටවල සිදු කළ පර්යේෂණවලින් අපි මේ තරම් සමීප කර ගත්ත ක්ෂණික නූඩ්ල්ස් අපිට කොච්චර කරදර ගේනවද කියල ඔප්පු කරල තියනවා. පෝෂණවේදීන් ක්ෂණික නූඩ්ල්ස් හදුන්වන්නේ බාල තත්ත්වයේ ආහාරයක්  ( Junk Food ) විදිහට. ඒකට හේතුව ක්ෂණික නූඩ්ල්ස්වල තියන අධික පිටි ගතිය, ලුණු ගතිය, තෙල් ගතිය සහ විවිධ ආකලන වර්ග ( Additives ). 

අපි ගන්න ක්ෂණික නූඩ්ල්ස්වලට අම්ල යාමක ( Acid Regulators), රස උත්දීපක ( Flavor Enhances) , ආහාර පරිරක්ෂක ( Preservatives) , ප්‍රති කැටි කාරක (Anticaking Agents) වැනි කෘතිම ආකලන එකතු කරනවා. මෙම ආකලන බොහෝමයක සෝඩියම් අඩංගු වෙනවා. ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට ගත හැකි උපරිම සෝඩියම් ප්‍රමාණය 2000Mg ( එක තේ හැන්දක්) වුණාට සමහර ක්ෂණික නූඩ්ල්ස් එක පැකට් එකක සෝඩියම් 2000Mg ට වඩා තියෙනවා.  කප් නූඩ්ල්ස්වල තියන සුප් ගතිය නිසා ඒවගේ තියන සෝඩියම් ප්‍රමාණය නූඩ්ල්ස් පැකට්වල තියන ප්‍රමාණයට වඩා වැඩියි. 

මේ විදිහට අධික ලෙස සෝඩියම් පරිභෝජනය කළාම අධි රෑධිර පීඩනය, ආඝාතය, වකුගඩු නරක් වීම සහ පිළිකා වගේ දරැණු රෝගවලට තියන අවදානම වැඩි වෙනවා. විශේෂයෙන්ම වකුගඩු වර්ධනය වෙම්න් පවතින අවධියේ ඉන්න කුඩා ළමයින්ට වකුගඩු රෝග වැළදෙන්න ලොකුම හේතුවක් තමයි මේ ක්ෂණික නූඩ්ල්ස්.

ක්ෂණික නූඩ්ල්ස්වල රැලි එකිනෙක ඇලෙන එක වැලක්වීමට වැක්ස් වර්ගයක් භාවිතා කරනවා. ඒ වැක්ස් තතමයි ක්ෂණික නූඩ්ල්ස්වලට උණු වතුර දැම්මාම තෙල් තට්ටුවක් පා වෙනවා වගේ අපිට පේන්නේ .ඒ වැක්ස් වර්ග ක්ෂණික නූඩ්ල්ස් හදන කොට උණු වතුර දැම්මාම උණු වතුරේ දිය වෙලා අපේ ශරීරයට උරා ගැනීමට ලේසි තත්ත්වයකට පත් වනවා.මෙම වැක්ස් වර්ග අපේ ශරීරයට උරා ගෙන අක්මාව සහ වකුගඩුවල තැන්පත් වෙලා එම අවයවවලට හානි කරනවා. 
ක්ෂණික නූඩ්ල්ස්වල රස වැඩි කරන්න මෙනොසෝඩියම් ග්ලූටාමේට් ( Monosodium Glutamate ) නැත හොත් MSG බහුලව භාවිතා කරනවා. MSG මගින් කුකුළු මස්වලට වඩා කුකුළුමස් රසයක් නූඩ්ල්ස්වල ඇති කරනවා. ඉස්සෝ, දැල්ලෝ, මාළු ආදී රස ගැන්වූ නුඩ්ල්ස් වර්ගත් එහෙම්මයි. ආහාරවලින් දීර්ඝ කාලීනව MSG ශරීරයට ලැබුණාම විවිධ ආසාද්මිකතාවලට, පපුව දැවිල්ලට, හිසරදය සෑදීමට, මතක ශක්තිය අඩු වෙන්න වගේම ක්ෂණික නූඩ්ල්ස් කෑවට පස්සේ අධික පිපාසයටත් හේතු වෙනවා. 

ශ්‍රී ලංකාවේ දැනට තියන නීතියට අනුව අවුරුදු තුනට අඩු ළමයි වෙනුවෙන් සකස් කරල තියන ආහාරවලට MSG එකතු කිරීම තහනම්. ඒතරම් MSG දරුවන්ට අහිතකර වුණාට ශ්‍රී ලංකාවේ ගොඩක් අම්මලා තමන්ගේ දරුවට අවුරුද්දක් සම්පූර්ණ වුණ ගමන් ක්ෂණික නූඩ්ල්ස් කවනවා. ඒවගේම ශ්‍රී ලංකාවේ නීතිය අනුව වියලි නූඩ්ල්ස්වලට MSG එකතු කරන එකත් තහනම්. ඒ හින්ද තමයි නූඩ්ල්ස් පැකට් ඇතුළේ වෙන මම තියන රස කාරක පැකට් එකේ MSG අඩංගු වෙන්නේ. 

කප් නූඩ්ල්ස් සෑදීමේදී උණු ජලය ප්ලාස්ටික් භාජනයට දැම්මහම ඒ තුනී ප්ලාස්ටික් භාජනයේ අඩංගු පිළිකා කාරක සංඝටක උණු ජලයේ දිය වෙලා නූඩ්ල්ස්වලට මිශ්‍ර වෙනව කියල නිරීක්ෂණය කරල තියනවා. එම පිළිකා කාරක නිසා විශේෂයෙන්ම ආහාර ජීරණ පද්ධතිය අශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. ආසියාවේ රටවල්වල ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය ගොඩක් වැඩීයි. ඒක නිසා ක්ෂණික නූඩ්ල්ස්වල අහිතකර බලපෑමත් අපේ රටවල්වලට ගොඩක් වැඩියි. ඒවගේම ක්ෂණික නූඩ්ල්ස්වල අහිතකර බලපෑම් වැඩිපුරම එල්ල වෙන්නේ කාන්තාවන්ට කියලත් විද්‍යාඥයින් සොයා ගෙන තියනවා. ඔවුන් කියන විදිහට සතියකට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගණනක් ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම හෘද රෝග සහ පිළිකා සදහා අවදානම් සාධකයක් වනවා.

ක්ෂණික නූඩ්ල්ස්වල තියන තෙල් දීර්ඝ කාලයක් නරක් නොවි තියා ගන්න එම තෙල් හයිඞ්‍රජනීකරනය කියන ක්‍රියාවලියට ලක් කරනවා. එම ක්‍රියාවලියේදී හැදෙන ට්‍රාන්ස් මේදය ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්න හේතු වෙනවා. මෙම තෙල් නිසා  ක්ෂණික නූඩ්ල්ස්වල ශක්ති ප්‍රමාණය අධික වෙලා දීර්ඝ කාලීන ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය තරබාරු වීමටද හේතු වෙනවා. ක්ෂණික නූඩ්ල්ස්වල තියන අධික ආහාර ආකලන ප්‍රමාණය කුඩා  ළමයින්ගේ ශරීරවල තැන්පත්වීම හින්දා, ක්ෂණික නූඩ්ල්ස් නිතර ආහාරයට ගන්න අවුරුදු 5 ට අඩු කුඩා ළමයින්ගේ විටමින් සහ ඛනිජ ලවන උරා ගැනීමේ හැකියාව අඩු වෙනවා කියලා තහවුරු වෙලා තියනවා. එම තත්ත්වය දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩාල වෙන්න වගේම ඇස් පෙනීම දුර්වල වීමටද හේතු වෙනවා. 

දැන් ඔබට තේරෙනවා ඇති අපි කොච්චර ආසාවෙන් ක්ෂණික නූඩ්ල්ස් කෑවත් ඒවා හරිම ලේසියෙන් පිළියෙළ කරන්න පුලුවන් වුණත් ඒවගේ තියන භයානක ප්‍රතිඵල අති විශාලයි කියලා. ශ්‍රී ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල්වල ආහාර රටාව වේගයෙන් බටහිරකරණය වෙනවා. ඒක නිසා දවසින් දවස ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ කුඩා දරුවන්ගේ පොෂණ මට්ටම සහ ස්‍යෙඛ්‍යය මට්ටම පිරිහෙන එක. එහෙම වුණාම ඉස්සරහට අපේ රටේ පිළිකා රෝගීන්, දියවැඩියා රෝගීන්, හෘද රෝගීන් සහ තරබාරැ පුද්ගලයන්ගෙ ගණන තව තවත් වැඩි වෙනවා. මේ භයානක තත්ත්වය තේරැම් ගෙන අපි උත්සාහ කරන්න ඔනේ මේ ක්ෂණික නූඩ්ල්ස් කියන භායානක හතුරගෙන් ගැලවෙන්න.

ඒසදහා පෝෂණවේදීන් ක්‍රම දෙකක් ක් යෝජනා කරල තියනවා. පළෙවෙනි එක තමයි ක්ෂණික නූඩ්ල්ස් වෙනුවට තමන්ගේ ගෙදර දි රස කාරක අඩංගු නැති සාමන්‍ය නූඩ්ල්ස් පිළියෙළ කරන එක. එතකොට අපිට පුළුවන් තෙල් අඩුවෙන්, රස කාරක නැතිව, එළවලු වැඩිපුර එකතු කරලා, කුඩා ළමයින්ට නම් බිත්තරයක් හරි මස් හරි මාළු හරි එකතු කරල පෝෂණ ගුණය වැඩි කරලා පිළියෙළ කරන්න. ඊළඟ යොජනාව තමයි ක්ෂණික නූඩ්ල්ස් කන කොට ප්‍රමාණය පාලනය කරන එක. ඔබ වෙනදට ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් තනියම කනව නම් අද ඉදන් කාත් එක්කහරි බෙදා ගෙන කන්න පුරුදු වෙන්න. 

මේ ලිපිය කියවන ඔබත් අනිවාර්යයෙන් ක්ෂණික ක්ෂණික නූඩ්ල්ස්වලට ආස කරන කෙනෙක් වෙන්න ඇති. දැන් ඔබත් කල්පනා කරන්න ක්ෂණික නූඩ්ල්ස්වල රස බලලා ඡීවිතේ ලෙඩ රෝගවලට බිලි දෙනවද නැති නම් ක්ෂණික නූඩ්ල්ස්වලින් ඈත් වෙලා බොහෝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත් වෙනවා ද කියලා. ඔබ හොදින් මතක තියා ගන්න අපි ගන්න ආහාරයක් ක්ෂණික වෙන තරමට එකෙන් ශරීරයට තියන අහිතකර බලපෑමත් වැඩි වෙනව කියලා. 

(ප්‍රදීප් පියතිලක,)
සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,
ජාතික මූලික අධ්‍යයන ආයතනය.
-අපි ආයුර්වේද-
Advertiesment