Wednesday 8th of December 2021

English Tamil
Advertiesment


ආණ්ඩුවට ආර්ථික දැක්මක් නොමැති බව අය-වැයෙන් ඔප්පු වුණා 


2021-11-16 5808

රටේ ආර්ථික අර්බුදයට අය-වැය යෝජනාවලියේ විසඳුම් නැහැ 

 

මේ අය-වැය සම කළ හැක්කේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයකටයි

 

අසාර්ථක අය-වැය යෝජනාවලියක්  

 

අය-වැය අපේක්ෂා ඉටුවේද..?

 

 
(ආචාර්ය ප්‍රියංග දුනුසිංහ)

 

2022 අයවැය ගැන දැනටමත් ආණ්ඩුව පැත්තෙන් දේශපාලන පුරාජේරු ඇසෙමින් තිබේ. එහෙත් ඒ බොහෝමයක් සාහිත්‍ය වාග් පාඨ මිස ආර්ථික විද්‍යාත්මක පැතිකඩකින් කරන විග්‍රහ නොවේ. විශේෂයෙන්ම කලක් තිස්සේ අයහපත් ප්‍රතිපත්තිමය එළඹුම් නිසා කඩාවැටී කොවිඩ් වසංගතය විසින් තවත් පහත හෙළනු ලැබූ ලංකාවේ ආර්ථිකය ගැන එමගින් කතා වෙන්නේම නැත. එනිසා අයවැය ගැන ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටියකින් යථාවාදී මැන බැලීමක් කිරීම මේ අවස්ථාවේ කාලෝචිතය. 

විදේශ විනිමය යනු මේ අවස්ථාවේ ලංකාව මුහුණ දෙන ප්‍රමුඛ ප්‍රශ්නයකි. ආනයන පාලනය ඉතා දැඩි ලෙස යොදාගෙන භාණ්ඩ හිඟ තත්ත්වයක් ද නිර්මාණය කරගෙන සිටින ලංකාව මේ වනවිට පාලනය වන්නේ අනෙක් රටවල්වලින් අත මාරුවට සල්ලි ඉල්ලාගෙනය. මේ ප්‍රශ්නයට අදාළව අත්‍යවශ්‍ය වන්නේ අඩුම තරමින් තවත් වසර දෙක තුනකින්වත් ප්‍රතිලාභ ලැබෙන පරිදි විදේශ විනිමය උපැයීම සඳහා අඩිතාලමක් දමාගැනීමය. එසේ නම් අපනයන සංවර්ධනයට, විදේශ ආයෝජන කැඳවාගැනීමට, සංචාරක ව්‍යාපාරය පණගැන්වීමට ආණ්ඩුවට නිසි වැඩසටහනක් තිබිය යුතුය. එහෙත් මේ අයවැයෙන් එවැනි යෝජනා ඉදිරිපත් කර නැත. ආණ්ඩුව පවසන්නේ ආයෝජන මණ්ඩලය යටතේ දිරිදීම් ප්‍රමාණවත් නැති බවය. ඒවායෙන් ආයෝජන කැඳවාගැනීමට සමත්ව නැති බවය. එහෙත් ආණ්ඩුව ද ඊට විකල්පයක් යෝජනා කර නැත.

අනෙක් අතට අපනයන අංශය ගත්තත් අලුත් අපනයනකරුවන් හඳුන්වාදීමට හෝ අපනයනවල තරඟකාරිත්වය වැඩිකිරීමට හෝ කිසිදු පියවරක් යෝජනා කර නැත. ඒ වෙනුවට ඇඟලුම් හා අපනයන ක්‍ෂේත්‍ර ඉලක්ක කරගෙන යම් යෝජනා කීපයක් පමණක් ඉදිරිපත් කර ඇත. එහෙත් පවතින සන්දර්භයෙහි අප අපේක්ෂා කළේ අපනයන දශකයක් වැනි සංකල්පයක් හරහා අපනයන කේන්ද්‍රගත ආර්ථිකයකට විශාල ප්‍රමුඛත්වයක් දෙනු ඇත කියාය. නිදසුනකට අපනයන අංශය ප්‍රවර්ධනයට මන්ත්‍රීවරුන්ට හා ඇමැතිවරුන්ට විශාල කාර්යභාරයක් පවරනු ඇත කියාය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. එමෙන්ම කඩාවැටී ඇති සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ද නිසි වැඩපිළිවෙළක් යෝජනා කර නැත. විශේෂයෙන්ම ඒ යටතේ මානව සම්පත සංවර්ධනය, නවාතැන් ඇතුළු ස්ථානවල ගුණාත්මකභාවය වර්ධනය හා තොරතුරු තාක්ෂණය වැනි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැඩි බරක් තැබිය හැකිව තිබිණි. එහෙත් එවැනි අංශ ගැන කල්පනාවටවත් ගෙන ඇති බවක් මේ අයවැයෙන් නොපෙනේ.  

දෙවැනි කරුණ නම් අයවැය පරතරයයි. ආණ්ඩුව මෑතකදී එක දිගට මුදල් අච්චු ගසන තැනට වැටුණේ ද රජයේ ආදායම හා වියදම අතර පරතරය පියවාගැනීමටය. අයවැය මගින් වියදම් පාලනය සඳහා යෝජනා කීපයක් ද ඉදිරිපත් කර තිබෙන්නේ ඒ නිසාය. එහෙත් බැලූ බැල්මටම පෙනී යන්නේ මේවා වියදම් පාලනයට ඉදිරිපත් කළ සිල්ලර ගණයේ ජනප්‍රිය යෝජනා බවය. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සැකසෙන කාලය වසර දහය දක්වා දීර්ඝ කිරීම, රාජ්‍ය ආයතනවල විදුලි පරිභෝජනය අඩු කිරීම, මන්ත්‍රීවරුන්ගේ හා රාජ්‍ය නිලධාරින්ගේ දුරකථන හා ඉන්ධන භාවිතය අඩු කිරීම ඊට නිදසුන්ය. නිදසුනකට ඉන්ධන කපා හැර ඇති ප්‍රමාණය ගත්කල ඒවා වියදම් කළමනාකරණයට යෝජනාදැයි කියා සිතේ.

ආණ්ඩුව යථාර්ථය පිළිගන්නේ නම් කළ යුතුව තිබුණේ පාඩු ලබන රාජ්‍ය ආයතනවලට කුමක් කරන්නේදැයි සිතීමය. රාජ්‍ය ආයතන මහා පරිමාණයෙන් පාඩු ලබමින් පවත්වාගෙන යෑම අද අප මුහුණ දෙන ප්‍රමුඛ අභියෝගයකි. 2025 වනවිට අයවැය හිඟය සියයට 4.8 දක්වා අඩුකරගන්නා බව කීව ද එසේ කරන්නේ කෙසේදැයි හෝ ඒ කුමන වැඩපිළිවෙළකින්දැයි නිශ්චිතව කියා නැත. 

තවත් වැදගත් කරුණක් නම් බදු පිළිවෙතයි. ලංකාවේ ආණ්ඩු දැන් කාලයක් තිස්සේ රාජ්‍ය ආදායම සරි කරගන්නේ සාමාන්‍ය ජනයා මත පටවන වක්‍ර බදුවලිනි. ඒ නිසාම ආණ්ඩුවල එක් පොරොන්දුවක් වන්නේ මෙම වක්‍ර බදු ප්‍රතිශතය අඩු කර සෘජු බදු වැඩිකිරීමය. දැනට ලංකාවේ සෘජු බදු සියයට 20ක පමණ පරිමාණයේ පවතිද්දී වක්‍ර බදු සියයට 80 ක් වැනි විශාල අගයක් ගනී.

පහුගිය ආණ්ඩු කීවේ මේ අනුපාතය සෘජු බදු සියයට40 හා වක්‍ර බදු සියයට 60 පමණ අනුපාතයකට ගෙන එන බවය. එහෙත් ආණ්ඩුව ඉදිරිපත් කරන බදු දෙස බැලූවිට මේ පිළිවෙත දකින්නට නැත. නිදසුනකට ජී.එස්.ටී බද්ද ගත්තත් බැංකු හා මූල්‍ය ආයතනවලට ඉදිරිපත් කළ බදු වැට් බදු සමාජ ආරක්ෂණ දායක අරමුදල ලෙස නම්කර ඇති කොවිඩ් බද්ද රිය අනතුරුවලට පනවා ඇති බදු දෙස බැලුවත් ඒවා අයත්වන්නේ වක්‍ර බදුවලටය. ඒවා ගෙවන්න සිදුවෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනයාටය. දුම්වැටි මත්පැන්වලට පනවන බදු වුව එසේය. මේ බදු ගෙවන්නේ බොන මිනිසුන් යැයි කතාබහට කිව්වත් අවසන එහි බර පැටවෙන්නේ ද ගෙදර වියදමටය. දැනෙන්නේ කුස්සියටය. රුපියල් මිලියන 2000ට අධික ආදායමක් ඇති ව්‍යපාර ඉලක්ක කරගෙන සියයට25 ක බදු ආදායමක් ලැබීමට කර ඇති යෝජනාව වුව එසේය. බදු ආදායම් සොයාගැනීමට ආණ්ඩුව පියවර ගැනීම නරක නැත. එහෙත් මේ බදු අයකිරීම් නැවතත් දිශානුගත වී තිබෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනයාම වීම කනගාටුදායකය. අනෙක් අතට පසුගිය අයවැයවලදී සෘජු බදු වැඩි කර වක්‍ර බදු අඩුකරන බව කතාවට හෝ කීවේ නම් මෙවර අයවැයේ විශේෂත්වය වන්නේ ඒ ගැන සඳහනක්වත් නැතිවීමය. එයින් පෙනෙන්නේ ආණ්ඩුව ඒ සඳහා මැදිහත්වීමක් නැති බවය. 

මෙවර අයවැයෙන් බොහෝ දෙනකු අපේක්ෂා කළ තවත් කරුණක් නම් කොරෝනා වසංගතයට මුහුණ දී සිටින පාර්ශ්ව කෙටිකාලීනව හෝ ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇත කියාය. බස්රථ හිමියන්ට, පාසල් වෑන් රථ හිමියන්ට, ත්‍රිරෝද රථ හිමියන්ට, විනෝද කර්මාන්තයේ නියැලෙන්නන්ට අදාළව යෝජනා කීපයක් ඉදිරිපත් කරඇත්තේ ඒ අනුව විය යුතුය.

එහෙත් එම යෝජනාවල යථාර්ථය විමසාබලද්දී නැවත සිතෙන්නේ මේ කර ඇත්තේ ඉලක්කම් සෙල්ලමක්ද කියාය. නිදසුනකට ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව ලංකාවේ ත්‍රිරෝද රථ රියැදුරෝ 5,44,804ක් සිටිති. ඔවුන් වෙනුවෙන් වෙන් කළ බව කියන රුපියල් මිලියන 600 බෙදා බැලුවහොත් අපට පෙනෙන්නේ කුමක්ද? එක් රියැදුරෙකුට ලැබෙන මුදල රුපියල් 1000.00ක් බවය. රියැදුරන් ලක්ෂ පහ දෙකහමාරක් යැයි උපකල්පනය කළත් රුපියල් දෙදාහකි. ලංකාවේ ඇතැයි කියන පෞද්ගලික අංශයේ බස් රථ 19,000 අතරෙහි රුපියල් මිලියන 1500ක් බෙදී යද්දීත් සිදුවන්නේ මෙයයි. බස් රථ හිමියකුට ලැබෙන්නේ රුපියල් 80,000.00කි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ 10,19,681ක් වෙති. ඔවුන් සඳහා වෙන්කළ රුපියල් මිලියන 5000 බෙදා බැලූ විට එක් පුද්ගලයකුට ලැබෙන්නේ රුපියල් 5,000.00කි. විනෝද කර්මාන්ත අංශයේ 50,000 ක් පමණ වෙති.

එවිට එක් අයකුට ලැබෙන්නේ රුපියල් 10,000.00ක් වැනි මුදලකි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුව 2021 නොවැම්බරය වනවිට ලියාපදිංචි වූ පාසල් බස් හා වෑන් රථ 7000කි. එහෙත් සමස්තය 15,000ක් පමණ වේ. එයින් එකකට ලැබෙන්නේ රුපියල් 27,000.00ක් වැනි මුදලකි. එහෙත් අනතුරක් වුවහොත් වන්දියක් ගෙවීම යටතේ මේ මුදල රක්ෂණ වාරිකයකටවත් ප්‍රමාණවත් නැත. අනිවාර්යයෙන්ම ඉදිරියේදී රක්ෂණ වාරිකය වැඩිවේ. එවිට හාස්‍යජනක ලෙස ආණ්ඩු කරන්නේ අයවැයෙන් දෙන මුදලට වඩා මුදලක් නැවත අයකරගැනීමය. මේ අංශවල ඇතැමුන් මේ ගණන් හිලව් ගැන උද්‍යෝගයෙන් අදහස් දක්වා තිබෙනු මම දුටුවෙමි. එහෙත් යථාර්ථයේදී අප විමසිය යුත්තේ මේ වෙන්කරන මුදල්වලින් හරවත් යමක් කළ හැකිද කියාය. 

විශේෂයෙන්ම සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතුවූවන්, ආනයන පාලනය නිසා අපහසුවට පත්වූවන්, රැකියා අහිමිවූවන් ආදී විශාල පිරිසක් සිටියේ අයවැයෙන් කුමක් කියවේද කියාය. එහෙත් ඔවුන් ගැන ඉලක්කයක් මෙහි නැත. නිදසුනකට අයවැයට පෙර සිටම අප අවධාරණය කළ පරිදි සහන සැලසීම වශයෙන අප අදහස් කළේ රැකියා අහිමිවූවන්ට රජයේ රැකියාදීමක් නොවේ. පෞද්ගලික අංශවලම රැකියා කළ හැකි පරිදි රජයෙන් කිසියම් ගෙවීමක් සිදුවන පරිදි රැකියාගත කිරීමකි. වසංගතය හමුවේ ලොව වෙනත් රටවල් එවැනි පියවර අනුගමනය කර ඇත. එහෙත් ආණ්ඩුව කර ඇත්තේ ඊට වඩා ජනප්‍රිය වැඩය. විහාරස්ථාන සඳහා රුපියල් ලක්ෂ 50,000ක් වෙන්කිරීම ද එවැන්නකි. ලංකාවේ පවතින ගම් 14,000 තුළ එක් පන්සලක් තිබේ යැයි උපකල්පනය කළහොත් එක පන්සලකට ලැබෙන්නේ ද රුපියල් 25,000.00ක් වැනි මුදලකි. එයින් පන්සලකට ඇති වැඩක් ද නැත. ආණ්ඩුව සැබැවින්ම කළයුතුව තිබුණේ පන්සල්වලට සල්ලි බෙදීම නොව පන්සල් රැකබලාගන්නා මිනිසුන් රැකබලාගැනීමය. රටේ ආර්ථික සංවර්ධනයට දායකවන්නෝ ඒ මිනිස්සුය. අවසාන විග්‍රහයේදී මෙබඳු පියවරවලින් සිදුව ඇත්තේ ආණ්ඩුව ඉලක්කයක් නොමැතිව සෑම පාර්ශ්වයක්ම සතුටු කරන්නට ගොස් කිසිවක් සිදු නොවන තැනට වැඩ කිරීමය. 

කොරෝනා සමාජ ආරක්ෂණ බද්ද හරහා රුපියල් බිලියන 100ක් වැනි මුදලක් උපයන්නට අපේක්ෂා කරන බව ආණ්ඩුව කියයි. ප්‍රශ්නය වන්නේ නම් සමාජ ආරක්ෂණ අරමුදල නමින් ඒවා අයකරන්නේ නම් වැය කරන්නේ කාටද කියාය. වාච්‍යාර්ථය අනුව නම් ඒවා වැය කළයුත්තේ කොවිඩ් නිසා අසරණභාවයට පත්වූවන් වෙනුවෙනි. එහෙත් අපට පෙනෙන්නේ ආණ්ඩුව කිසියම් මුදලක් වැය කර ඊට වැඩි මුදලක් ඒ හරහා උපයාගැනීමට තැත් දැරීමකි. අයවැයෙන් පෙන්නුම් කෙරෙන අනෙක් විශේෂම කරුණක් වන්නේ ආණ්ඩුවේ ආර්ථික දැක්ම පිළිබඳ ප්‍රශ්නයයි. අයවැයෙන් අප දකින්නේ ග්‍රාමීය ආර්ථිකයට විශාල වශයෙන් වියදම් කිරීම හරහා ජාතික ආර්ථිකයට යම් පණක් දිය හැකිය වැනි මතයකි. ගම සමඟ පිළිසඳර ඇතුළු ග්‍රාමීය කටයුතුවලට වැඩි මුදලක් වෙන්කර ඇත්තේ ඒ නිසාය. එහෙත් ග්‍රාමීය තරුණ ප්‍රජාවට හෝ නිෂ්පාදනයට ඉල්ලුමක් ලැබෙන්නේ ජාතික ආර්ථිකය ඉදිරියට තල්ලුවුවහොත් පමණක් බව අප අමතක කළ යුතු නැත.

ජාතික ආර්ථිකය ඉදිරියට තල්ලුවීමට නම් එය ලෝක ආර්ථිකය සමග එකට ගැටගැසිය යුතුය. රැකී රක්ෂා උත්පාදනය වන්නේ ගමේ භාණ්ඩ හා සේවාවලට ඉල්ලුමක් ඇතිවන්නේ ඒ හරහාය. එවැනි වැඩපිළිවෙළක් නොමැතිව ගමට සල්ලි පොම්ප කිරීමෙන් පමණක් සංවර්ධනයක් ඇති නොවේ. යම් පිබිදීමක් වුවත් එය තිරසර සංවර්ධනයක් නොවේ. මන්ත්‍රීවරයාට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ආදී වශයෙන් කීවත් ඒ මුදල් ද අවසන යොදන්නේ පාරවල් බෝක්කු ඇවිදින මංතීරු ආදියටය. එවැනි වැඩවලින් මේ වැටී තිබෙන ආර්ථිකය ගොඩගන්නට නොහැකිය. 

මුදල් ඇමැතිවරයා මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා ද පැවසුවේ විනිමය අර්බුදය හමුවේ වාහන ආනයන කිරීම ගැන දැන්ම සිතන්නට නොහැකි බවය. රාජ්‍ය සේවය රටට බරක් යැයි කියන්නේ මුදල් ඇමැතිවරයාමය. එහෙත් මේ කියන ගැටලුවලට ඔවුන් ඉදිරිපත් කර ඇති විසඳුම කුමක්ද? රාජ්‍ය අංශයේ විශ්‍රාම වයස ද තවත් ඉහළ දමා පවත්වාගෙන යෑමය. මා මෙය දකින්නේ දුක දන්නා නමුත් දුකින් මිදීමේ මාර්ගයක් පෙන්වාදෙන්නට ඔවුන් අසමත්ව ඇති හැටියටය. රාජ්‍ය අංශය බරක් නම් අඩුම තරමින් තවත් ඊට බැඳෙන්නට දිරි නොදී එහි ශ්‍රම බලය අඩු කරන පියවරකට යා යුතුය. ආණ්ඩුව ඒ වෙනුවට කරඇත්තේ රාජ්‍ය සේවකයා විශ්‍රාම ගැන්වීමේ කාලය දීර්ඝ කර පාරිතෝෂික ආදිය ගෙවීමට ඇති අපහසුවෙන් බේරෙන්නට මගක් සෙවීමය. මෙය හරියට අපායට ඉන්ටවල් සෙවීමක් වැනි වැඩකි. ඉන්ටවල් එක අවසන් වූ පසුව පුපුරායන්නේ බෝම්බයකි. මේ වනවිට ඉන්ධන ප්‍රශ්නය විසින් ලංකාවේ සියලු යාන්ත්‍රණ සිරකරනු ලබන තැනට ප්‍රශ්නය උග්‍ර කර තිබේ. ඉන්ධන මිලදී ගැනීමටවත් විදේශ විනිමය නැතිවීම ඊට හේතුව වී තිබේ. ඖෂධ ආදී අත්‍යවශ්‍ය දේ වරායට පැමිණ සිර වී තිබෙන්නේ ද නිදහස් කරගැනීමට ඩොලර් නැති බැවිනි. ආණ්ඩුවේ අයවැයේ මේ බැරෑරුම් ප්‍රශ්න ආමන්ත්‍රණය කර තිබෙන්නේ කොතැනද? 

මේ අයුරින් විමසා බැලීමේදී මට පෙනෙන හැටියට නම් මේ අයවැයෙන් පෙනෙන ලොකුම අවුල නම් ආණ්ඩුවේ ආර්ථික දැක්ම පිළිබඳ ප්‍රශ්නයයි. මේ මොහොතේ ලංකාවේ ආර්ථික අර්බුදයට යෝජනා කරන විසඳුමක් ගැන අයවැයේ සඳහන් නොවේ. ආනයන ආදේශක කාර්මීකරණයක් ගැන කතා කරන ආණ්ඩුව එයින් යා හැකි දුර ගැන නොසිතීම ඊට කදිම නිදසුනකි. 

ආණ්ඩුවට ආනයන ආදේශ කළ හැකි සීමාවක් තිබේ. නිදසුනකට මෝටර් රථ එකලස් කරන්නෝ එය කරන්නේ සියලු දේ ආනයනයෙනි. මෙයින් සිදුවන්නේ අපනයන අංශය අධෛර්යවත් කිරීමකි. නිෂ්පාදකයන්ට අපනයනයට වඩා දේශීය පාරිභෝගිකයාටම විකිණීමෙන් වැඩි මුදලක් උපයාගත හැකිය. එහෙත් ආණ්ඩුව සිය අයවැය සකසා ඇත්තේ මේ කරුණු ගැන සැලකිලිමත් වී නොවේ. ඒ අර්ථයෙන් ගත්කල 2022 අයවැය සමාන කළ හැක්කේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයකටය. සමස්තයක් වශයෙන් ගත්කල එය අසාර්ථක අයවැයකි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දී ඇති ප්‍රධානතම ප්‍රශ්නවලට ප්‍රමාණවත් පරිදි විසඳුම් දීමට මේ අයවැයට හැකියාවක් ලැබී නැත.

-සංවාද සටහන-
(බිඟුන් මේනක ගමගේ)
"ලංකාදීප"
Advertiesment