Friday 22nd of October 2021

English Tamil
Advertiesment


කොවිඩ් වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණ වන්දි


2021-10-14 5683

 

(හේමන්ත තුසිත කුමාර)

 

කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා බදාදා(13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ඒ, ප්‍රගතිශීලී වෘත්තිය සමිති ජාතික මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සංගම් හා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ නියෝජිත පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී ය. 

මීට පෙර රාජ්‍ය සේවකයන් කොවිඩ්-19 වැළඳී ජීවිත අහිමිවීමේ දී හා රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේ දී අග්‍රහාර රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය 2021 අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කිරීමට එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇත. 

වෘත්තිය සමිති මෙහි දී රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය.රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ආයතන මට්ටමෙන් උසස් නිලධාරින් සහ සේවකයන් අතර පවතින ගැටලු බලපා ඇති අකාරය ද මෙහි දී පැහැදිලි කෙරිණි.

රාජ්‍ය සේවාව තුළ කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළ යුතු බව පෙන්වා දුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ඒ සඳහා වගකිව යුතු නිලධාරීන් ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ද පෙන්වා දී ඇත. ඒ සඳහා රාජ්‍ය සේවකයන්ගේ දේශීය සහ විදේශීය පුහුණු අවස්ථා ඉහළ දැමිය යුතු බව ද පෙන්වා දී ඇත.

2016 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට එක්වූ සේවකයන්ට පසුගිය යහපාලන රජය අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබා ගැනීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයෝ මෙහි දී අදහස් පළ කළහ. මේ පිළිබඳව සොයා බලන්නැයි ඒ මොහොතේ දී ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇත. ජිවන වියදම ඉහළ යෑමට සාපේක්ෂව විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි. 

දුම්රිය දෙපාර්තමේන්තුවේ මිල දී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් ද මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයෝ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම්වත් කළහ. කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇති මෙවැනි කාල වකවානුවක රාජ්‍ය ආයතනවල වියදම් සීමා කර ගැනීම සම්බන්ධයෙන් දැනටමත් දැනුම්වත් කර ඇතැයි සිහිපත් කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා, දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින අකටයුතුකම් පිළිබඳ සොයා බලන බව ද සඳහන් කර ඇත.

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන ගාමිණී ලොකුගේ, නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් ජේ.ජේ. රත්නසිරි, කම්කරු අමාත්‍යාංශ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරි අත්තනායක, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් යන මහත්ම මහත්මීහු ද එක්වූහ.

Advertiesment