Tuesday 26th of October 2021

English Tamil
Advertiesment


ඒකාධිපති 20 නිසා රට විනාශ වූ බව ජනපතිම පිළි ගැනීම වැදගත් 


2021-10-14 5713

ජනපති මෑතක සිට දුන් පොරොන්දු ඉටු කිරීමට කාලය එළැඹ තිබෙනවා 

 

රටට නව ව්‍යවස්ථාවක් ඕනෑ-ඒකාධිපති 20 ජනතාව ප්‍රතික්ෂේප කරනවා 

 

නව ව්‍යවස්ථා සම්පාදනය යටි අරමුණුවලින් තොරව සිදු විය යුතුයි  

 

(සුජිත් මංගල ද සිල්වා)

 

ඒකාධිපති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වූ බව ප්‍රමාද වී ජනාධිපතිවරයාම තේරුම් ගැනීම අතිශයින්ම අගය කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

ඉදිරි වසරක කාලය ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ නව ඡන්ද ක්‍රමයක් රටට හඳුන්වා දෙන බවට සහ හෙවුණු අවුරුදු දෙක ඇතුළත දී බොහෝ අඩුපාඩු සිදුවූ බව පිළි ගන්නා බවට ජනාධිපතිවරයාම කර ඇති ප්‍රකාශයෙන් ඒ බව පැහැදිළි වන්නේ යැයි ඔහු පෙන්වා දුන්නේය.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී බ්‍රහස්පතින්දා (14) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය. 

ජනාධිපතිතුමා මෑතකදී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට කාලය එළඹ තිබෙනවා. අප සංවිධානයේ නව කාර්යාලයේදී පැවැත්වෙන පළ මු ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණි ඔබ සියලුදෙනාම සාදරයෙන් පිළි ගන්නවා.

රටට බලපාන කරුණු කිහිපයක් පිළිබදව අප සංවිධානයේ අදහස රටට පෙන්වාදීම අප සතු යුතුකමක් ලෙස සලකනවා. අප මෙම කරුණු ඉදිරිපත් කරන්නේ ආණ්ඩු පෙරළීමේ හෝ ආණ්ඩු බලය ලබා ගැනීමේ අරමුණකින් නොවේ. රටට බලපාන සහ පොදු යහපත සඳහා වැදගත් වන කරුණුවලදී වග කිව යුතු පුරවැසියන් ලෙස වගේම සංවිධානයක් ලෙසද ඊට මැදිහත්වීම අප සතු යුතුකමක් ලෙස සලකන නිසයි. 

යුධ හමුදා 72 වැනි සංවත්සරය සමරන අවස්ථාවේදී ගරු ජනාධිපතිවරයා රටේ පැවැත්මට සහ අනාගතයට බලපාන වැදගත් කරුණු කිහිපයක් පසුගියදා ඉදිරිපත් කර තිබුණා. සාධාරණ සමාජයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් හඬ නඟන අපි ඒ අදහස් කෙරෙහි ඉතාමත් අවධානයකින් යුතුව සලකා බැලීමක යෙදුණා. එතුමාගේ කතාව අපි ගැඹුරින් අධ්‍යයනය කළා. එහි සඳහන් කරුණු ඉටු කළ හොත් ප්‍රමාදවී හෝ ජනතා පැතුම් ඉටු කර එතුමාට සමාජ ගෞරවය උපයා ගෙන රට ඉදිරියට ගෙන යාමට හැකියාව තිබෙනවා. 

ඒ වෙනුවෙන් අපගේ සහය ලබාදීම උදෙසා අප බුද්ධිමණ්ඩලය විසින් සම්පාදනය කළ වැදගත් යෝජනා 15ක්ද මීට ඉහතදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළා. මේ කරුණු ගැන සිතා බලන ලෙස අපි බළධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටිනවා. ගෙවුණු අවුරුදු දෙකක කාලය ඇතුළත දී අඩුපාඩු සිදු වූ  බව ජනාධිපතිතුමා එහිදී පිළි ගැනීම වටිනවා. එමෙන්ම ජගත් මහ ලේකම් හමු වුණු අවස්ථාවේදීත් එතුමා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවටත්, මිනිස් අයිතිවාසිකම් රැක දෙන බවටත් සදහන් කළා. ඒ අනුව එම පොරොන්දු ඉටු කිරිම එතුමාට අයිති කාර්යයක් වනවා. 

ඉදිරි වසරක කාලය ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ නව ඡන්ද ක්‍රමයක් රටට හඳුන්වා දෙන බවට ගරු ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර තිබෙනවා. එම ක්‍රියාදාමය මේ රටට අතිශයින්ම බලපාන, ඉතාමත් වැදගත් සහ තීරණාත්මක වන්නා වූ දැනුම්දීමක් වනවා. විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් ශක්තිමත් කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම මඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ඇති ආකාරය එතුමාට වැටහී තිබීම ඉතාමත් යහපත් තත්ත්වයක් බව කිව යුතුයි. 

මේ රටේ ජන ගහනයෙන් අති බහුතරය අද මේ රටේ බලාත්මක විධායක ජනාධිපති ක්‍රමය පදනම් කර ගත් ව්‍යවස්ථාව පිළි ගන්නේ නැහැ. ඒ නිසා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ජනාධිපතිතුමා විසින්ද තේරුම් ගැනීම රටට ඉතාමත් හොදයි. මේ රටේ ස්වභාවය එනම්, ස්වෛරීත්වය, ජනතා පරමාධිපත්‍යයේ ස්වභාවය, සමාජීය නිදහස සහ අයිතිවාසිකම් සේම අධිකරණයේ ස්වාධීනත්වය වැනි රටකට වැදගත් මූලික කාරණාවන්හි ස්වභාවය තීරණය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනුයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය වෙනුවෙන් අඛණ්ඩවම පෙනී සිටියා. එහිදී අපගේ ප්‍රමුඛ ස්ථාවරය වන්නේ රටේ ව්‍යවස්ථාදායකය වඩා ශක්තිමත් කරමින් අත්තනෝමතික ඒකාධිකාරිත්වයකට පැවතීමට ඇති ඉඩකඩ ඉවත් කළ යුතු බවයි. ඒ නිසා අපගේ එම මූලික ස්ථාවරයන්ට අනුව යමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට ඇති අවශ්‍යතාවය වෙනුවෙන් අපද පෙනී සිටිනවා. ඒ වගේම මෙහිදී අප සංවිධානයක් ලෙස අවධාරණය කරන්නට කැමැති මූලික කාරණා කිහිපයක් ද තිබෙනවා.

ව්‍යවස්ථා සම්පාදන විෂයට අදාළව සැලකීමේදී අප රටට තිබෙන්නේ යහපත් ඉතිහාසයක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය සේම මූලික නීතියද වෙනවා. එම ව්‍යවස්ථාව රාජ්‍ය පාලනයට අදාළව පුරවැසියන් සමඟ ඇති කර ගන්නා ගිවිසුමද වනවා. ඒ නිසා ව්‍යවස්ථා සම්පාදනයක් සිදු විය යුත්තේ රටේ ස්ථාවර පැවැත්ම පදනම් කර ගත් පුරවැසියාගේ පොදු යහපත සඳහා කෙරෙන නීති සම්පාදනයක් ලෙසටයි. එම ක්‍රියාවලිය යටි අරමුණුවලින් තොරව අවංකව සහ නිසි ගෞරවයකින් යුතුව සිදු කළ යුතුමයි. 

එමෙන්ම එම කාර්යයට නායකත්වය දෙන්නා වූ අයට ව්‍යවස්ථා සම්පාදනය සහ ව්‍යවස්ථා සම්ප්‍රදායන් පිළිබදව ඉහළ මට්ටමේ දැනුවත්භාවයක් තිබිය යුතුයි. නිසැක වශයෙන්ම ව්‍යවස්ථා සම්පාදනයකදී ආරක්ෂා විය යුතු ප්‍රතිපත්ති සහ සම්ප්‍රදායන් එහිදී ආරක්ෂා කර ගත යුතුයි. එමෙන්ම එම නව ව්‍යවස්ථාව පුරවැසියන්ගේද ක්‍රියාකාරී සහභාගිත්වයකින් යුතුව සම්පාදනය කර ගත යුතුයි. එමෙන්ම මේ රටේ අතීතයේදී සිදු කළ වැරදි කිසිවක් නැවත නොකිරීමට වග බලා ගත යුතුයි.

එහිදී අන් සියල්ලටම ප්‍රථමයෙන් සිදු විය යුතුව ඇත්තේ ගෙන ඒමට සූදානම් වන ව්‍යවස්ථාවට පදනම් කර ගත යුතු මූලික මූලධර්ම හඳුනා ගනිමින් එම මූලධර්ම සඳහා පොදු එකඟත්වයක් ඇති කර ගැනීමයි. එමෙන්ම එම මූලධර්ම ඇතුළත් ලියවිල්ල මහ ජනතාවගේ දැන ගැනීම සඳහා කල්වේලා ඇතිව ප්‍රසිද්ධ කළ යුතුයි.

එම මූලධර්ම සැලකිල්ලට ගනිමින් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා වන සාකච්ඡා ආරම්භ කළ යුත්තේ ඉන් පසුවයි. එසේ සකස් කර ගන්නා ව්‍යවස්ථා කෙටුම්පත ඇති කර ගත් මූලධර්මවලට අනුකූලද යන්න පිළිබදව අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියටද යටත්ව සම්මත කර ගත යුතුයි. නව ව්‍යවස්ථා සම්පාදනයකදී අප විශ්වාස කරන්නේත් මේ රටට යහපතක් සිදු වන්නේත් එවැනි ක්‍රියාවලියකට අනුගතව ක්‍රියා කළ හොත් පමණයි. 

එමෙන්ම එක රටක් එක නීතියක් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා එහිදී නැවත වතාවක් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් මේ මොහොත වන විට නම් රටේ එවැන්නක් දකින්නට නැහැ. බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩපු අය අද මේ රටේ වග කිව යුතු තනතුරු දරමින් නිදැල්ලේ ඉන්නවා. දරුණු අපරාධවලට සම්බන්ධවී අධිකරණය මඟින් මරණීය දණ්ඩනය ලබා දුන් අයට පවා ජනාධිපති සමාව හිමි වෙනවා. ඇමතිවරුන් බන්ධනාගාර ඇතුළටම  ගිහින් රැදවියන්ට මරණීය තර්ඡන කරනවා. 

මේවා බරපතළ සිදුවීම්. පළමුවෙන්ම කළ යුත්තේ එවැනි සිදු වීම්වලට අදාළව නිතීය අකුරටම ක්‍රියාත්මක කරමින් රටට ආදර්ශයක් ලබා දීමයි. එසේ කරන්නැයි ජනපතිගෙන් අප ඉල්ලා සිටිනවා.  මරණ දඬුවම නියමවූ වරදකරුවන්ට සමාව දීම ගැන කතා කරන විට රන්ජන් රාමනායක වැනි ජනප්‍රිය තරුණ කලාකරුවකුගේ මුළු අනාගතයම විනාශ වීමට ඉඩ හැරීම ඉතාමත්ම අසාධාරණ බව අපගේ මතයයි. එමනිසා දැන්වත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සාධාරණයක් ඉටු කරන්නැයි ද අප ඉල්ලා සිටිනවා. මේ නිසා ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙකක් අපට පේනවා. 

එමෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව අද වන විට බරපතළ සැකයක් ඇති කර තිබෙනවා. එම තත්ත්වය ඉතාමත්ම භයානකයි. පාස්කු ප්‍රහාරයේ බිහිසුණු කුමන්ත්‍රණය පසු පස එම ප්‍රහාරය මෙහෙයවූ සහ ඔවුන්ට රැකවරණය ලබා දුන් සියල්ලන්ටම දඬුවම් ලබා දෙන තුරු එම සැකය පවතීවි. 

අද වන විට මේ රටේ කතෝලික සභාව පවා පාස්කු ප්‍රහාරයට අදාළව කටයුතු සිදු වෙමින් පවතින ආකාරය ගැන සැක සංකා මතු කර තිබෙනවා. අපද මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරයට අදාළව කටයුතු සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරන ලෙසයි. එසේ කළ හොත් බොහෝ සැක සංකා දුරු කර ගත හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ ප්‍රශ්නය තවත් දුරයාමට ඉඩ දෙන්න එපා. ඒ වගේම අධිකරණය සහ ලෝකයාගේ හාස්‍යයට ලක් වන ද්වේශ සහගත තීන්දු ලබා දුන් උපාලි අබේරත්න කොමිසම පාර්ලිමේන්තු පුස්තකයේ තබා ගැනීම ලෝක නින්දාවක් බව අපේ හැගීමයි. 

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම පිළිබදවද මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතා කරනු ලැබෙනවා. ඊට පෙර මැතිවරණ සහ අනෙකුත් කොමිෂන් සභා දේශපාලන ග්‍රහනයෙන් මුදා ගත යුතුයි. එසේ නොමැතිව ජනතා විශ්වාසය ඇති වන්නේ නැහැ. මැතිවරණ කාලයේදී රාජ්‍ය සම්පත් ආණ්ඩු පක්ෂයට වාසි වන අන්දමට බෙදා ගැනීමට සැලැස්මක්ද මේ දිනවල සාකච්ඡා වෙමින් පවතිනවා. 

ප්‍රාදේශීය සංවර්ධනයේ නාමයෙන් රටේ ජාතික ධනය මහ ජන නියෝජිතයන්ද නොවන තම ක්‍රියාකාරීන් අතට පත් කිරීමේ උත්සහයක්ද ඒ අතර දකින්නට තිබෙනවා. ඊට කිසිසේතම ඉඩක් නොදිය යුතුයි. මුළු රටම ඊට එරෙහිව නැගී සිටිය යුතුයි. එමෙන්ම මේ රටේ බලතල ඇති ඉහළ අධිකාරීන් මේ පිළිබදව මැදිහත්ව එම ක්‍රියාවලිය වලක්වාළිය යුතුයි.  

මේ වන විට අපට ලැබී ඇති වාර්තා අනුව කෘෂි කර්මාන්තයේ විශාල බිද වැටීමක් සිදුව ඇති බව පෙනී යනවා. මේ ගැන වහා පියවරක් නොගත හොත් රටේ සාගතයක් ඉදිරියේදී ඇති වන්නට ඉඩ තිබෙනවා. කොම්පෝස්ට් භාවිතය ඉතා වටිනා තීන්දුවක් වුවත් ලෝකයේ කිසිම රටක ක්ෂණිකව එම පියවර ගෙන නැහැ. එමෙන්ම සාර්ථක වී නැහැ. වියතුන්ගේ මතය වන්නේ ඒ සදහා අවුරුදු පහක පමණ සැලැස්මක් ඇතිව එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවයි.  

පිටිකිරි, සීනි, ගෑස් සහ සිමෙන්ති ආදී අත්‍යවශ භාණ්ඩවල මිල දැඩි ලෙස පුරවැසියාට බලපාන බව රජය සිහි තබා ගත යුතුයි. රටේ ආර්ථිකය ශක්තිමත් කර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ජීවන වියදම අඩු කිරීමටත් වහා පියවර නොගතහොත් රටේ විශාල ජනතා විරෝධයක් ඇති වීමේ සලකුනු මේ වන විට පහළ වී තිබෙනවා. 

රටේ අහිංසක මහ ජනතාව ආණ්ඩු බලය ලබා දෙමින් පාලකයන් පත් කර ගනු ලබන්නේ තමන්ගේ සුබසෙත උදෙසා ඔවුන් කටයුතු කරාවිය යන මහත් වූ බලාපොරොත්තු ඇතිවයි. ඒ වෙනුවට රටේ ජාතික ධනය කොල්ලකමින් මහ ජනතාව පීඩාවට පත් කරන්නට ආණ්ඩු කටයුතු කළ සෑම අවස්ථාවකදීම ඔවුන් බලයට පත් කළ ජනතාවම ඊට එරෙහිව නැගී සිටිනවා. එම තත්ත්වය ලෝක යථාර්තයක්. එම යථාර්ථය තේරුම් නොගන්නා පාලකයන්ට අත්වී ඇති ඉරණමද සංවේග ජනකයි. අඩුම වශයෙන් මේ රටේ පාලකයන් දැන්වත් එම යථාර්ථය තේරුම් ගත යුතුව තිබෙනවා.

කෝවිඩ් මර්දන ක්‍රියාදාමයේදී සහ එන්නත් කිරීමේදීත් ශ්‍රී ලංකාව සාර්ථකව ඉදිරියට යෑම අපට සතුටට කරුණනක් වනවා. මේ සදහා කැපවුණු සියලුම දෙනාට අපගේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරනවා. පිරිසිදු චේතනාවෙන් අප ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අවධානයට යොමු වේවායි ප්‍රර්ථනා කරනවා.  

Advertiesment