Monday 18th of October 2021

English Tamil
Advertiesment


ගුරු-විදුහල්පති වර්ජනය නොනවත්වා ඉදිරියට


2021-10-13 5708

 

(හේමන්ත තුසිත කුමාර)

 

ගුරු-විදුහල්පති වැඩ වර්ජනය නොනවත්වා ඉදිරියට ගෙන යාමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය බදාදා(13) තීරණය කර ඇත.

වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා(12) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණ.

ගුරු, විදුහල්පති සංගම් පැය තුනහමාරකට අධික කාලයක් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර තිබුණි.

පසුගිය කාලයේ අමාත්‍ය අනු කමිටුව කොටස් තුනකින් වැඩි කිරීමට යෝජනා කල වැටුප් වර්ධකයේ පළමු අදියර 2022 අයවැයෙන් ද ඉතිරි කොටස් දෙක 2023 අයවැය මගින් ද ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර ඇත.

සාකච්ඡාවෙන් පසුව ගුරු-විදුහල්පති සංගම් පවසා සිටියේ වැටුප් ගැටලුවට රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද නැද්ද යන්න පිළිබඳව පසුව තීරණය කරන බවයි.ඒ අනුව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද තීරණය කර ඇත්තේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටයි.

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද අඟහරුවාදා(12) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවට වැඩම කළහ.

ගුරු විදුහල්පති සංගම් නියෝජනය කරමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ පුජ්‍ය යලේවෙල පඤ්ඤාසේකර හිමි, ලංකා පිරිවෙන් ගුරු සංගමයේ මීගහජඳුරේ සීලානන්ද හිමි, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ වසන්තා හඳපාන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ, සමස්ත ලංකා ගුරු උපදේශක සංගමයේ පී.එම් සමරකෝන්, සමස්ත ලංකා රජයේ ක්‍රියාකාරි විදුහල්පති සංගමයේ සිසිර කුමාර රත්නායක, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමයේ ඩබ්ලිව්. ඒ. වීරකොඩි, රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ශෙහාන් දිසානායක,  ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ දිවානි හෙට්ටිගේ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ගුරු සංගමයේ එස්. බාලසේගරම් මහත්ම මහත්මීහු ඇතුළු නියෝජිත පිරිසක් මෙම හමුවට එක්වූහ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරු වන ගාමිණි ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරු වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.පී.එම්. රත්නායක සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් මහත්වරු ඇතුළු රජයේ නියෝජිත පිරිසක් ද ඊට එක්ව සිටියහ.

Advertiesment