Monday 6th of December 2021

English Tamil
Advertiesment


දිළිඳුකම පිටු දැකිය හැක්කේ අධ්‍යාපනයෙන් පමණි 


2021-10-13 7094

 

මිනිසා සෑම දෙයකම මිනුම වේ 

 

 

 

(දේශප්‍රිය නානායක්කාර)
 

දිළිදුකම නිසා ලැජ්ජාවට පැමිණෙයි. ලැජ්ජාවට පත් වූවෝ තේජසින් පිරිහෙති. තේජස් නැති තැනැත්තා ලෝකයා විසින් හෙළා දකිනු ලබයි. හෙළා දැකීම නිසා කලකිරිමට පත් වෙයි . කලකිරීමට පත් වූ විට ශෝකයට පැමිණෙයි. ශෝකයට පත් වූ විට නුවණින් පිරිහෙයි . නුවණින් පිරිහිණු විට විනාශයට පැමිණෙයි. අහෝ..! දිළිදු බව මේ සියලු විපත්වලට හේතුවයි. දිළිදු බව අහෝසි කිරීමේ ක්‍රියාදාමයයේ පළමු තැන හිමි විය යුත්තේ අධ්‍යාපනය දියුණු කිරීමටය .

අද්‍යතන  ශ්‍රී ලංකාවේ පාසල් 10,194කි. එනම් ජාතික පාසල් (National Schools) 353ක් සහ පළාත් පාසල් (Provincial Schools) 9,841කි. ගුරු ප්‍රජාවගේ වටිනාකම් ඉහළ මට්ටමක ඇත. ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් සිසු සිසුවියන් 4,165 ,964කී. එනම් ශිෂ්‍යයන් (Male Students) 2,059,805ක් සහ ශිෂ්‍යාවන් (Female Students) 2,106,159ක් වෙනුවෙන් සුදුසුකම් ඇති ගුරු ප්‍රජාවක් ද ඇත. 

සමස්ත ගුරු සංඛ්‍යාව 241,591කි. එනම් උපාධිධාරී ගුරු භවතුන් (Graduate teachers) 106,756ක්, පුහුණු ගුරු භවතුන් (Trained Teachers) 129,638ක් නුපුහුණු ගුරු භවතුන් (Untrained Teachers) 3,311ක් අභ්‍යාස ලාභී ගුරු භවතුන් (Trainee Teachers) 1,293 සහ අනෙකුත් ගුරු භවතුන් (Other Teachers) 593 වශයෙනි. උක්ත ගුරු භවතුන් 241,591 න් ගුරු මහත්වරුන් (Male Teachers) 64,635 සහ ගුරු මහත්මීන් (Female Teachers) 176,956 වශයෙන් සටහන් වී ඇත. 

ළමුන්ට නීති රීතිවලින් ඉගැන්විය නොහැකිය. නීතිය නිතරම ළමා මනසින් ලිස්සා ඉවතට විසිවෙයි. අපට අවශ්‍ය දේ ළමුන් අතර රෝපණය කළ යුත්තේ ප්‍රයෝගික බව හරහාම පමණි. මේ අනුව ගුරුවරයෙකු තෝරා ගැනීම හෝ තෝරා දීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු කාර්ය භාරයක්මය. ළමයින්ට හික්මීම සහ පාලනය උගන්වන්නේද ගුරුවරුන්ය. නිවැරදි ගුරුවරුන් ළමයින් සලකන්නේ තාර්කික බුද්ධියෙන් යුත් සත්ත්වයෙකු පරිදිය. ළමයින්ගේ බුද්ධිය ඔප්නංවා ගැනීමට උපකාර කිරීම සහ මඟ පෙන්වීම ගුරුවරුන්ගේ  බලවත් සේම තීරණාත්මක කාර්ය භාරයයි. 

සාර්ථකත්වය රඳා පවතින්නේ ස්වභාවික ගුණාංගයන්, විඥානය, මතකය සහ සිතීමේ හැකියාවන්ට වඩා බුද්ධිමය ලෙස මනස යෙද වීමේ ප්‍රීතිය මතය. එම නිසා අධ්‍යාපනය නිශ්චිත සහ නිවැරදි බුද්ධිය සෑදීම සහ වර්ධනය කිරීම සඳහා සොබාදහමට වඩා බලපානු ලබයි. මේ අනුව සදාචාරය-ප්‍රඥාව සහ ආචාර ධර්ම සේම ඉගැන්වීම යනු ගුරුවරයාගේ අත්නොහළ හැකි වගකීම් බව ජෝන් ලොක් පවසා ඇත. 

තව දුරටත් ඔහු පවසා ඇත්තේ ප්‍රඥාවට සුදානම් කරන ළමයින්ට තිබිය යුතු නුසුදුසුකම් ලෙස බොරුව, වැරදි ක්‍රියා සහ කපටිකම ළමයින් වෙතින් දුරස්ථ කළ යුතු බවයි . මක්නිසාද යත්, උතුම් සිතුවිලි පැන නගින්නේ එවන් මනසක වීම නිසාය. මිනිසෙකුට සදාචාරය පළමුව හිමි විය යුත්තේ එමගින් ඔහුට මනා ඇගැයීමක් ලැබෙන නිසාය. ඒ සමග සමාජීය පිළි ගැනීම සේම ආදරයද හිමි වන අතරම එම තත්ත්වය ළමයාට සතුටකි-ගෞරවයෙකි. 

තවදුරටත්  ජෝන් ලොක් ප්‍රකාශ කර ඇත්තේ උක්ත වටිනාකම් අහිමි පුද්ගලයාට මෙලොව සේම පරලොව ද සතුටක් නොමැත්තේය යනුවෙනි. අනෙක් අතට ජෙනිවන් දාර්ශනිකයෙකු වූ (Genevan Philosopher)  ජීන් ජැක් රූසෝ (Jean-Jacques Rousseau0 ප්‍රකාශ කර ඇත්තේ වගා කිරීම මගින් ගස්වැල් හැඩ ගැසෙන්නා සේ මිනිසා අධ්‍යාපනයෙන් හැඩ ගැසෙන්නේය යනුවෙනි. "හියුමිනිස්ටා" යනු මානව සංස්කෘතිය කෙරෙහි කැපවීම දක්වන උගත් මිනිසා යනුයි.

12-14  සහ16 වැනි සියවස් සමයෙහි යුරෝපයේ සම්භාව්‍ය සාහිත්‍ය කලාවන්හි වූ ඇතිවූ නවෝදය, පුනරුද යුගය (The Renaissance) වශයෙන් පිළිගැනීමට ලක් වී ඇත. උක්ත අලුත් වීම නොහොත් නවීන ශාස්ත්‍රීය පුනරුදය යුරෝපයේ මධ්‍යතන යුගයේ සාර්ථක වූ අතර, එම කාල වකවානුව යුරෝපීය සමාජයේ  සම්භාව්‍ය දර්ශනය සහ පොදු සමාජීය වටිනාකම් නැවත තහවුරු කිරීමට ප්‍රයත්න දැරූ කාල පරිච්ඡේදයක් විය. 

මනස යනු (මොළය සමග ව්‍යාකුල නොවී) සංඥාව, පරිකල්පනය, සංකල්ප, චින්තනය, විනිශ්චය, භාෂාව සහ මතකය වැනි සංජානන ගුණාංග සමූහයකි. සැබැවින්ම පුනර්ජීවන චින්තකයන් විසින් මිනිසාගේ සිත්වලට අයිති දේපොළ (Mind Property) වශයෙන් සැළකෙන සිතීම සහ මතකය යන ස්වභාවික ක්‍රියාවලිය නව්‍යකරණයට ලක් කර ඇත. ඒ අනුව ශාස්ත්‍රීය පුනරුදය විසින් මෙතෙක් පැවැති සම්භාව්‍ය වටිනාකම් සහ දර්ශනවාදී අර්ථ නිරූපණය පුළුල් කිරීම, වර්ධනය කිරීම, කලා කෘති නිර්මාණය කිරීම, විද්‍යාත්මක චින්තනය සහ දාර්ශනික සිතුම් පැතුම් ආදීයද නව්‍යකරණයට ඇතුළු කර ඇත. එහි ප්‍රතිඵල ආගම, සංගීතය, සාහිත්‍යය,අධ්‍යාපනය, දේශපාලනය, දර්ශනය, විද්‍යාව,ගෘහ නිර්මාණ ශිල්පය සහ පොදුවේ කලාවේ නව්‍යකරණයට හේතු වී ඇත. 

උක්ත අලුත්වීමේ මහා ක්‍රියාවලියේ නොහොත් පුනර්ජීවනයේ බුද්ධිමය පදනමක් වූයේ (Humanism) මානවවාදයයි.ඉතාලි ශාස්ත්‍රීය විශාරදයෙක් සහ මුල්ම මානවවාදියෙකු වූ බැලීයජියෑන් ෆ්රැන්චෙස්කෝ පෝගියෝ බ්රැචියොලිනි (Gian Francesco Poggio Bracciolini) ද, ඉතාලි මානව වාදියෙකු, භාවප්‍රබෝධකයෙකු, (Rhetorician) අධ්‍යාපනඥයකු සහ කතෝලික පුජකයෙකු වූ ලොරෙන්සෝ වාලා (Lorenzo Valla) ද, මානව වාදීයෙකු, ඉතාලි වංශාධිපතියෙකු සහ දාර්ශනිකයෙකු වූ ජුවවානි පීකො ඩෙල් මිරැන්ඩෝලා 9Giovanni Pico della Mirandola) ද, ඉතාලි කවියෙකු වූ ඩුරන්ටී ඩයි ඇලිජියෙරෝ ඩේග්ලී ඇල්ගියාරි 9Durante Di Alighiero Degli Alighieri) ද, ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වූ නිකොලොයි ඩයි පියට්රෝ ග්‍රැනිණි ( Niccolò Di Pietro Gerini) ද, ඉතාලි කලා ශිල්පියෙකු වූ ලොරෙන්සෝ ගිබර්ටි (Lorenzo Ghiberti) ද, ඉතාලි ජාතික විද්වතෙක් සහ කවියෙකු වූ ෆ්රැන්චෙස්කෝ පේත්රාකා (Francesco Petrarca) ද, ෆ්ලොරෙන්ටිනියානු කලාකරුවෙකු වූ මසාචියෝ (Masaccio) ද, පුනරුද යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ පියා වශයෙන් සැලකෙන ෆිලිපෝ බෘනෙලෙස්කි (Filippo Brunelleschi) ද, ඉතාලි මුර්ති ශිල්පියෙකු වූ ඩොනාටෝ ඩයි නිකොකොලෝ ඩයී බෙටෝ බාර්ඩි (Donato Di Niccolò Di Betto Bardi)  සහ ඉතාලි ජාතික මානවවාදියෙකු වූ නිකලෝ ඩයි නිකොලෝයි (Niccolò De' Niccoli) යන අය පුනර්ජීවනයේ බුද්ධිමය පදනම වූ  මානවවාදයේ ප්‍රධානතම චින්තකයන්ය.

1348 සිට 1350  අතර කාලයේදී උද්ගත වූ මහාමාරිය වසංගතයද (Black Plague-Black Death) මානවවාදී පුනරුදයට වක්‍රව බලපා ඇත. මානව වාදය  මධ්‍යතන යුගය සහ නවීන ඉතිහාසය අතර පාලම වශයෙන් පිළිගැනීමට ලක් වී ඇත. මෙම මානව වාදය ජර්මානු පුනරුදය, ප්‍රංශ  පුනරුදය,ඉංග්‍රීසි  පුනරුදය, බෙල්ජියන් පුනරුදය, නෙදර්ලන්ත පුනරුදය, පෝලන්ත පුනරුදය සේම අනෙකුත් ජාතික සහ ප්‍රාදේශීය ව්‍යාපාරවල විවිධ ලක්ෂණ සහ ශක්තීන්වලට බලපෑවේය.

ඇල්ප්ස් කඳුකරයේ උතුරු යුරෝපයේ සිදුවූ පුනරුදයේ (The Northern Renaissance)  චින්තකයන් අතර උතුරු පුනරුදයේ උසස්ම විශාරදයා වූ ලන්දේසි ක්‍රිස්තියානි මානවවාදියෙකු වූ (Desiderius Erasmus Roterodamus) ඩෙසිඩියස් ඊරාස්මස් රොටෝඩේමස් ප්‍රධානය. ඉරාස්මස් යනු පවිත්‍ර ලතින් භාෂාවෙන් ලියූ සම්භාව්‍ය සාහිත්‍යයේ වැදගත් චරිතයකි. උතුරු පුනරුදයේ මානවවාදීන්ගේ සම්භාවනීය අධිපත්‍යය ඔහු සතු අතර ක්‍රිස්තියානි මානව වාදීන්ගේ ඔටුන්නට හිමි තේජස ඔහු විසින් අත්පත් කර ගෙන තිබිණි.

ඔහු නව්‍යකරණය වෙනුවෙන් නිරන්තරව ක්‍රියා කර ඇත්තේ නොයෙකුත් ක්ෂේස්ත්‍ර ඔස්සේය. ඩෙසිඩියස් ඊරාස්මස්ගේ මිත්‍රයකු වූ ඉංග්‍රීසි ජාතික පුරෝගාමී අධ්‍යාපනඥයකුවූද  ලන්ඩන් සාන්ත පාවුළු දේවස්ථානයේ පීඨාධිපතිද වූ ජෝන් කොලේට් (John Colet) සහ ඩෙසිඩියස් ඊරාස්මස්ද මිනිසාගේ උත්තම ආකෘතිය ලෙස පිළිගත්තේ, මානව චරිතයේ ජීවමානවූ ද,උතුම්වූ ද සාධකය ලෙස සැලකු ග්‍රීසියේ සම්භාව්‍ය (Classical Greece) යුගයයි.

නමුත් ඊට හාත්පසින්ම වෙනස් වූ ඉංග්‍රීසි ජාතිකයන්, මහත්මා ගුණ ලෙස සැලකුවේ මහජන සේවයට ඇති කැපවීම විනා මිනිසාගේ සර්ව සම්පුර්ණ බව ලබා ගැනීම නොවේ. එම නිසා ඉංග්‍රීසි සමාජය, කාලය සමග වෙනස් වෙමින් නිරන්තරව අලුත් වූ අතර එහි අධ්‍යාපනික න්‍යායන් වෙනස් වුයේ නැත. වෙළෙද ආර්ථිකයේ (Market Economy) වර්ධනයත් සමග, ලෞකික සාක්ෂරතා (Secular Literacy) ප්‍රවනතාවයන් සහ සාහිත්‍ය ඇතුළු අධ්‍යාපනය එරටට  විශේෂිත වූ ඉංග්‍රීසි බසින් ලබා දීම සිදු කර ඇත. 

උක්ත කරුණු හේතුවෙන් ඔවුන්ට වෙනත් ඉංග්‍රීසි සාහිත්‍යයක් සොයා ගැනීමට සිදු වී ඇති බව පැහැදිළිය. ඒ අනුව මිනිසාගේ අභ්‍යන්තරයේ ඇති සහජ හැකියාවක් වන ඥාන විභාගය (Epistemology) හෙවත් ඕනෑම දෙයක් දැන ගැනීමට මිනිසාගේ අභ්‍යන්තරයේ ඇති හැකියාව පරික්ෂාවට ලක් වෙමින් නව්‍යකරණය වී ඇත. සමොසා හී පයිතගොරස් (Pythagoras of Samos) ප්‍රකාශ කර ඇත්තේ "මිනිසා සෑම දෙයකම මිණුම" බවයි.

Advertiesment