Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


මානව හිමිකම් අපට අත්‍යවශ්‍යම ද..?


2021-10-11 14339

 

මානව හිමිකම් යනු මොනවා ද?

 

ඒවා වැදගත් වන්නේ ඇයි?

 

(දැහැමි රණවීර)

 

මෑත දශක කීපය තුළ මානව හිමිකම් (Human Rights) පිළිබඳ උනන්දුව හා දැනුවත්භාවය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. 1948 දී එක්සත් ජාතීන් විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය නිකුත් කළ අතර, එය සමානාත්මතාව සහ මානව හිමිකම් සඳහා වූ වැදගත්ම ලේඛනය බවට පත්ව ඇත.

මානව හිමිකම් යනු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වරින් වර නැගෙන මාතෘකාවකි. මානව හිමිකම් යනු කුමක්ද?, ඒවා වැදගත් වන්නේ ඇයි? යන්න පිළිබඳ බීබීසී සිංහල සේවය ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙකුගෙන් විමසීමක් කළේය.

"මේ ගැන ලොකු පිළිතුරක් දෙන්න මම දන්නේ නැහැ. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන තමයි මෙයින් කියවෙන්නේ කියලා තේරෙනවා. ලෝකයේ හැමෝටම නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියන එක සහතිකවම දන්නවා," ස්වයං රැකියාවක යෙදෙන චාරුණි උදේශිකා පැවසීය.

"කාන්තා අයිතීන් ගැන නම් නිතරම ඇහෙනවා. හැබැයි පිරිමින්ට වෙනම අයිතීන් තියෙනවා ද කියලවත් දන්නේ නැහැ. මානව හිමිකම් හැමෝටම පොදුයි තමයි, හැබැයි දැන් ඒක ගැහැණු, පිරිමි විදිහට බෙදිලා කියලා හිතෙනවා," ව්‍යාපාරිකයෙක් වන නිලූක බස්නායක පැවසුවේය.

මේ අතර, පෞද්ගලික අංශයේ රැකියාවක නිරත රුවන්ති ගලගෙදර පැවසුවේ, "මානව හිමිකම් කියන්නේ අයිතීන් කියන දේ අපි දන්නවා. හැබැයි මේ ගැන ලංකාවේ අපිට නිතර ඇහෙන්නේ 'මානව හිමිකම් කඩ කළා', 'හිමිකම් නැහැ' වගේ නෙගටිව් දේවල් විතරමයි. මානව අයිතීන් කියන්නේ ලෝකයේ ජීවත් වෙන කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් කියන එකත් මේ නෙගටිව් දේවල්ම ඇහීම නිසා අමතක වෙලා යනවා. මෙතන වැරැද්ද මේ දේවල් කව්රුත් සරලව පැහැදිලි නොකිරීමයි," යනුවෙනි.

මානව හිමිකම් යනු මොනවා ද? ඒවා වැදගත් වන්නේ ඇයි? මානව හිමිකම් දේශපාලනයට සම්බන්ධ ද?

කරුණු දහයක්:


1. මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම මානව හිමිකම් මඟින් සහතික කරයි

ලොව සෑම පුද්ගලයෙකුටම ජිවත් වීමට, ඖෂධ, ආහාර, ජලය, ඇඳුම් පැළඳුම් සහ නවාතැන් සඳහා ප්‍රවේශ වීමට හැකියාව තිබිය යුතුය. පුද්ගලයෙකුගේ මූලික මානව අයිතිවාසිකම්වලට මේවා ඇතුළත් කිරීමෙන් සෑම කෙනෙකුටම මූලික මට්ටමේ ගෞරවයක් ලබා දීමට හැකි වේ.

අවාසනාවකට මෙන්, මෙම අවශ්‍යතා නොමැති මිලියන ගණනක ජනතාවක් ලොව පුරා තවමත් සිටිති. නමුත් මෙය මානව අයිතිවාසිකම් යටතට වැටෙන කාරණයක් වීම හේතුවෙන් ඒවා අවශ්‍යය පිරිසට උදව් කිරීමට ක්‍රියාකාරීන් ඇතුළු අනෙක් පුද්ගලයන්ට වැඩි ඉඩක් සැලසේ.

2. ලෝකය පුරා දිවි ගෙවන අවදානමට ලක් වූ පුද්ගල කණ්ඩායම් අපයෝජනය වීමෙන් ආරක්ෂා කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශය නිර්මාණය වීමට බොහෝ දුරට හේතු වූයේ 1941 සිට 1945 දක්වා ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නාසි හමුදාව සිදු කළ යුදෙව් සංහාරය සහ දෙවෙනි ලෝක යුද්ධයේ භීෂණය හේතුවෙනි.

ඉතිහාසයේ එම කාලය තුළ, අබාධිත, සමලිංගික, සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් ද යුදෙව්වන් සේම සමාජයේ වඩාත් අවදානමට ලක් වූ පිරිසට අයත් වීය.

බලය හිමි අය සිදුකරන නොසලකා හැරීම්වලට වඩා ඔවුන්ගේ අපයෝජනයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කිරීමට මානව හිමිකම් සංවිධාන ක්‍රියා කරති.

"මානව හිමිකම් යනු මිනිසෙකුව උපත ලැබීම හේතුවෙන් ලැබිය යුතු නැතහොත් ලැබීමට අයිතිය ඇති අයිතිවාසිකම් සමූහයක්" යැයි නීතීඥ නිලන්ත හෙට්ටිගේ පැහැදිලි කරන්නේය.

"මානව හිමිකම් යන්න සමහර අවස්ථාවල මූලික මිනිස් අයිතිවාසිකම් (Fundamental Human Rights) යන යෙදුමෙන් ද භාවිත කරනවා. නමුත් මේ දෙක තුළ පවතින සියුම් වෙනස්කම් හඳුනාගැනීම වැදගත්. මූලික මිනිස් අයිතිවාසිකම් යන්නේ තේරුමත් මානව හිමිකම් යන්නට සමාන වූවත්, සමහර රටවල ඒ වදන වෙනත් අර්ථයක යොදන ආකාරය දැකගන්න පුළුවන්. ඊට හොඳම උදාහරණය ශ්‍රී ලංකාව.

"ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නීතිය යනුවෙන් හඳුන්වන්නේ ජාත්‍යන්තර සම්මුතීන් මගින් තීරණය කර ඇති මානව අයිතීන්. මූලික අයිතිවාසිකම් යනු 1978 දෙවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර ඇති අයිතිවාසිකම් සමූහයක්. එම අයිතීන් ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්ගේ මුල් පරම්පරාවේ මානව හිමිකම් වලට සමාන වෙනවා," නීතීඥවරයා තවදුරටත් පැහැදිලි කරන්නේය.

3. මානව හිමිකම් මඟින් සමාජ දූෂණයට එරෙහිව නැගී සිටීමට මිනිසුන්ට ඉඩ සලසයි

අපචාර හා දූෂණ අත්විඳින විට මිනිසුන්ට ඒවාට එරෙහිව හඬක් නැගීමට මානව හිමිකම් ඉඩ සලසයි.

කිසිදු සමාජයක් පරිපූර්ණ නොවේ. අසාධාරණයට එරෙහිවන්නට උදව් දෙන ජනයා 'එකරැස් වීමේ අයිතිය' වැනි සමහර අයිතිවාසිකම් ඉතා තීරණාත්මක වන්නේ මේ බැවිනි.

මානව හිමිකම් පිළිබඳ සංකල්පය මිනිසුන් සවිබල ගන්වන අතර, එම මානව හිමිකම් කඩකරන විට හෝ ඒවාවන්ට නිසි ගෞරවයක් නොලැබෙන විට එය රජය හෝ වේවා ඔවුන්ගේ රැකියා ස්ථානය හෝ වේවා ඊට එරෙහිව නැගී සිටිය හැකිය.

4. මානව හිමිකම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දිරිගන්වයි

මෙය ඔබ ඉහත කියවූ දේට සමාන වුවත්, දරුණු පළිගැනීම්වලට බිය නොවී නිදහසේ කථා කිරීමට, තම අදහස් ප්‍රකාශ කිරීමට හැකි වීම වඩාත් පුළුල් මානව අයිතිවාසිකමකි.

සමාජයේ සෑම අයෙක්ම එක ලෙස එකඟ නොවන අදහස් සහ ප්‍රකාශන ද මෙයට ඇතුළත් වේ. එමෙන්ම, යමෙකු සිතන දේ පැවසීම හේතුවෙන් රට පාලනය කරන රජයෙන් අනතුරක් සිද්ධ විය හැකි යැයි ඒ පුද්ගලයාට දැනිය යුතු නැත.

මෙම අයිතිය සමාජයක පාර්ශවයන් සියල්ලටම අදාළ වේ. තම සමාජය තුළ ප්‍රකාශ වන යම් යම් අදහස් සමග වාද කිරීමට හෝ තර්ක කිරීමට කැමති පුද්ගලයින් ද මෙමගින් ආරක්ෂා කරයි.

5. මානව හිමිකම් මඟින් මිනිසුන්ට තම ආගම ඇදහීමේ හෝ කිසිදු ආගමක් අනුගමනය නොකිරීමේ නිදහස ලබා දේ

ආගමේ නාමයෙන් ඉතිහාසය පුරාම ගැටුම් ගණනාවක් ඇති වී තිබේ. කුරුස යුද්ධය, යුදෙව්වන් සමූලඝාතනයේ සිට වර්තමානයේ ද ආගමික හිංසනය සහ පීඩා කිරීම් නැවත නැවතත් සිදු වෙමින් පවතී.

මානව අයිතිවාසිකම් පුද්ගලයෙකුගේ ආගමේ හා අධ්‍යාත්මික විශ්වාසයන්ගේ වැදගත්කම පිළිගන්නා අතර සාමකාමීව ඇදහීම්වල යෙදීමට ඔවුන්ට ඉඩ සලසයි. ආගමක් නොපිළිගැනීමට ඇති නිදහස ද මානව අයිතිවාසිකමකි.

6. මානව හිමිකම් මඟින් මිනිසුන්ට තමන් කැමති කෙනෙකුට ආදරය කිරීමට ඉඩ සලසයි

නිදහසේ ප්‍රේම කිරීමට ඇති වැදගත්කම අවතක්සේරු කළ නොහැක.

කෙනෙකුගේ ආදර හැඟුම් කෙබඳුදැයි තෝරා ගැනීමට හැකි වීම අත්‍යවශ්‍ය මානව අයිතිවාසිකමකි. සමලිංගික, සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් පීඩාවට, අපයෝජනයට ලක් කරන හෝ කාන්තාවන් ඔවුන්ගේ අකමැත්තෙන් විවාහ කෙරෙන රටවල් දෙස බලන විට මෙම අයිතිය ආරක්ෂා නොකිරීමේ ප්‍රතිවිපාක පැහැදිලි වේ.

7. මානව හිමිකම්, සැමටම සමාන ලෙස රැකියා අවස්ථා ලැබීම දිරිමත් කරයි

ජීවත් වීම සඳහා රැකියාවක් කිරීමට ඇති අයිතිය මිනිසුන්ට තම සමාජය තුළ සමෘද්ධිමත්ව දිවි ගෙවීමට ඉඩ සලසයි.

සේවා පරිසරයේ පීඩාකාරී බව නොදැනීම මිනිසුන් අපයෝජනයට ලක් වන අතර ඔවුනට රැකියාවෙන් ඉදිරියට යෑමට ප්‍රමාණවත් අවස්ථා ලබා නොදෙයි. මානව හිමිකම් සංකල්පය මඟින් සේවකයින්ට සැලකිය යුතු ආකාරය සහ සමානාත්මතාව දිරිගැන්වීම සඳහා මාර්ගෝපදේශන සපයයි.

8. මානව හිමිකම් මඟින් මිනිසුන්ට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දේ

බොහෝ හේතු නිසා අධ්‍යාපනය වැදගත් වන අතර දුගීබව බහුලව පවතින සමාජයන් සඳහා එය ඉතා වැදගත් වේ.

මානව හිමිකම් ගැන සැලකිලිමත් වන සංවිධාන සහ රජයන් දරුවන්ට පාසල් අධ්‍යාපනය, සැපයුම් ඇතුළු ඒ හා සම්බන්ධ තවත් බොහෝ දේ සඳහා ප්‍රවේශය ලබා දෙන අතර, මෙහි අරමුණ වන්නේ දරිද්‍රතාවයේ චක්‍රය නැවැත්වීමය.

අධ්‍යාපනය අයිතියක් ලෙස දැකීමෙන් අදහස් වන්නේ ප්‍රභූ පැලැන්තියට පමණක් නොව සෑම කෙනෙකුටම එයට ප්‍රවේශ විය හැකි බවය.

9. මානව හිමිකම් පරිසරය ද ආරක්ෂා කරයි

මානව අයිතිවාසිකම් සහ සොබාවික පරිසරිය අතර බැඳීම ශක්තිමත් වෙමින් පවතී. දේශගුණික විපර්යාස සහ එය මිනිසුන්ට ඇති කරන බලපෑම මෙයට හේතු වේ. අප දිවි ගෙවන ලෝකයේ භූමිය අත්‍යවශ්‍යය දෙයක් නිසා පරිසරයට සිදු වන දේ මනුෂ්‍යවර්ගයාට සෘජුවම බලපායි.

මෙම ලැයිස්තුවේ ඇතුළත් අනෙකුත් අයිතිවාසිකම් මෙන්ම පිරිසිදු වාතය, පිරිසිදු පස සහ පිරිසිදු ජලය සඳහා ඇති අයිතිය ද ඉතා වැදගත්ය.

10. මානව අයිතිවාසිකම් පොදු සම්මතයක් මඟින් රජයන් සිය වගකීම්වලට බැඳ තබයි

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය නිකුත් කරන විට එහි අරමුණු දෙකක් තිබිණි. එනම්, අනාගතය සඳහා මාර්ගෝපදේශනයක් සැපයීම සහ දෙවෙනි ලෝක යුද සමයේදී මානව හිමිකම් විශාල ලෙස උල්ලංඝනය වී ඇති බව පිළිගැනීමට ලෝකයට බල කිරීමය.

මානව අයිතිවාසිකමක් පිළිබඳ මෙම පොදු සම්මතයට අනුව, රජයන් ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා වග කිව යුතුය. අසාධාරණයක් නම් කිරීමේ සහ පූර්වාදර්ශයක් පෙන්වා දීමේ ශක්තියක් ද ඇති හෙයින් එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ඇතුළු අනෙකුත් මානව හිමිකම් සම්බන්ධ අනෙකුත් සියලුම ලේඛන ඉතා වැදගත් වේ.

-BBC-
-සිංහල සේවය-

 

Advertiesment