මහාචාර්ය සමන් සෙනෙවීර මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි. අමෙරිකාවේ ඉලිනෝයි, ජපානයේ තොහුකු, ඕස්ට්‍රේලියාවේ දකුණු ක්වින්ස්ලන්ඩ් සහ මෙල්බර්න් යන විශ්ව විද්‍යාලවල ශාක කායික විද්‍යාව සහ දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යයනය කළ මහාචාර්යවරයෙකි. වසර විසි පහකට වැඩි කාලයක් පර්යේෂණාත්මක අත්දැකීම් සහ සේවා පළපුරුද්දක් ඇති මහාචාර්ය සමන් සෙනෙවිර මහතා ශ්‍රි ලංකාවේ ජාතික මුලික අධ්‍යයන ආයතනයේ මහනුවර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති අතර වර්තමානයේ උද්ගතව ඇති සහල් අර්බුදය සහ ඊට අදාළ විසැඳුම් පිළිබඳව "lankanewsweek" සමග දැක්වූ අදහස් මෙසේ සටහන් කරමු.
මෑත කාලයේ විටින් විට පැන නැඟුණු ප්‍රශ්න අතර සහල් ප්‍රශ්නය මේ වන විට ඉතා සංවේදී මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ පිළිබඳ විවිධ දෘෂ්ටි කෝණවලින් කරනු ලබන විග්‍රහයන් අපට අසන්නට දකින්නට ඇති නමුත් සහල් ප්‍රශ්නයට විවිධ අර්ථකථනයන් ලබා දීමට දරන උත්සාහයත් සමඟ යථාර්ථය යට පත් කරමින් මිත්‍යාව සමාජ ගත කරන ස්වභාවයක් මේ වන විට දැක ගන්නට තිබේ.
රටේ බහුතරයක් ජනතාගේ ජිවනෝපාය වන කෘෂිකර්මාන්තයත් සමග බැඳි තිබෙන්නේ වී ගොවිතැනයි. වී සහ සහල්වලට දේශීය සමාජ පසුබිමේ විශාල සංස්කාතිකමය වටිනාකමක් ද ඇත. මේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාර වේල නියෝජනය කරන ප්‍රධානතම සාධකය සහල් වන නිසා මෙම මාතෘකාව විටෙක දේශපාලන මුහණුවරකින් ද තවත් විටෙක තම තමන්ගේ ලාභ සහ වාසි අපේක්ෂාවෙන් ද විග්‍රහ වෙයි. නමුත් සහල් අර්බුදයේ සත්‍යය තත්ත්වය මහජනතාවගෙන් වසන් කරන තරමට මේ ප්‍රශ්නය ඔඩු දුවන ස්වභාවයක් මතුව ඇත.
ශ්‍රි ලංකාව සහලින් ස්වයං පෝෂිත බව ඇතැමෙක් පැවසුව ද එම ඉලක්කය අප විසින් තවමත් සපුරා ගෙන නොමැත. ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය පසු ගිය වසර කිහිපයේ දී යම් වැඩි වීමක් සිදු වුව ද එම ප්‍රමාණය නිරන්තරයෙන් උච්ඡාවචනයට ලක් වෙයි. මීට හේතු ගණනාවකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 2020-21 වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 2.34ක් පමණ වේ. මේ අනුව දිනකට සහල් මෙට්‍රික් ටොන් 6500ක් රටට අවශ්‍ය වේ. මෙම ප්‍රමාණය සපුරා ගත හැක්කේ ලැබෙන අස්වැන්නට සහ සහල් නිෂ්පාදන ධාරිතාවට සාපේක්ෂවය.
සහල් නිෂ්පාදනයට අදාළ නිරතුරුව සිදු වන මෙම උච්ඡාවචනයන්ට හේතුව දේශගුණ විපර්යාසයන්ට අප තවමත් අනුවර්ථනය නොවීම සහ ඒ ඒ රජයන් විසින් කලින් කලට ගනු ලබන තින්දු තිරණය. උදාහරණයක් ලෙස වත්මන් රජය මෑතකදී ගනු ලැබු කාබනික වගා ප්‍රතිපත්තිය රටේ ආහාර නිෂ්පාදනයට විශාල බලපෑමක් ඇති කරන බව නොවනුමානයි.
එමෙන්ම වී නිෂ්පාදනයේ දී රටක් වශයෙන් අපගේ ඉලක්කය විය යුත්තේ සහලින් රට ස්වයං පෝෂිත කිරීම පමණක් නොව වී නිෂ්පාදනය ආදායම් මාර්ගයක් ද කර ගැනීමය. කෙසේ වෙතත් පසුගිය කාල සීමාවේ දී සහල් අර්බුදයත් සමග සහල් මාෆියාව යන වචනය ඉතා වැරැදි ආකාරයට අර්ථ කථනය කරමින් එම මතය සමාජ ගත කිරිමට දරන උත්සාහයක් පැහැදිළිව පෙනෙන්නට තිබේ.
සමාජය මත බලයෙන් පැට වූ මතය පුපුරා යාම හේතුවෙන් හතර වටෙන්ම වී මෝල් වටලමින් සහල් සොයමින් එක්තරා ආකාරයක යුද මෙහෙයුමක ස්වරූපයක් රටේ සිවු දිසාවෙන් ම දක්නට ලැබිණි. මේ තත්ත්වය ශ්‍රි ලංකාවේ ජනතාවට සුපුරුදු රංගනයක් වුවත් එම දර්ශන විදෙස් මාධ්‍යයවලට හසු වුයේ නම් ශ්‍රි ලංකාව පිළිබඳ ඇඳෙන චිත්‍රය ගැන අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත.
වී ගොවිතැන සේම සහල් කරමාන්තය නඟා සිටුවීමේ දි පළමුව අවධානය යොමු කළ යුත්තේ ආහාර නිෂ්පාදන දාමයේ ප්‍රථම පුරක වන ගොවියා දෙසටය. මෙම කර්මාන්තයේ පළමු පුරුක වන වී ගොවියා යනු සිය ආර්ථිකය ස්වොත්සාහයෙන් ජය ගත හැකි අයෙකු නොවේ. ඔහුට සිය වී ගොවිතැන ආදායම් මාර්ගයක් දක්වා වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කර දී නොමැත.
මෙරට වී ගොවියා සතු වගා වපසරිය අක්කරයකට අඩුය. අක්කරයිකින් වී ටොන් 2ක් නිෂ්පාදනය කර ගෙන වී කිලෝවක් රුපියල් 50.00ට විකුණා ගත්තද රුපියල් ලක්ෂ ඒකක ආදායමක් නොලබයි. වී ගොවියාගේ වියදම රුපියල් 75,000 ක් නම් රුපියල් 25,000ක ආදයමක් ලබා ගෙන ඵලක් නැත. මෙහි ශ්‍රම පිරිවැයවත් අන්න්තර්ගත නොවේ. මාස හයක් ගොවි බිමේ විශාල කැප කිරීමක් කරන ගොවියාට ලැබෙන ලාභය රුපියල් රුපියල් 25,000ක් නම් වී ගොවියා ඇතුළුව රටේ ඒක පුද්ගල ආදයම නංවන්නේ කෙසේද යන ප්‍රශ්නය රට හමුවේ පවතී. එමෙන්ම ජනතාවගෙන් 30%ක් ම ගොවි ප්‍රජාව වන බැවින් ඔවුන්ගෙන් ජාතික ආර්ථිකයට ලබා ගත හැකි ශක්තිය හීන වි ඇත. අද වී ගොවිතැන ලාභ ලබන කර්මාන්තයක් නොවේ. එවැනි තතත්ත්වයක් මත වී සඳහා පාලන මිලක් නියම කිරීමට රජය ගෙන තිබෙන තීරණය වැරැදි සහගතය.
මේ වන විට රටේ පැන නැඟී ඇති කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ගැටලු සමග රටේ ධාන්‍යාගාරයට වී අස්වනු ලබා දෙන වී ගොවියා ද රජයට රතු එළියක් නිකුත් කර තිබේ. ඒ කාබනික පොහොර ගැටලුවත් සමග උද්ගත වි ඇති අර්බුදයයි. රජය මේ ප්‍රශ්නය සඳහා වඩාත් සාරගර්භ සහ ප්‍රායෝගික විසැඳුමක් ලබා දීමට අසමර්ථ වී ඇති තත්ත්වය මත වී ගොවියා වී ගොවිතැන ගැන දෙගිඩියාවකින් සහ ඉච්ඡාභංගත්වයකින් පසු වන බව පැහැදිළිව පෙනෙන්නට තිබේ. තවද කාබනික වගාව හේතුවෙන් ගෙවුණු යල කන්නයේ සැළකිය යුතු ප්‍රමාණයකින් අස්වනු අඩු වී ඇත. රජයේ ඉදිරි තීරණත් සමග වී ගොවියා කබලෙන් ළිපට වැටෙන බව නොවනුමානය. මෙතෙක් බලයට පත් කිසිදු රජයක් ගත් කිසිදු ප්‍රතිපත්තියක් වි ගොවිතැන තිබෙන තැනින් ඉහළට ඔසවා තැබිමට ධනාත්මක බලපෑමක් සිදු කර නොමැත.
ආහාර නිෂ්පාදන දාමයේ දෙවැනි පුරක සහල් නිෂ්පාදකයාය. සහල් නිෂ්පාදකයා මත අලවන ලද සහල් මාෆියාව නැමති ලේබලය බරපතළ අර්ථ දැක්වීමකි. වී ගොවියා කෙතරම් නිෂ්පාදනයක් සිදු කළ ද වී සහල් කිරීමේ කර්මාන්තය ඊට බද්ධ නොවුණොත් මේ කර්මාන්තය මුළුමනින්ම කඩා වැටීමකට ලක් වන අතර ශ්‍රි ලංකාවේ ප්‍රධාන ආහාරය බත් යන සංකල්පය ද වෙනස් වන්නට බැරි නැත.
මේ නිසා සහල් නිෂ්පාදන මාෆියාව නැමැති ලේබලය ගළවා ඉවත් කිරීම පළමුව සිදු කළ යුතුය. වී ගොවියා සේම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කර්මාන්තය හා බද්ධ වී සිටින සහල් නිෂ්පාදකයා ද ආදයම් ලබන්නකු විනා දැවැන්ත ලාභයක් උත්පාදනය කරන්නකු නොවේ. එමෙන්ම සහල් කර්මාන්තය ජය ගැනිමට රජයට තිබෙන නොහැකියාවේ වරද විවිධ විග්‍රහ ඔස්සේ සහල් නිෂ්පාදකයා මත පැටවීම පදනම් විරහිතය. මහා පරිමාණයෙන් සහල් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් සහල් තොග සඟවා ගෙන සිටින බවට එල්ල කරන චෝදනාවේ කිසිදු සත්‍යතාවක් නොමැත. ඔවුන් සතුව දැනට පවතින වි සංචිත ප්‍රමාණය මුළු සහල් නිෂ්පාදනයෙන් 25%ට අඩුය. ඔවුන් විසින් මිල දි ගන්නා වී සංචිත සියල්ල එක වර සහල් කර වෙළෙඳ පොළට නිදහස් කළ නොහැකිය. විශාල පිරිවැයක් යට කර ඇති නිසා එවැන්නක් ලෝකයේ කිසිදු තැනක සිදු වන නොවන අතර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආදායම් උත්පාදනය සහ ලාභ ඉපැයිමේ න්‍යායන් පවති. එම න්‍යායන් ශ්‍රී ලංකාවේ සහල් මෝල් හිමියන්ට අදාළ නොවන ලෙසින් විග්‍රහයන් කිරීම බාල ක්‍රියාවකි. කෙසේ වෙතත්, රජය විසින් කිසියම් අයථා පරිහරණයක් දුටුව හොත් එම වරද පහසුවෙන් නිවැරදි කළ හැකිය.
එමෙන්ම මෙරට සහල් මෝල් හිමියන්ගෙන් වැඩි පිරිසක් විසින් අනුගමනය කරන නිෂ්පාදන ක්‍රියාවලිය ඔවුන්ට ම අනන්‍ය ඔවුන් විසින් ම සොයා ගත් ක්‍රමවේයන්ය. ඔවුන් ඒ සඳහා භාවිත කරන තාක්ෂණය සහ ශිල්ප ක්‍රම ඔවුන් විසින් ම සොයා ගත් ඒවා විනා මෙතෙක් වී ගොවිතැන නඟා සිටු වීමට යැයි කතා කළ කිසිදු රජයක් ඔවුන් දායාද කළ ක්‍රමෝපායන් නොවේ. එමෙන්ම මේ වන විට සහල් සඳහා අගය එකතු කිරිමක් හෝ අගය වැඩි කිරිමක් සිදු කර තිබේ නම් එහි හිමිකම ද සහල් නිෂ්පාදකයා සතුය. මහා පරිමාණයේ සහල් මෝල් හිමියන් ඇතැම් විට විදෙස් රටවල්වලින් ලබා ගත් අත්දැකිම් සහ දැනුම උකහා ගෙන නව පර්යේෂණ සිදු කරමින් මෙම නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වෙමින් සිටියි. රජය ණය පහසුකම් ලබා දුන්න ද ඔවුන්ගේ නිෂ්පාදන යාන්ත්‍රණය ඔවුන් සතු බුද්ධිමය දේපළක් හා සමානය.
උසස් තාක්ෂණය සහ ප්‍රමිතිය පැත්තෙන් ගත් විට ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය ලොව සෙසු රටවල්වලට සාපේක්ෂව ඉතා හොඳ මට්ටමක පවතීයි. ඒ සම්බන්ධයෙන් අප එම සහල් නිෂ්පාදකයින් අගය කළ යුතුය. එමෙන්ම සහල් නිෂ්පාදකයින් රජයේ අනුග්‍රහයකින් තොරව ස්වොත්සාහයෙන් නැඟි සිටි පිරිසක් වන අතර ඔවුන්ට ලබා දී ඇති රාජ්‍ය අනුග්‍රහය ඉතා අඩුය.
ව්‍යවසායකයින් යනු රටක ආර්ථික නඟා සිටු වීමට අදාළව විශේෂ ප්‍රාගුන්‍යයක් සහිත සුවිශේෂි කණ්ඩායමකි. රටක මහා පරිමාණ ව්‍යවසායකයින් සිටින්නේ ඉතා අතළොස්සකි. සහල් නිෂ්පාදකයාද ව්‍යවසායකයෙකි. ඔවුන්ට නිෂ්පාදන ක්ෂේත්‍රය ගැන කල කිරිමක් ඇති කරනු වෙනුවට රජය කළ යුත්තේ රටේ ව්‍යවසායක පිරිස ප්‍රමාණාත්මකව වැඩි කරමින් ඔවුන් තව තවත් ජාතික ආරථිකයට බද්ධ කර ගැනීමයි. ඉහළ පෙළේ සහල් නිෂ්පාදනයේ නියුතු සහල් මෝල්කරුවන් ස්වල්ප දෙනෙක් රටේ ඉහළම ව්‍යවසායකයින්ය. රටේ ව්‍යවසායකත්ව ගොඩනැගීම සඳහා අපි ඔවුන් සම්බන්ධ කර ගත යුතුයි.
කෙසේ වෙතත් මේ කර්මාන්තයේ පැන නැඟී ඇති අර්බුදය හුදෙක් පාරිභෝගිකයාට පමණක් බලපාන කාරණයක් නොවේ. මේ කර්මානතය රැක ගැනීමට නම් පාරිභෝගිකයා පමණක් ආරක්ෂා කර ගත යුතුය යන න්‍යාය මත පිහිටා සිටීම ද ප්‍රායෝගික නොවේ. මෙහිදි රජය මගින් එක හෙළා ඇඟිල්ල දිගු කරන වී සහල් බවට පත් කරන ව්‍යවසායකයින් දෙස සැකයෙන් සහ ඍනාත්මක ආකල්පවලින් බැලීම වැරැදි සහගතය. සහල් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කළ යුතුය. මේ නිසා විද්‍යාත්මක විග්‍රහයකින් සහ විසැඳුමකින් තොරව විවිධ අර්ථකථනයන් සමාජය මත වැපිරීම බරපතළ වරදකි.
සහල් මෝල් හිමියන්ට හතර වටෙන්ම දෙහි කපන්නේ සහල්වල මිල ගණන් සම්බන්ධයෙනි. නමුත් විවිධ මිල ගණන් යටතේ සිය ආර්ථික වත්කම සහ රුචිකත්වය අනුව පාරිභෝගිකයාට තෝරා ගැනීමට සහල් ප්‍රභේද ඕනෑ තරම් වෙළෙඳ පොළේ තිබේ. ඒ ඒ සහල් වර්ගවල මිල ගණන් දක්වා ඇත්තේ ඊට අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය, ගුණාත්මක තත්ත්වය , ප්‍රමිතිය සහ ඒ සඳහා වැය වුණු පිරිවැයට සාපේක්ෂවය. නමුත් චෝදනාවට බඳුන් කරන්නේ මිල ඉහළ කාණ්ඩයේ සහල් ගැන පවසමිනි. නාඩු නම් විවිධ මිල ගණන් යටතේ සහල් වර්ග කිහිපයක් ඇත. කීරි සම්බා ද ඒ ආකාරයෙන්මය. ඉහළම තාක්ෂණයක් යොදා ගෙන නිෂ්පාදනය කර ඇති සහල්වලට ඉහළ මිලක් නියම වන බව අමුතුවෙන් පැහැදිළි කර දිය යුතු ද යන ප්‍රශ්නාර්ථය අප හමුවේ පවතියි. සහල්වල ගුණාත්මක බව වැඩි කිරීමට නම් යොදන තාක්ෂණය සහ පිරවැය වැඩි කළ යුතුය. නිෂ්පාදන වියදම මත භාණ්ඩයක මිල තීරණය වීම ආර්ථික විද්‍යාවේ ඇති සරලම න්‍යායකි.
මේ වන විට රටේ පවතින සහල් අර්බුදය විසැඳීම සඳහා වඩාත් ප්‍රායෝගික ක්‍රමය වන්නේ වී සහ සහල් සඳහා මිල සුත්‍රයක් හඳුන්වා දීමයි. එම මිල සුත්‍රය විද්‍යාත්මක විය යුතුය. එම මිල සුත්‍රය සැකසීමේ දි කාලානුරූපව පවතින පිරිවැය සළකා බලා මිල තීරණය කළ යුතුය. ඊට ප්‍රවේශ විය යුත්තේ වී ගොවියාට සාධාරණ මිලක් ලබා දිමෙන්ය. අනතුරුව සහල් සඳහා සාධාරණ මිලක් නියම කිරීමය. එහිදි සහල් නිෂ්පාදන ක්‍රියාවලිය සහ ඒ සඳහා වැය වන පිරිවැය විද්‍යාත්මකව අධ්‍යයනය කළ යුතුය. එසේ නොවුණ හොත් අර්බුදයක් පැන නැඟීම නොවැළැක්විය හැකිය. එමෙන්ම සහල් නිෂ්පාදන කර්මාන්තය තව තවත් වැඩි දියුණු කර ගුණාත්මක සහ තත්ත්වයෙන් උසස් සහල් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කර ආපනයනය කළ යුතුය. ඒ සඳහා රජය අනුග්‍රහය ලබා දිය යුතුය.
සහල් මිල සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැඟි ඇති අවුල සමථයකට පත් කර ගනිමින් ඒ සඳහා තිරසාර විසැඳුමක් කරා යාමට නම් රජය සහ සහල් නිෂ්පාදකයින් සාකච්ඡා මාර්ගයකට ප්‍රවේශ විය යුතුය. සහල් නිපදවන්නාට සේම පාරිභෝගිකයාටත් සාධාරණයක් වන මිල ක්‍රමයකට යාමට නම් මෙම සාකච්ඡාමය ප්‍රවේශය ඉතා වැදගත්ය. එමෙන්ම අඩු ආදයම්ලාභි පාරිභෝගිකයාට තවදුරටත් සහන අවශ්‍ය නම් ඒ වෙනුවෙන් සහනාධාර ක්‍රමයක් හඳුන්වා දීමට රජයට හැකිය. සියලු පාර්ශ්වයන් සංතෘප්තිමත් වන යානත්‍රණයක් සැකසීමේ දී ඒ සඳහා එම ක්ෂේත්‍රයේ බුද්ධිමතුන්ගේ අදහස් ලබා ගැනීම රජය අනිවාර්යෙන්ම කළ යුතුය.
සහල් නිෂ්පාදන කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සේවාවකි. එම සේවාව රජයට පමණක් හෝ පෞද්ගලික අංශයට පමණක් මෙහෙයවිය හැක්කක් නොවේ. ඒ සඳහා දෙපාර්ශ්වය ම මැදිහත් විය යුතුය. ඒ සඳහා දැනට පවතින මත ගැටුම් මහත් බාධාවකි. ලෝකයේ බොහොමයක් දියුණු රටවල් ඒ රටවල කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සහාය ලබා ගනී. කර්මාන්තකරුවන් දෙස හොරුන් සහ තක්කඩියන් ලෙස බලන කෝණය වෙනස් නොකරන තුරු විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදන කර්මාන්තයට සේම පාරිභෝගිකයාට ද සෙතක් සැලසිය නොහැකි බව අවධාරණය කරන අතරම වී ගොවිතැන සේම සහල් නිෂ්පාදන කර්මාන්තය රටේ ඉදිරි ගමනට ගැළපෙන ලෙස යාවත් කාලීන කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු.
Lanka Newsweek © 2024